විමසුම්

නිෂ්පාදන ආර්ථිකයක් අවශ්‍ය ඇයි? – ධනනාත් ප්‍රනාන්දු

ලංකාවේ ජනතාවගෙන් අතිවිශාල බහුතරයක් දැන් ජීවත් වෙන්නේ තමන්ගේ එදිනෙදා වියදම් සඳහාවත් වියදම් කිරීමට මුදල් නොමැති තත්ත්වයකය. 2024 දී රටේ ආර්ථිකය මන්දගාමීවීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඒ කාරණය යි. එනම් ජනතාවගේ අතේ මිටේ සල්ලි නැතිකම ය. වැට් බද්ද සියයට 15 සිට 18 දක්වා වැඩි කිරීමෙන් සහ මෙතෙක් වැට් බද්දෙන් නිදහස්ව පැවැති භාණ්ඩ හා සේවා 250 කට ආසන්න ප්‍රමාණයකට සියයට 18 ක වැට් බද්දක් පැනවීමෙන් සිදුවන්නේ වියදම් කිරීමට ජනතාව අතේ තිබුණු මුදල් ප්‍රමාණය අඩුවීම ය. කෙනකුගේ ආදායමක් වන්නේ තවත් කෙනකුගේ වියදමකි. ජනතාව මුදල් වියදම් කරනවිට ආර්ථිකය ප්‍රසාරණය වන බව කියන්නේ එහෙයිනි.

ආර්ථිකය මන්දගාමීවීමට බලපාන තවත් හේතුවක් වන්නේ ලංකාව ගෝලීය සැපයුම් දාමයට සම්බන්ධ නොවීමය. ලංකාවේ වෙළෙඳපොළ ඉතා පුංචි ය. මෙරටට ජනගහනය ලක්ෂ 223 කි. ලංකාව ගෝලීය වෙළෙඳාමට සහ ගෝලීය සැපයුම් දාමයට සම්බන්ධ විය යුත්තේ එහෙයිනි. රට ඇතුළේ භාණ්ඩ නිෂ්පාදනය කර හැකි තරම් අපනයනය කළ යුතුය.

එසේ නිෂ්පාදනය කළ යුත්තේ වෙනත් රටවල ජනතාව වැඩි වැඩියෙන් පරිභෝජනය කරන භාණ්ඩ ය. එමඟින් රැකියා වැඩි වැඩියෙන් බිහිවෙයි. ඒ රැකියා කරන අයගේ අතේ මිටේ මුදල් ගැවසෙයි. වියදම් කිරීමට හැකි වන්නේ එවිට ය. එසේම මෙරටෙහි නිෂ්පාදනය කරන භාණ්ඩ අපනයන කිරීමෙන් රටට ඩොලර් ලැබෙයි. එමගින් රටේ විදේශ විනිමය සංචිත ඉහළ නගියි. රට ඇතුළට එසේ ගලා එන මුදල් රට ඇතුළේ සංසරණයවීමෙන් රටේ ආර්ථිකය ප්‍රසාරණය වෙයි.

ආර්ථික වර්ධනයට බලපාන තෙවැනි කාරණය වන්නේ අඩු හෙවත් පහළ පොලී අනුපාතයයි. පොලිය කියන්නේ ‘සල්ලිවලට ගෙවන මිල‘ ටය. ඔබට හෝ මට කිරි පැකට්ටුවක් අවශ්‍ය නම් ඒ සඳහා මිලක් ගෙවිය යුතුය. එසේම සල්ලි අවශ්‍ය නම් ඒ සඳහා ද මිලක් ගෙවිය යුතුය. පොලිය ලෙස සලකන්නේ සල්ලි ගැනීමට ගෙවන ඒ මිල ය. පොලිය අඩු හෝ පහළ මට්ටමක පවතින්නේ නම් එමගින් කියැවෙන්නේ සල්ලිවල මිල අඩු බව ය. සල්ලිවල මිල අඩු වුණාම ජනයා වැඩියෙන් වියදම් කරති. එහෙත් සල්ලි ගැනීමට ගෙවන මුදල හෙවත් පොලිය හිතු මතේ අඩු කළ නොහැකි ය. එය වන්නේ ආර්ථිකය ප්‍රසාරණය වීමත් සමඟ ය. මේ වන විට පොලී අනුපාත සැලකිය යුතු කිසියම් මට්ටමකින් අඩු වී තිබෙන බව සත්‍යයකි. එහෙත් භාණ්ඩ මිල වැඩි වී උද්ධමනය යළි ඉහළ ගියොත් පොලී අනුපාත යළිත් ඉහළ යාමේ අවදානමක් පවතියි.

ලංකාවේ ආර්ථිකයක් වර්ධනය කළ හැකි ටූල්ස් ඒවා ය. එනම් වියදම් කිරීම සඳහා මුදල් සුලබ කිරීම, ගෝලීය සැපයුම් දාමයට සම්බන්ධ වීම සහ පොලී අනුපාත අඩු කිරීම ය.

නිෂ්පාදන වර්ධනයට බලපාන්නේ සාධක හතරකි. ඒ භූමිය, ප්‍රාග්ධනය, ශ්‍රමය සහ ව්‍යවසාය යි. ඒ සාධක හතරට වෙළෙඳ පොළේ හැසිරීමට ඉඩ දෙන තරමට නිෂ්පාදන වර්ධනය වෙයි, ඉහළ නඟියි. ගොවිතැන, කර්මාන්ත, හෝටල්, ගොඩනැගිලි, ගරාජ් යනාදි කොයිකටත් අදාළ වන්නේ ඒ සාධක හතරයි.

ඉඩම් විකුණන්න, මිලදී ගන්න, පවරන්න තිබෙන හැකියාව වැඩි කළ යුතුය. ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය ඉඩම සහ ඊට අවශ්‍ය ඔප්පුව හෝ බලපත්‍රය ලබා ගැනීමට අවුරුදු තුනක් හතරක් යනවා නම් ඉන් එහාට කතා කිරීමෙන් ඵලක් නොවෙයි. ඉඩම් ගැනීමට මුදල් ද අවශ්‍ය වෙයි. ඒ සල්ලි ගත හැක්කේ බැංකුවලිනි. පොලී අනුපාත ඉහළ නම් ණය ගැනීමට හෙවත් සල්ලි ඉල්ලාගෙන බැංකුවලට යන පිරිස ඉතා අඩු වෙයි. ප්‍රාග්ධනය හුවමාරු වන්නේ පොලී අනුපාත අඩු වුණොත් පමණකි. ඉහළ පොලී අනුපාත ප්‍රාග්ධනය හුවමාරුවට බාධාවකි.

නිෂ්පාදනයට අවශ්‍ය තෙවැනි සාධකය ශ්‍රමය යි. ඒ සඳහා අවශ්‍ය වන්නේ නුපුහුණු ශ්‍රමය නොවෙයි. පුහුණු ශ්‍රමය යි. නව නිපැයුම් හැකියාව තිබෙන නිර්මාණශීලී සහ ඵලදායිතාවෙන් ඉහළ ශ්‍රමය නැතිව නිෂ්පාදනයක් කළ නොහැකි ය. තිබෙන නිෂ්පාදනයක් වර්ධනය කරන්නටත් නව නිෂ්පාදනයක් කරන්නටත් අවශ්‍ය වන්නේ අලු‍ත් දෙයක්, අලු‍ත් නිර්මාණයක් කළ හැකි දැනුම, පුහුණුව සහ කුසලතාව සහිත මිනිසුන්ය. රටේ සිටින එවැන්නෝ දැන් දිගට හරහට රට හැර යති. ඒ නිසා දැන් රට ඇතුළේ තිබෙන නිෂ්පාදන කර්මාන්ත ටිකවත් රැක ගැනීමට නොහැකි වෙයි. ඒ නිසා වෙනත් රටවල අයට ලංකාවට පැමිණ රැකියා කිරීමට ඉඩ⁣ දෙන්නට වෙයි. අලු‍ත් අදහස් තිබෙන මිනිසුන් ආවොත් පමණක් නව නිර්මාණය බිහිවෙයි, තිබෙන නිර්මාණ වර්ධනය වෙයි.

නිෂ්පාදන ප්‍රවර්ධනයට අත්‍යවශ්‍ය හතරවැනි සාධකය ව්‍යවසායකත්වයයි. ව්‍යවසායකයන්ට හිරිහැර, කරදර කිරීමෙන් සහ හැකි තරම් බාධක පැමිණවීමෙන් වන්නේ ඔවුන් රට හැර යාමය.

ව්‍යවසාය සහ ව්‍යාපාර සඳහා නිදහස්, සාමකාමී සහ තරගකාරී පරිසරයක් නිර්මාණය කිරීම ආණ්ඩුවේ වගකීමකි. එහෙත් ලංකාවේ ආණ්ඩු තමන්ට හිතවත් හොරුන්ට ව්‍යාපාර සඳහා බලපත්‍ර ලබා දෙයි. උදාහරණයකට බිත්තර ආනයනය කිරීමට තීරණය කළහොත් ඒ සඳහා බලපත්‍ර දෙන්නේ තමන්ට කොමිස් මුදලක් ලබාගත හැකි හෙංචයියකුටය. විදුලි බලය නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ද එසේම ය. විවෘත සහ තරගකාරී ටෙන්ඩර් ක්‍රමය නීතියෙන් ස්ථාපිත කර තිබිය දී ඒ නීතිය බල්ලට දමා තමන්ට හිතවත්, ළෙන්ගතු, කාසි වාසි ලබාගත හැකි, මැතිවරණ ව්‍යාපාරයට සල්ලි පොම්ප කරන දූෂිතයන්ට, වංචනිකයන්ට,⁣ හොරුන්ට බලපත්‍ර පිරිනමයි. එමගින් ව්‍යවසායට අත්‍යවශ්‍ය නිදහස් තරගකාරී විවෘත පරිසරය විනාශ කරයි. ඒ නිසා නීතිගරුක, සදාචාර සම්පන්න ව්‍යවසායකයෝ සහ ව්‍යාපාරිකයෝ ව්‍යාපාර සඳහා ආයෝජනය නොකරති.

ආර්ථික වර්ධනයට අත්‍යවශ්‍ය නිෂ්පාදන වර්ධනයට තිබෙන ඇතැම් බාධක, හිරිහැර සහ කරදර පෑන් ඉරකින්, තිතකින් ඉවත් කළ හැකිය. උදාහරණයකට සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම ඉහළ නංවා ගැනීමට අවශ්‍ය නම් වීසා රෙගුලාසි ලිහිල් කළ හැකි ය. ව්‍යාපාර ලියාපදිංචිය සහ අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට දැනට ගතවන කාලය ඉතා වැඩි ය. ඉතා අවම කාලයක් ඇතුළත ඒ අනුමැතීන් සහ බලපත්‍ර ලබා දිය හැක්කේ රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීමෙනි. අනවශ්‍ය ලෙස කල් මරමින් ව්‍යවසායකත්වයට හිරිහැර කරදර සහ බාධක පමුණුවන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව කටයුතු කෙරෙන ක්‍රමයක් නීතිගත කළ යුතුය. එමඟින් රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය කාර්යක්ෂම සහ ඵලදායි කළ හැකි ය.

කළ යුතු ඒ කිසිවක් නොකර බදු වැඩි කිරීමෙන් පමණක් රාජ්‍ය ආදායම වර්ධනය කරගත නොහැකි ය. බදු ඉහළ නැංවීම හේතුවෙන් ව්‍යාපාර අඩපණ වී අපේක්ෂිත බදු ආදායම රැස්කර ගැනීමට නොහැකිවීමේ ඉහළ අවදානමක් තිබෙන බව පුරෝකථනය කරගත යුතුය.

මා කියන්නේ බදු ආදායම ඉහළ නංවා ගැනීමේ වුවමනාවක් නැති බව නොවෙයි. දැනට හැම බද්දක්ම පවතින්නේ උපරිම මට්ටමේ ය. බදු වැඩි කිරීම මගින් ජනතාව මත මේ පටවන්නේ කලින් කළ වැරැදිවල බරය. උදාහරණයකට වාහනයක් මිල දී ගැනීමට ණයක් ගන්නා පුද්ගලයාට ඒ වාහනයෙන් ලැබෙන ආදායමෙන් ඒ ණය පොලිය සහ වාරිකය ගෙවීමේ හැකියාව තිබිය යුතුය. පොලිය සහ වාරිකය ගෙවීමට නොහැකි වූ විට ඔහු හිර වෙයි. එවිට ඒ ණය වාරික සහ පොලිය ගෙවීමට තවත් කොහෙන් හෝ ණයක් ගැනීමට සිදු වෙයි. එමගින් ණයත් වැඩි වී තවත් හිර වෙයි. අද ලංකාවට සහ රටේ ජනතාවට සිදු වී ඇත්තේ ද එයයි. ගත්ත ණයවලින් ආදායමක් උපයන්නේ නැති නිසා ඒ ණය වාරික සහ පොලිය ගෙවීමටත් ණය ගැනීමෙන් රට අන්ත අසරණව සිටියි. ආණ්ඩු කළ ඒ වැරැදිවලට දැන් වන්දි ගෙවන්නේ ජනතාව ය. ණය පොලිය ගෙවීමට පමණක් අවුරුද්දකට රුපියල් ට්‍රිලියන දෙකහමාරක් අවශ්‍ය ය. එහෙත් වැට් බද්දෙන් එකතු කරගත හැක්කේ ට්‍රිලියන එකයි දශම පහකි. වැට් බද්ද මඟින් උපයා ගන්නා ආදායම ණය පොලිය ගෙවීමටවත් ප්‍රමාණවත් නොවන බව ඉන් අනාවරණය වෙයි. එවැනි වාතාවරණයක් යටතේ රටේ ආණ්ඩු කිරීම ඉතා අපහසු ය. පොලී අනුපාත ඉහළ නංවා ඇත්තේ ද ඒ නිසා ය. පොලී අනුපාත ඉහළ නැංවීම මම අනුමත නොකරමි. එහෙත් රට වට්ටා තිබෙන තත්ත්වය අනුව එසේ නොකර බැරි බව මට අවබෝධ කරගත හැකි ය. දැන් මෙසේ නොකළොත් ණය පොලිය ගෙවාගැනීමට වත් නොහැකි වෙයි. ඒ නිසා දැන් මෙසේ නොකළොත් නැවතත් සල්ලි අච්චු ගැසීමට සිදු වෙයි. එමඟින් යළිත් උද්ධමනය ඉහළ නඟියි. ඒ ආකාරයෙන් මෙය විෂම චක්‍රයක් බව අවබෝධ කරගත යුතුය.

තිබෙන එකම පිළියම ආර්ථිකය වර්ධනය කර ගැනීම ය. එමගින් බදු ආදායම ද වර්ධනය කරගත හැකි ය. බදු ගෙවිය හැක්කේ ආදායම් ඉපයුවොත් ය. ව්‍යාපාර සහ කර්මාන්ත ශාලා වැසී ආර්ථිකය සංකෝචනය වූ කල බදු ආදායම අනිවාර්යයෙන්ම අඩු වෙයි.

එසේ වීම වළක්වා ගත හැක්කේ මා ඉහත කී ප්‍රතිසංස්කරණ කිරීමෙන් පමණකි. බදු ඉහළ නැංවීමෙන් උපයා ගන්නා ආදායමෙන් වැඩි ප්‍රමාණයක් පොම්ප කරන්නේ පාඩු ලබමින් රටට බරක් නොව කරුමයක්ව තිබෙන රාජ්‍ය ව්‍යාපාර නඩත්තු කිරීමට ය. වැට් බද්ද සියයට 18 ක් කළත් 2024 දී උපයා ගත හැක්කේ රුපියල් බිලියන 1,450 කි. එහෙත් 2022 මාස අටකදී තෙල් සංස්ථාව පමණක් ලබා තිබෙන පාඩුව රුපියල් බිලියන 622 කි. වැට් බද්දෙන් උපයා ගන්නා මුදලින් තුනෙන් එකක් පමණ එක රාජ්‍ය ව්‍යාපාරයක පාඩු පියවීමට පොම්ප කළාම ආර්ථිකය වර්ධනය කරන්නේ කොහොම ද ? රටේ ආණ්ඩු කරන්නේ කොහොම ද ? ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ, තෙල් සංස්ථාවේ සහ විදුලි බල මණ්ඩලයේ පාඩුව මාස අටකට රුපියල් ට්‍රිලියනයක් පමණ වෙයි. ඒ කියන්නේ රුපියල් බිලියන 1,000 කි. වැට් බද්ද සියයට 18 ක් දක්වා ඉහළ නැංවීමෙන් උපයා ගත හැක්කේ රුපියල් බිලියන 1,500 කට අඩු ආදායමකි. ඉන් බිලියන 1,000 ක් අකාර්යක්ෂම, දූෂිත සහ ඵලදායිතාවක් නැති රාජ්‍ය ව්‍යාපාර තුනක පාඩු පියවීමට පොම්ප කරයි.

බදු වැඩි කිරීම අඩිය හිල් වෙච්ච කළගෙඩියකට වතුර වැක්කිරීමකට සමාන බව මා කියන්නේ එහෙයිනි. වතුර කාන්දු වෙන තැන් වහන්නේ නැතිව කළගෙඩියට වතුර පිරවීම සහගහන අපරාධයක් බව ජනතාව කියන්නේ එහෙයිනි. එක අවුරුද්දක් ලාබ ලැබුවාය කියමින් තෙපරබාමින් දූෂිත රාජ්‍ය ව්‍යාපාර ගොඩගත නොහැකිය. එක අවුරුද්දකදි බිලියනයක ලාබයක් ලබා ඊළඟ අවුරුද්දේද බිලියන 600 ක් පාඩු ලබයි. බිලියන එක සහ 600 අතර පරතරය අහසට පොළොවටත් වඩා විශාල ය. ඒ නිසා පළමුව රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණය කළ යුතුමය. කුමන දේශපාලන පක්ෂයක් බලයට පැමිණියත් එය කළ යුතුය. නොකළොත් වන්නේ ඒ පක්ෂයටත් අනෙක් පක්ෂවලට අත් වූ ඉරණම ම අත්වීමය. ජනතාවට දිගටම මේ කරුම ගෙවීමට සිදුවීම ය. එසේම ආණ්ඩුවේ නාස්තිකාර වියදම් අවම නොව නතර කළ යුතුය.

එලෙස කරමින් ගෝලීය සැපයුම් දාම සමඟ සම්බන්ධ වෙන නිෂ්පාදන ආර්ථිකයකට රට තල්ලු‍ කළ යුතුය. භූමිය, ප්‍රාග්ධනය, ශ්‍රමය සහ ව්‍යවසායකත්වයට නීතියෙන් සහ රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයෙන් කෙරෙන බාධක, හිරිහැර, කරදර ඉවත් කළ යුතුය. රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයෙන් කෙරෙන බාධා හිරිහැර කරදර නැවැත්විය හැක්කේ එසේ කරන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නීත්‍යනුකූලව සහ විනයානුකූලව පියවර ගන්නා ක්‍රමයක් නීතියෙන්ම ස්ථාපිත කිරීමෙනි. ඒ සියල්ල එසේ කළහොත් ආර්ථිකය මන්දගාමීවීම, සංකෝචනයවීම සේම හැකිළීම මධ්‍යකාලීනව සහ දිගුකාලීනව අවම කරගත හැකි බව මගේ තක්සේරුවයි.

(*** සාකච්ඡා සටහන – ගුණසිංහ හේරත්)

ලංකාදීප

___________________________________________________________________________________________________________________________

නන්දලාල්ගෙන් කබ්රාල්ට පිළිතුරු …!

පසුගිය දා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් පුවත් පත් සාකච්ඡාවකදී පවසා තිබුණේ තමා කළ දේම වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාද අනුගමනය කරන බවයි.

එයට වත්මන් මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පිළිතුරු දුන්නේ පහත පිරිදිය:

එතුමා පත්තරේකටත් කියල තිබුණා නන්දලාල් කරන්නෙත් මම කරපු දේමයි කියලා. ඒකත් ඇත්තටම අර එතුමාගේ තේරුම් ගැනීමේ හැකියාව ප්‍රදර්ශනය කිරීමක්. අපි බැලුවොත් 2020 – 21 කාලෙ විනිමය අනුපාතය රු. 203 ස්ථාවර කළා. ෆික්ස් කළා. සංචිතවලින් කොටසන් ණය ගෙවන්න ගත්තෙ. ඉතුරු සංචිත ටික රු. 203 තියාගෙන බිංදුව කර ගත්තා. ඒක තමයි ඒ කරපු වැඩේ. ඒක බැහැ කියල තේරෙනකොට එතුමාම තමයි රුපියල ෆ්ලෝට් කරේ. නිදහසේ පාවෙන්න ඇරිය එකපාරටම. 2022 මාර්තු 18 දින තමයි අයිඑම්එෆ් එකට ලියුම ලිව්වේ. හැබැයි මාර්තු 07, 08, 09, ඉඳල මේක පා කරල ඇරිය. ඒකත් වැරදී ප්‍රතිපත්තියක්. එතකොට ප්‍රතිපත්තියක් වශයෙන් රු. 203 ෆික්ස් කරල ගොඩක් කල් ඉදලා එකපාරටම මේක පාවෙන්න ඇරියම පාලනයක් නැතුව මෙක යනව නිදහසේ කඩාගෙන කාටවත් නවත්තන්න බෑ. මාර්තු 09 දින හිටපු අධිපතිතුමා බැංකු ප්‍රධාන විධායක නිලධාරීන්ට මීටින් එකක් තියල කිව්ව මේක ඕන ගානකට යන්න. ඒක ඕගොල්ලන්ගේ මතය අනුව විනිමය අනුපාතය තීරණය කරන්න කිව්වම එදා ඉඳල තමයි මේක අර නූල කැඩිච්ච සරුංගලය වගේ යන්න ගියේ. අනිත් දේවල් නොකර රුපියල විතරක් අතහැරියම ඒක යන්නෙ කොහෙද කියල කාටවත් කියන්න බෑ, ඒක කඩාගෙන යනව. මම එනකොටත් ඔහොම තමයි තිබුණු තත්ත්වය.

ප්‍රතිපත්තිය ආයිත් එකපාරට වෙනස් කරන්න බෑ. සංචිත නැති වුණාට පස්සෙ අතේ සල්ලි නැතුව කොහොමද මේක ෆික්ස් කරන්නෙ. මම ආවට පසු මුදල් මණ්ඩලය සාකච්ඡා කරා කොහොමද මේක නවත්වන්නෙ කියලා. දවසින් දවස රු. 5 රු. 10 යනව. අපට සංචිත ඇත්තෙත් නෑ. රටේ පෝලිම් තියෙනවා. තෙල් ඇත්තෙත් නෑ. ණය ගෙවීමත් නතර කරල තියෙනවා. විනිමය අනුපාතය නවත්තන්න ක්‍රමයක් නෑ. ඒ පාර තමයි අලුතින් සාකච්ඡා කරල මේක කළේ. ඇත්ත වශයෙන්ම වර්ෂ 2000ට කලිනුත් මේක කරල තියෙනවා. මේ අලුත් ක්‍රමය ක්රෝලින් පෙග්’ (crawling Peg) කියල කියන්නේ. මෙහිදී කිසියම් පරාසයක් ඇතුළේ වෙළෙඳපොළට එහා මෙහා යන්න පුළුවන්. මේකෙ නම්‍යභාවයක් තියෙනවා. මේකෙ විචල්‍යතාවය අඩුයි. එතකොට මේක පැහැදිලිවම විනිමය අනුපාතය රු. 203 ෆික්ස් කරල සංචිත නැති කර ගත්ත එකයි මේ පරාසය දීල ඒකෙ ඇතුළෙ දවසින් දවස රේට් එක වෙනස් වෙලා වෙළෙඳපොළට අනුකූලව ක්‍රමානුකූලව විනිමය අනුපාතය වෙනස්වීමයි දෙකක්. ඕකත් යම්කිසි ආකාරයක හැකියාවක් තියෙන්න ඕන තේරුම් ගන්න. අපි ඒ අතරම ආනයන පාලනය කරන්න පියවරත් ගත්තා. ඒ අනුව ආනයන ඉල්ලුම අඩු වුණා. ඒ අනුව දැන් මේක ස්ථාවර වෙලා තියෙන්නේ. යම්කිසි ආකාරයකෙට වැඩිපුර විදේශ විනිමය එන්න ගත්තොත් මේක අනිත් පැත්තට යන්නත් (අධිප්‍රමාණය වෙන්නත්) පුළුවන්. එහෙම යන්න ඉඩකඩ දීලා තියෙන්නේ අපි. ඒ නිසා කිසියම් පරාසයක් තුළ විචල්‍යය වීමක් තමයි මෙහි තිබෙන්නේ. සංචිත කොහොමත් අවම මට්ටමේනේ තියෙන්නේ. ඒවායින් තෙල් ටිකට දීල මැනේජ් කරගෙන යනවා. ඒ කාලෙ සංචිත තිබිල අඩු වුණේ.

රෂිකා හෙන්නායක



“චීනෙන් ඇවිදින් අපගේ ණය ගෙවන්න…” – කල් ඇවිදින් ඒ සිහිනෙන් අවදිවන්න – ධනනාත් ප්‍රනාන්දු

ආර්ථික ප්‍රතිසංස්කර්ණ කරන තුරු ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩා ආ නොහැකි ය

මෙරට ආර්ථික අර්බුදය නැවත ලෝකය හමුවේ සනාථ විය. මෑතක් වෙන තෙක්ම විවිධ දේශපාලන කඳවුරු අපේ ආර්ථික අර්බුදය ඔවුන් කැමැති ලෙස නිර්වචනය කළා මිස සැබවින්ම එහි යථා ස්වභාවය පැහැදිලි කළේ නැත. ඇතැමුන් ප්‍රශ්න කළේ දළ දේශීය නිෂ්පාදිත අනුපාතයට ණය ප්‍රතිශතය (Debt to GDP ‘Ratio) වැඩි වුණාම මොකද වෙන්නේ? ජපානෙත් වැඩියිනෙ… මුදල් අච්චු ගැහුවම මොකද වෙන්නේ නූතන මුදල් න්‍යායත් එක්ක… ඒ නිසා මුදල් අච්චු ගැහුවට උද්ධමනය වැඩි වෙන්නේ නෑ, චීනය අපිට වැටෙන්න දෙන්නේ නෑ වැනි අදහස්ය.

අප විසින් නිර්මාණය කරගත් ආර්ථික අර්බුදවලින් අප ගලවා ගැනීමට අපට මිතුරු වෙනත් විදෙස් රාජ්‍යයන් අපට පිහිටුවේ යැයි සිතීම නොකළ යුත්තකි. හදිසි ස්වභාවික විපතකදී හෝ වෙනත් හදිසි තත්ත්වයකදී එලෙස උපකාර කළද, අපිම කාලයක් තිස්සේ නිර්මාණය කරගත් අර්බුදවලින් ගොඩ ඒමට ඔවුනගේ පිහිට පැතීම ද එකී රටවල්වල මිත්‍රත්වයටත් කරන අගෞරවයකි.

අප විසින් නිර්මාණය කරගත් ආර්ථික අර්බුදවලින් අප ගලවා ගැනීමට අපට මිතුරු වෙනත් විදෙස් රාජ්‍යයන් අපට පිහිටුවේ යැයි සිතීම නොකළ යුත්තකි. හදිසි ස්වභාවික විපතකදී හෝ වෙනත් හදිසි තත්ත්වයකදී එලෙස උපකාර කළද, අපිම කාලයක් තිස්සේ නිර්මාණය කරගත් අර්බුදවලින් ගොඩ ඒමට ඔවුනගේ පිහිට පැතීම ද එකී රටවල්වල මිත්‍රත්වයටත් කරන අගෞරවයකි.

මේ තීරු ලිපියෙන් වතාවන් ගණනාවකදීම සඳහන් කළ පරිදි ශ්‍රී ලංකාවේ තිබෙන්නේ ණය පිළිබඳ සහ ඒ හා බැඳුණු ආර්ථික ප්‍රතිසංස්කරණ නොකිරීමේ ගැටලු මාලාවක් මිස වෙනෙකක් නොවේ. අපි අද ණය පිළිබඳව සාකච්ඡාව නැවත ආවර්ජනය කරන්නේ දැන් ආර්ථික අර්බුදය තීව්‍ර වනවාත් සමගම ණය අර්බුදය දෙස නැවත බැලීම වැදගත් නිසායි. ඇල්බර්ට් අයින්ස්ටයින්ට (Albert Einstein) අනුව “මේ ලෝකෙ 8 වැනි පුදුමය නම් වැල් පොලියයි (Compound Interest). වැල් පොලිය තේරුම් ගත් කෙනා හම්බ කරන අතර තේරුම් නොගත් කෙනා ගෙවන බව අයින්ටයින් පැවසීය. දැන් ලංකාව ඉන්නේ ගෙවන පැත්තේය.

චීනය ගැන දැනගන්න ජපානය පහුකරගෙන යන්න ඕන

  1. ජපානයේ දළ දේශීය නිෂ්පාදිතයට අනුව ණය ප්‍රතිශතය (Debt to GDP Ratio) 240%කි. එසේ නම් ලංකාව90% – 100% ක් වීම නිසා ඇතිවෙන ගැටලුව මොකකද?  එය මෙලෙස විග්‍රහ කර ගනිමු. ජපානයේ ණයවලින් විශාල ප්‍රමාණයක් ඇත්තේ ඔවුන්ගේ රටේ මුදල් ඒකක වන ජපන් යෙන්වලිනි (Japaneese yen). තවත් සරලව පවසනවා නම් ජපානයේ වැඩිපුර ණය ඇත්තේ දේශීය ණය ලෙසිනි. (ඒ රටේ මිනිස්සුන්ටම තමයි ණය) එනිසා ණය පියවීමට සඳහා ඕනෑම මොහොතක මුදල් අච්චු ගසා හෝ ණය ගෙවා ගැනීමේ හැකියාව ඔවුන්ට ඇත. ඒත් ලංකාවේ ණය විශාල වශයෙන් තිබෙන්නේ ඇමරිකානු ඩොලර්වලිනි (සහ වෙනත් මුදල් ඒකකවලින්). එකී මුදල් ඒකක අපිට අච්චු ගැසිය නොහැක.

අප අවධානය යොමුවිය යුත්තේ දළ දේශීය නිෂ්පාදිතයට අනුව ණය ප්‍රතිශතය (Debt to GDP Ratio)  නොවේ. අවධානය යොමුකළ යුත්තේ අවුරුද්දකට අපට ගෙවීමට ඇති පොලිය අපේ ආදායම මෙන් කොපමණද යන්නය. ජපානයේ ආදායමෙන් ඔවුන් ගත් ණයවල පොලිය වශයෙන් වසරකට ගෙවීමට ඇත්තේ 1%කට ආසන්න ප්‍රමාණයකි. ශ්‍රී ලංකාවේ ණයවලට පොලිය ලෙසින් අප අපේ ආදායමෙන් 47%ක් ගෙවිය යුතු වේ. සරලවම පවසනවා නම් මෙරට පුරවැසියකුගේ ආදායම රු100 නම්, රු. 47ක් වැයවන්නේ වාහනේ ලීසිං වාරිකයේ පොලිය ගෙවීමටය (ණය මුදලින් රුපියලක්වත් අඩු වෙන්නෙ නැතිව). වාහනයේ ලීසිං වාරිකයේ පොලිය සහ ණය මුදලේ කොටසක් ගෙවීමට පමණක් රු. 106ක් අවශ්‍යය. (ආදායම රු.100ක් වුණාට) ජපාන පුරවැසියෙක් තම මෝටර් රථයේ ලීසිං වාරික‍යේ පොලිය ලෙසින් ගෙවිය යුතු වන්නේ ඔහුගේ ආදායමෙන් රු. 1ට ආසන්න ගණනකි. එනිසා ජපනා කාලයත් සමග ණය ගෙවීමේදී ඔවුන්ගෙන් ණය අඩු වේ. එනිසා අලුතෙන් ණයගත හැකිය. එහෙත් ලංකාවේ අප ණයවල පොලිය ගෙවනුයේද නැවත පොලියට ණය අරගෙනය. එවිට පොලිය අඩු නොවේ. ණය අඩු නොවේ. ජපානය සහ ලංකාවයි සංසන්දනය කළ නොහැක්කේ එබැවිනි. ලෝකයේ මුදල් ඒකක ස්ථාවර

ඇතැම් සංවර්ධිත රටවල දළ දේශීය නිෂ්පාදිතයට අනුව ණය ප්‍රතිශතය (Debt to GDP ratio) එක 100%ට වැඩිය. අනික් හේතුව නම් ජපාන රජයේ බදු ආදායම ඔවුන්ගේ සම්පූර්ණ නිෂ්පාදනයෙන් (GDP) 40%ට වැඩිය. ලංකාවේ බදු ආදායම අපේ නිෂ්පාදනයෙන් (GDP) 12%කට ආසන්නය.

ඉතින් ණය ගෙවා, රැකියා විරහිත වූ උපාධිධාරීන්ට රැකියා දී, පාඩු ලබන සියලු රාජ්‍ය ආයතනවලට පඩි ගෙවා, රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවා, සමෘද්ධිය ලබාදී, ඇමැතිතුමන්ලාට වාහන අරගත්තාට පසු ණය ගෙවීම සම්බන්ධ කරුණ අත්හැරියද ඉහත වියදම් සඳහා අපේ ආදායම මදිය. අනික් පැත්තෙන් පොලියයි ණයයි පමණක් ගෙවීමටද අපේ ආදායම මදිය. එවැනි තත්ත්වයකදී ජපානය සමග සංසන්දනය කර ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතයට ණය ගැන හිතලා මානසික ආතතිය යම් තරමකට හෝ අඩුකර හිත සනසාගත හැකිය. එහෙත් යථාර්ථය ඊට බොහෝ ඈතය.

දැන් නිර්මාණය වී ඇති තත්ත්වය නම්, අපිට ණය ගෙවාගත හැකිවේදැයි යන චකිතය නිසා ලෝක මූල්‍ය වෙළෙඳපොළෙන් (International Financial Markets) ණය ගනිද්දී අවදානම වැඩි නිසා, ලෝකයේ අනිත් රටවල්වලට වඩා වැඩි පොලියක් ගෙවීමට සිදුව තිබේ. අන්තර්ජාතික මූල්‍ය වෙළෙඳපොළ ණය ගෙවීමේ අවදානම අනුව වැඩිම අවදානම් පොලියක් (Risk Premium) ගෙවීමට ඇති රාජ්‍යයන් වන ආජන්ටිනාව සහ සැම්බියාව අතරට අපද එකතුවී ඇත.

පසුගිය වසරේ ලංකාවට ණය ලබා ගැනීම සඳහා දේශීය වශයෙන් නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත් (Treasury Bills) වලින් 90%කට බලාපොරොත්තු වුණු ඉල්ලුමක් නොලැබුණි (Under subscribe). එමෙන්ම ද්විතීක වෙළෙඳපොළෙහි ශ්‍රී ලංකාවේ (සමහර බැඳුම්කරවල: කල්පිරෙන වර්ෂය අනුව මිල වෙනස් වේ) ඩොලර් එකක ස්වෛරී බැඳුම්කර අලෙවි වන්නේ ඩොලර් සත 70ට වැනි ආසන්නම මුදලකටය. ඒ නිසාය මේ ණය අර්බුදය අප නැවත සිහි කැඳවිය යුත්තේ.

  1. චීනය අපිව බේරා ගනීවිද?

මුදල් අමාත්‍යවරයාගේ ඉන්දියානු සංචාරයෙන් පසුව චීනය ශ්‍රී ලංකාව බේරා ගනීවි යැයි සිතූ බොහෝ දෙනා විමතියට පත්වී ඇති බවක් පෙනුණි. ඇතැමුන් සිතා සිටිනුයේ අන්තර්ජාතික මූල්‍ය වෙළෙඳපොළවල් යනු බටහිර රටවල් ඇතුළු මහා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් බව. මූල්‍ය වෙළෙඳපොළවල් යනු මුදල් ඇති ලෝකයේ ඕනම රටක කෙනෙක් හා ගනුදෙනු කළ හැකි වෙළෙඳපොළකි. එහි සෑම රටකම මිනිස්සු සහ ආයතන තිබේ. මීට වසරකට පමණ පෙර නිකුත්වුණ Morgan Stanley ආයතනයේ වාර්තාවක අනුවත් සනාථ ක‍ළේ අප චීනයට සමස්තයක් ලෙසින් ණය 10% ක් පමණ බවයි. (ද්විපාර්ශ්වික ණය + චීන රජයට අයිති සංවර්ධන බැංකුවලට + ඇතුළු සියලු ණය. නමුත් ඊට අමතරව සමහර ව්‍යාපෘති ණය සහ රජයට අයිති ව්‍යාපාර හරහා ලබා ගත් ණයත් තිබෙනවා)

දැන් ප්‍රශ්නය නම් චීනය සල්ලි දීලා අපේ ණය ගෙවයිද යන්නයි. මෙරට බොහෝ දෙනා කැමැති වනුයේද චීනය එසේ කරනවා නම්ය. පවතින තත්ත්වය අනුව එය ඉතාමත්ම පහසුය. ඒත් මා දකින ආකාරයට නම් චීනය එසේ කරන්නේ නැත. ඔවුන් අපේ ණය කපා හැරියොත් හෝ ප්‍රමාණය ඉක්මවා අපිට ආධාර කළහොත් අප මෙන්ම ඔවුන් සමග සමීපව ගනුදෙනු කරන අනෙකුත් ආසියාතික රටවල්, එමෙන්ම අප්‍රිකානු රටවල් ඒ ලෙසින්ම චීනයෙන් මුදල් ඉල්ලිය හැක. කලකට ඉහතදී හිටපු මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හමුවූ අවස්ථාවකදී මමද ඔය ප්‍රශ්නයම ඇසුවෙමි. එතුමා චීන ජනාධිපතිතුමාගෙන් එකී ඉල්ලීම සිදුකළ අවස්ථාවේ දී ලබාදීපු පිළිතුර පෙරළා මට ලබා දුන්නා.

හම්බන්තොට වරායට ලබාදුන් ණය කපා ඉවත් කරන ලෙස සරත් අමුණුගම මහතා චීනයේ එක් තීරයක් එක් මාවතක් සමාරම්භක උළෙලට සමගාමීව පැවැති රැස්වීමකදී කළ ඉල්ලීමට චීන ජනාධිපතිතුමා සහ ඔහුගේ මුදල් අමාත්‍යවරයා පවසා තිබුණේ “එහෙම කළොත් අනෙක් හැම රටක්ම ණය කපා හරින්න කියලා ඉල්ලාවි” යන පිළිතුරයි.

හම්බන්තොට වරායට ලබාදුන් ණය කපා ඉවත් කරන ලෙස සරත් අමුණුගම මහතා චීනයේ එක් තීරයක් එක් මාවතක් සමාරම්භක උළෙලට සමගාමීව පැවැති රැස්වීමකදී කළ ඉල්ලීමට චීන ජනාධිපතිතුමා සහ ඔහුගේ මුදල් අමාත්‍යවරයා පවසා තිබුණේ “එහෙම කළොත් අනෙක් හැම රටක්ම ණය කපා හරින්න කියලා ඉල්ලාවි” යන පිළිතුරයි.

අනිත් කාරණය නම් අපේ ස්වෛරී බැඳුම්කර (International Sovereign Bond – ISB) වලින් වැඩිපුරම අයිතිය තිබෙන්නේ ඇමරිකාව, ස්විට්සර්ලන්තය, එංගලන්තය සහ ජර්මනිය කියන රටවල්වල සමාගම්වලටය. ඉදින් චීනය ලංකාවට සල්ලි දී අපේ ණය අර්බුදයෙන් අපිව බේර ගන්නවා යනු වක්‍රාකාරයෙන් ඔවුන්ගේ මුදල් සෘජුවම ගමන් කරන්නේ ඔවුන්ගේ ප්‍රතිවාදීන්ගේ රටවලටයි. චීනය අපිට උදව් කරාවි. ඒත් අපේ ණය අර්බුදය සම්පූර්ණයෙන් විසඳා ගැනීමට ඔවුන් හිස් චෙක්පතක් ලබා නොදෙනු ඇත. ඒ වගේම චීනයේ උදව් ලබා ගැනීම වෙනුවෙන් භූදේශපාලනිකමය (Geo politics) වශයෙන් අපිට තවත් ප්‍රශ්න ඇතිවීමේ අවදානමද වැඩියි. මෙතන ඇත්තේ චීනය ගැන ප්‍රශ්නයකට වඩා ලංකාවෙ ණය ගැන ප්‍රශ්නයකි. අපේ මූල්‍ය පරිපාලනය අන්තිම පිරිහුණු ආකාරයෙන් සිදුකර චීනයට, ඇමරිකාවට, ජපානයට සහ ඉන්දියාවට දෙහි කැපුවාට මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැත.

අප මතක තබා ගත යුත්තේ අපි ආර්ථික ප්‍රතිසංස්කර්ණ කරන තුරු ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩා ආ නොහැකි බවය.

එම නිසා දැන් චීනයෙන් මෙන්ම ඉන්දියාවෙන්ද සහාය ලබා ගන්නා ආකාරයක් පෙනෙයි. පුද්ගලික ආයෝජන තරගකාරී ලෙස වීම වැදගත්ය. නමුත් අප මතක තබා ගත යුත්තේ අපි ආර්ථික ප්‍රතිසංස්කර්ණ කරන තුරු ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩා ආ නොහැකි බවය. ඇල්බට් අයින්ස්ටයින් කියපු දේ දැන් ඔබට යාන්තමට හරි වැටහේවි යැයි මම සිතමි.

ධනනාත් ප්‍රනාන්දු



රාජ්‍ය පාලනයේ අලුත් සිතීමක් සඳහා අර්ථශාස්ත්‍ර – මහාචාර්ය රොහාන් සමරජීව විසිනි

අර්ථශාස්ත්‍ර කියන්නේ රාජ්‍ය පාලනය ගැන විද්වත් රචනාවක්. එහි කර්තෘවරයා ලෙස සැලකෙන්නේ චන්ද්‍රගුප්ත මෞර්ය රජුගේ කාලයේ (ක්‍රි.පූ. 321-297) ජීවත් වූයේ යයි සැලකෙන කෞටිල්‍ය හෙවත් චානක්‍යයි. මෙම තීරු ලිපියේ අරමුණ කෞටිල්‍යගේ චින්තනය නැවත පණගැන්වීම නොවෙයි. මෙහි අරමුණ වන්නේ වර්තමාන අභියෝගවලදී රාජ්‍ය පාලනයට අවශ්‍ය නව චින්තනය නිර්මාණය කරගැනීම දිරිගැන්වීමයි. කෞටිල්‍ය ලිව්වේ එකල පැවති පාලනය වෙනුවෙනුයි. මා ලියන්නේ අපගේ ජනතාව හා අපගේ ජනරජය වෙනුවෙනුයි. කෞටිල්‍ය විසින් දෙන ලද උපදෙස් සියල්ලත් ක්‍රියාත්මක වුණේ නැහැ. මෙහිදීත් ඒක වෙන්නට පුළුවන්.   

අලුත් සිතුවිලි අවශ්‍ය ඇයි? අපව පාලනය කරනු ලබන්නේ අසමත් රාජ්‍යයක් විසින්. 1930 දශකයේ මහා ආර්ථික අවපාතය හා මැලේරියා වසංගතෙයේ සිට අපගේ ජනතාවගේ ජීවිතවල ක්‍රමානුකූල වෙනස්කම් සිදුවුණා. ගෝලීය ආර්ථික අර්බුදයේ හා දේශගුණික විපර්යාසයේ ස්වභාවය නිසා ඒවා තවදුරටත් තිරසර අන්දමින් කරන්නට හැකියාවක් නැහැ. ශ්‍රී ලංකාවේ දුර්වල රජය අවස්ථා පාවිච්චි කරන්නට පමණක් නොවෙයි, හානි අවම කරන්නට පවා අසමත් වන බව ඔප්පු කරමින් ඉන්නවා.

පොදු පිළිගැනීම කුමක් වුවත්, සමස්තයක් ලෙස සැලකුවාම ශ්‍රී ලංකාවේ තත්වයේ බිඳවැටීමක් නැහැ. (එහෙත්, සංවර්ධනයේ බොහෝ මානයන් සම්බන්ධයෙන් ගත්විට අප රට සිටින්නේ සාපේක්ෂව පසුපසිනුයි.) ජනතාව දැන් අතීතයේදී ජීවත් වූ කාලයට වැඩි කාලයක් ජීවත් වෙනවා. උපතේදී ආයු අපේක්ෂාව දැන් හැත්තෑගණන්. එය නිදහසට පෙර සමයේ තිබුණු අගය මෙන් දෙගුණයක් තරම් වෙනවා. හැම ගෙදරකම වගේ දුරකථනයක් තිබෙනවා. අන්තර්ජාල ප්‍රවේශය තිබෙන්නේ ජනගහනයෙන් අඩකට අඩු සංඛ්‍යාවකට පමණක් වීම වෙනම කාරණයක්. දුරකථන සේවා සම්බන්ධ ප්‍රතිසංස්කරණ පටන්ගන්නා සමයේ දුරකථන ලබාගැනීම සඳහා පොරොත්තු ලේඛනයේ ලක්ෂ තුනක් ජනතාව බලාසිටියා. නිවාසවලින් සියයට සීයකට ආසන්න ප්‍රමාණයකට විදුලිය ලබාදී තිබෙනවා. කාර් හා වෑන්ම නොවුණත්, පෞද්ගලික ප්‍රවාහන මාදිලි පසුගිය කාලයේ ඉතා වේගයෙන් වර්ධනය වුණා. ඒ හේතුවෙන් ඇති වුණ මාර්ග තදබදය ප්‍රශ්නයක් වුණත්, ඇතැම් ස්ථාන කරා ළඟාවීමේ ගමන් කාලය කෙටි වී තිබෙනවා. 

සැබෑ ජයග්‍රහණත් තිබෙනවා. ඒවා අත්පත් කරගෙන තිබෙන්නේ අවිධිමත් ක්‍රියාමාර්ග හා ආපසු ගෙවීමට දුෂ්කර ණය ආදිය මගිනුයි. එසේම, විධිමත්, ප්‍රකාශිත ප්‍රතිපත්ති මත පදනම් වෙලාත් නෙමෙයි. අවස්ථා කීපයකදී හැර, ආර්ථික ඵලදායිතාව වර්ධනය කරගැනීම කෙරෙහි හා රජයේ ධාරිතාවන් ගොඩනැගීම කෙරෙහි අවධානයක් යොමුකර නැහැ. වෙනිසියුලාව හා සිම්බාබ්වේ වැනි සාපේක්ෂව ඉහළ මට්ටමේ මානව සංවර්ධනයක් සහිත රටවලින් නිරූපණය වූ ආකාරයට, දිග්ගැසුණු ආර්ථික අවපාතයන් හේතුවෙන් ජීවන තත්වයන් ඉක්මණින් බිඳවැටිය හැකියි. සිංගප්පූරුව හා දකුණු කොරියාව අල්ලන්නට කයිවාරු ගහනවා වෙනුවට අප දැන් වටහාගත යුතු වන්නේ බංග්ලාදේශයත් අප පසුකර යන බවයි.

බිඳවැටෙන රාජ්‍ය හැකියාව

(ලොව සාර්ථකම ආයෝජකයකු ලෙස සැලකෙන) වොරන් බෆට් වරක් කී ආකාරයට හෙළුවැල්ලෙන් පීනන අය අතට අසුවන්නේ රැල්ල බැසගිය පසුයි. 1930 දශකයෙන් පසු, ලෝක ආර්ථිකය දැවැන්තම හැකිළීමට ලක්වන මෙම කාලයේදී ශ්‍රී ලංකාවේ අනාරක්ෂිත තත්වය කැපීපෙනෙනවා. ශ්‍රී ලංකාවේ වානිජ අපනයන ප්‍රමාණවත් තරම් විවිධාංගීකරණය වෙලා නැහැ. ඒ නිසා ඒවා දිනෙන් දින වැඩි වැඩියෙන් දුෂ්කරතාවලට මුහුණ දෙනවා. එයට හේතුව ඉල්ලුම අඩුවීමයි. සංචාරක කර්මාන්තය ඇතුළු සේවා අපනයනයෙන් ලැබෙන ආදායම් කොවිඩ්-19න් පසු යථා තත්වයට පත්වන්නට කාලයක් ගතවේවි. ණය ගෙවන්නට තවත් ණය ගැනීම පසුගිය කාලයේ සෑම රජයකම පිළිවෙත වුණා. එහෙත්, ණය ශ්‍රේණිගත කිරීම් පහළ වැටීම නිසා ශ්‍රී ලංකාවට දැන් එය ද පහසු නැහැ. ප්‍රතිපත්ති අස්ථාවරත්වය තමයි එසේ ශ්‍රේණිගත කිරීම් පහළ බසින්නට හේතුව.

අපනයන ආදායම් බිඳවැටීම හමුවේ රජය ප්‍රතිචාර දැක්වූයේ දුරදිග කල්පනා නොකළ ආනයන සීමාකිරීම් මගිනුයි. එම ප්‍රතිපත්තිය පසුපස තිබුණේ අතිසරල වානිජ චින්තනයක්. ඒ අනුව, සියලු ආනයන නරක දේ ලෙස සැලකුවා. එසේම, රාජ්‍යයන් අතර වෙළඳ ශේෂයන් බරපතල ආර්ථික දර්ශක ලෙස සැලකුවා. වර්තමාන ආර්ථිකය තුළ අපනයනය සඳහා ආනයනයන් අත්‍යවශ්‍ය වන බව ඔවුන් හරිහැටි වටහාගෙන නැහැ. අපනයනය කරන්නට තේ වවන්නට පවා පොහොර අවශ්‍ය වෙනවා. තේ අසුරන ද්‍රව්‍ය පවා ආනයනය කරනවා. ප්‍රතිඵලය වන්නේ අවිනිශ්චිතභාවය, ප්‍රමාදය හා දූෂණය සඳහා අවස්ථා උදාවීමයි. බොහෝ විට කාර්යක්ෂම නැති පිරිසක් වන රාජ්‍ය නිලධාරීන්ට පුළුල් බලතල පැවරීම අසමත් වීමට හොඳ මාර්ගයක්.

බොහෝ නිරීක්ෂකයන් දකින ආකාරයට ශ්‍රී ලංකා රාජ්‍යයේ මෙහෙයුම්කරුවන්ගේ කාර්යයන් ඵලදායී ලෙස ඉටුකිරීමේ හැකියාව පහත බසිමින් තිබෙනවා. එයට එක් හේතුවක් වන්නේ රාජ්‍ය අසමත්කම් නිරීක්ෂකයන්ගේ අගතියක් ලෙස සැලකීමයි. අප්‍රසන්න මතකයන් මතුවන්නට ඉඩ තිබෙනවා. එසේම අප සන්සන්දනය කරන්නේ සමාන ව්‍යූහයනුත් නෙමෙයි.  

පළාත් සභා නවය විසින් වාර්ෂිකව ලක්ෂ හැත්තෑවක් පමණ මෝටර් වාහන හසුරුවනවා. වර්තමාන තත්වය වාහන අයිතිය දහස් ගණනකට සීමා වී තිබුණු යුගයට වඩා සපුරා වෙනස්. විදුලි සංදේශ වැනි ඇතැම් අංශවල ගනුදෙනු ප්‍රමාණය හා ඒවායේ කාර්යක්ෂමතාවත් වැඩිවෙලා. තරගකාරීත්වය හඳුන්වාදීමෙන් හා රාජ්‍ය ඒකාධිකාරය ආදායම් මත රඳාපවතින වාණිජ ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමෙන් තමයි මේ සාර්ථකත්වය අත්පත් කරගත හැකිවුණේ.

සියලුම රාජ්‍ය ආයතන ඒකාධිකාරයන්. රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගොස් කලකිරීමට ලක්වන අයෙකුට එය පෞද්ගලික අංශයෙන් ලබාගන්නට බැහැ. ආදායම් හා වියදම් මත රඳාපවතින විනය බොහෝ රාජ්‍ය ආයතනවලට නැහැ. එවැනි ආයතන අභ්‍යන්තරයෙන්ම ප්‍රතිසංස්කරණ හඳුන්වාදී තිබෙන්නේ ඉතා කලාතුරකින්. වැඩිවන සංකීර්ණ ඉල්ලුමත් සමග සමානුපාතිකව බොහෝ රාජ්‍ය ආයතනවල ධාරිතාවන් වැඩි වී නැහැ. එහි ප්‍රතිඵලය වන්නේ සේවා ගුණාත්මකභාවය පිරිහීමයි. අතෘප්තිමත් ‘පාරිභෝගිකයන්ට’ තමන්ගේ අසතුට ඵලදායී ලෙස සන්නිවේදනය කරන්නටවත් හැකියාවක් නැහැ.

තම මානව ප්‍රාග්ධනයේ ගුණාත්මකභාවය තහවුරු කරගන්නට හා එය අඛණ්ඩව උසස් කරන්නට රජය යොමුකරන්නේ අඩු අවධානයක්. මනා කාර්යසාධනයක් තිබෙන සංවිධානයක පදනම වන්නේ නිසි බඳවාගැනීමේ ක්‍රියාවලියයි. එහිදී පරීක්ෂණ හා සම්මුඛ සාකච්ඡා මාලාවක් පැවැත්විය යුතුයි. එයට වගකිවයුතු අය අයදුම්පත්වල ගුණාත්මකභාවය ගැන අසතුටටත්, ප්‍රතික්ෂේප වන්නන් ප්‍රමාණය වැඩිවීම ගැන සතුටටත් පත්වෙනවා. උපාධිධාරීන් හෝ දේශපාලකයන් විසින් තෝරාගත් අය විශාල කණ්ඩායම් ලෙස බඳවාගැනීම තමයි බඳවාගැනීමේ සාමාන්‍ය ක්‍රමය. සම්මුඛ පරීක්ෂණ පවත්වන විටදී වුණත් කරනු ලබන්නේ පළපුරුද්දේ අවුරුදු ගණන බැලීම හා සහතිකවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම වැනි යාන්ත්‍රික දේවලුයි.

සේවකයකු වෙනුවෙන් වන වියදම වැටුපට හා වරප්‍රසාදවලට සීමාවෙන්නේ නැහැ. ව්‍යාපෘති වෙනුවෙන් මිල ගණන් ඉදිරිපත් කරන අය මෙය දන්නවා. ඒ නිසා ඔවුන් ඍජු වියදම් ද එයට එකතු කරනවා. සේවකයකුගෙන් ඵලදායී සේවයක් ලබාගැනීමට පරිගණක, කාර්යාල පහසුකම් ආදිය සැපයිය යුතුයි. සේවකයන් වෙනුවෙන් කරනු ලබන වියදම් ස්පර්ශීය දේවලට පමණක් සීමාවෙන්නේ නැහැ. කලින් කල සිදුකරන සමාලෝචන, පුහුණු සැලසුම් සැකසීම හා ක්‍රියාත්මක කිරීම, වෘත්තීය සංවර්ධන ක්‍රියාකාරකම් ආදියේ වියදම එයට ද එකතු විය යුතුයි. ඇතැම් සංවිධාන මෙවැනි යාවත්කාලීන කිරීම් වෙනුවෙන් සැලකිය යුතු අවධානයක් යොමුකරනවා. ඒවා වාර්ෂික වාර්තාවේ ලේඛනගත කරනවා. දැනුම පරණ වන්නට ගතවන කාලය ඉතා කෙටියි. ඒ නිසා, මානව ප්‍රාග්ධනයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීමට නොවෙයි නම් ඒ මට්ටමෙන් පවත්වාගෙන යාමට හෝ මුදල් වියදම් නොකිරීම මෝඩකමක්. මානව ප්‍රාග්ධනය තමයි සංවිධානයක ප්‍රධාන සම්පත.  

ශ්‍රී ලංකාවේ රාජ්‍යය පිළිබඳ දීර්ඝකාලීන නිරීක්ෂකයකු වන මහාචාර්ය මයික් මුවර් පෙන්වා දී තිබෙන පරිදි රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ඒක පුද්ගල වියදම අඩුවෙමින් තිබෙනවා. ඒ අතර සේවක සංඛ්‍යාව වැඩිවෙමින් තිබෙනවා. ගෙවන වැටුප අඩු මට්ටමක තබාගැනීමටත්, පුහුණුව සඳහා රජයේ වියදම් අවම කිරීමටත් හැම ආකාරයකම පාලනයන් ඇති කර තිබෙනවා (ඒ වෙනුවට ඇතැම් විට කුප්‍රකට තීරු බදු රහිත වාහන වැනි වරප්‍රසාද ලබාදෙනවා).

ගොඩනැගිලි හදන්නට සල්ලි තියෙනවා. ඒත්, ඒවායේ වැඩකරන සේවකයන්ට සාධාරණ වැටුපක් ගෙවන්නට අරමුදල් නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස, රාජ්‍ය ආයතනවල ප්‍රධානම සම්පත වන මානව සම්පත් දැඩි ලෙස පිරිහෙනවා. සංවිධානයට අවශ්‍ය කාර්යසාධනය සමග රජයේ සේවකයන්ගේ පුද්ගල දිරි දීමනා අනුගත කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. වැටුප් වර්ධක ස්ථිර ක්‍රියාවලියක්. කාර්යසාධන මිනුම් යාන්ත්‍රිකයි.

සම්පත් හිඟ සංවිධානයක් ඕනෑවට වඩා සේවකයන් බඳවාගෙන ඔවුන්ට පිළිවෙලක් නැති දිරි දීමනා ගෙවන විට සීමිත අවස්ථා වෙනුවෙන් පොරකෑම තමයි අවසානයේදී සිදුවන්නේ. නායකයන්ගේ ශක්තිය වැයවන්නේ ආයතනයේ සාමය ඇතිකරන්නටයි (එය තමයි රජයේ ආයතනවල මූලික කාර්යසාධන දර්ශකය). බාහිර සේවාදායකයන්ට සේවය සැපයීම එයට දෙවෙනි වෙනවා. ප්‍රගාමී මුලපිරුම්, මූලෝපායික ගොඩනැගීම් හා ස්ථාවර ලෙස ඒවා ක්‍රියාත්මක කිරීම් සඳහා ඉතිරිවන්නේ කෙටි කාලයක්. මෙම සංවිධානවල බොහොමයක් ක්‍රියාකාරකම් ප්‍රතිචාරාත්මකයි. එනම්, මාධ්‍යවල පළ වූ විවේචනයක් හෝ ඇමතිවරයාගේ හදිසි කල්පනාවක් වැනි හේතු මතයි ඒවා සිදුවන්නේ. අවිධිමත් ප්‍රතිචාර දැක්වීම් සඳහා ඇමතිවරුන් හා නිලධාරීන් අභිමතය අනුව බලය පාවිච්චි කරනවා. එහෙත්, එවැනි බලයක් පාවිච්චි කිරීමට පවා ධාරිතාවක් අවශ්‍යයි. ප්‍රතිඵලය වන්නේ රාජ්‍ය අංශයේ ධාරිතාව පහතවැටීමයි. දවස පුරා රැස්වීම් හා ලිපි කටයුතු නිසා නායකයන්ටත් ප්‍රගාමී මුලපිරුම් සඳහා කාලයක් නැහැ. ඊළඟ අර්බුදයේදී චක්‍රය නැවත සිදුවෙමින් කඩාවැටීම වේගවත් වෙනවා. 

තීරණ ගැනීම හා ක්‍රියාත්මක කිරීම සඳහා ඉඩදෙන නීතිමය පරිසරයක් අවශ්‍ය බව සිවිල් සමාජ නායකයන්ගේ රැස්වීමකදී මා අවධාරණය කළා. දුර්වල රාජ්‍යයක් තිබෙන එකේ ගැටලුව මොකක්ද කියා මගෙන් ප්‍රශ්නයක් නැගුවා. ලිබටේරියන්වරුන් හෙවත් ස්වාධීනතාවාදීන් අතරත් මෙසේ සිතන කොටසක් සිටිනවා. ඔවුන්ගේ චින්තනය සැකසෙන්නේ රොනල්ඩ් රේගන්ගේ දැක්මක් අනුවයි. “රජය අපගේ ප්‍රශ්නවලට විසඳුම නෙමෙයි. රජය තමයි ප්‍රශ්නය.” මෙහි තර්කානුකූල ප්‍රතිඵලය වන්නේ අඩු කාර්ය ප්‍රමාණයක් හරිහැටි කරන රජයකුයි. එම රජය කළ යුත්තේ මහජනයාට ස්ථාවරත්වය සපයන එක. එහිදී වෙනත් අය වෙනුවෙන් ධනය නිර්මාණය කරන අය බැහැර නොකළ යුතුයි.

පුදුමයට හේතු වන කාරණයක් වන්නේ, ව්‍යාපාරිකයන් පවා රජයේ කාර්යක්ෂමතාව අපේක්ෂා නොකිරීමයි. පවත්නා ව්‍යාපාරික සංස්කෘතිය තුළ ධනය නිෂ්පාදනය වන්නේ රජය හරහා ලාභ නිර්මාණය කළ හැකි අවස්ථා නිර්මාණය කරගැනීමෙන් හා  තරගකරුවන් මර්දනය කරවාගැනීමෙනුයි. දේශපාලන බලය ඇති අය ධනය හා බලය රාශිභූත කරගැනීම සඳහා තම තනතුරු භාවිතා කරනවා. ඒ සඳහා නිලධාරීන්ගේ හා ව්‍යාපාරික සහචරයන්ගේ සහාය ලබාගන්නවා. රජයේ අකාර්යක්ෂමතාව මේ හැමකෙනෙකුගේම අරමුණුවලට ගැලපෙනවා. රජය සම්බන්ධයෙන් අපට භාවිතා කරන්නට සිදුවන්නේ Kleptocracy හෙවත් චෞර පාලනය කියන වචනයයි. 

දියසේන නොපැමිණීම

1990 දශකයේදී කර්මාන්ත අමාත්‍යාංශය විසින් පවත්වාගෙන ගිය බලපත්‍ර අධිරාජ්‍යය සාර්ථක ලෙස බිඳදමා, 2001දී ශ්‍රී ලංකා ආර්ථිකය අවපාතයෙන් ගලවාගැනීමෙන් රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවෙ ආර්ථිකය කළමනාකරණය කිරීම සඳහා යෝග්‍ය කළමනාකරුවකු බව පෙන්වූවා. එහෙත්, 2015-19 වකවානුවේදී මෙම කීර්තියට දරුණු හානියක් සිදුවුණා. දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය සාර්ථක ලෙස අවසන් කිරීමෙන් හා කොළඹ නගරය අලංකාර කිරීමෙන් ගෝඨාභය රාජපක්ෂ වැඩකරන නායකයකු ලෙස කැපීපෙනුණා. පසුගිය මැතිවරණ ව්‍යාපාරයේදී ප්‍රචාරය කරනු ලැබුවේ එයයි. එහෙත්, ඔහුගේ පාලනයේ පළමු වසර තුළදී ඒ ප්‍රතිරූපය බිඳවැටුණා.  

පද්ධතියේ අසාර්ථකත්වය සම්බන්ධයෙන් පුද්ගලයන්ට දොස් පැවරීම ලේසියි. එහෙත්, වරද තිබෙන්නේ පිරිහුණු රාජ්‍ය ධාරිතාව තුළයි.

ඍණ වර්ධනයකට මුහුණ දී සිටි ආර්ථිකය එම තත්වයෙන් ගලවාගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ විසින් භාවිතා කරන ලද යාන්ත්‍රණය ඒ වනවිටත් තිබුණේ ගරාවැටෙමිනුයි. ඔහුගේ 2015-19 කාලයේදී දක්නට ලැබුණු වෙනස වුණේ ඔහු 2001-04 කාලයේදී කළ අන්දමින් රාජ්‍ය යාන්ත්‍රණයේ ජරපත් කොටස් ක්‍රියාත්මක කරවීමේ නම්‍යශීලීත්වයෙන් යුක්ත නොවීමයි. එසේම, ඔහු විසින් රජය තුළට ගෙන එන ලද බාහිර පුද්ගලයන් ද අපේක්ෂා ඉටුකිරීමට අසමත් වුණා.

ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් ගත්විට පෙනෙන දෙය වන්නේ පටු ලෙස නිර්ණය කරන ලද කලාපයකදී ඵලදායී බව පෙනුණු මෙහෙයවීම හා පාලනය ජනාධිපතිවරයකු ලෙස මුහුණ දෙන්නට සිදුවන සංකීර්ණ පද්ධති ප්‍රශ්න සම්බන්ධයෙන් යෝග්‍ය නැති බව ඔප්පු වීමයි. මූලික ප්‍රශ්නය වන්නේ රාජ්‍ය ධාරිතාවේ පහතවැටීමයි. එය තම කාර්යයන් ඉටුකිරීමට අසමත් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයා වර්තමාන හෝ හිටපු හමුදා නිලධාරීන් කෙරෙහි විශ්වාසය තබනවා. එය හරියට කලින් සිටි පාලකයන් තමන්ගේ පාසල් මිතුරන් කෙරෙහි විශ්වාසය තැබුවා වගෙයි. එහෙත්, අවසානයේදී අවබෝධ වන්නේ ඔවුන්ගේ කුසලතා මෙම කාර්යයන්ට නොගැලපෙන බවයි.  

කාටවත් ශ්‍රී ලංකාව බේරාගන්නට බැහැ. ශ්‍රී ලාංකිකයන් දියසේන කුමාරයාගේ මිථ්‍යාව පසුපස ඕනෑවට වඩා කාලයක් ගෑටුවා. පළමු රාජසිංහ (ක්‍රි.ව. 1581-1593) දියසේන කුමාරයාගේ ආසන්නයටම පැමිණියා. එහෙත්, ආක්‍රමණිකයා පරදවන්නට ඔහු ද අසමත් වුණා. උඩරට රජවරුන් අතරින් සාර්ථකම රජු වූ දෙවන රාජසිංහ (ක්‍රි.ව. 1629-1687) ලන්දේසීන් සමග කළ ඇසුර නිසා ඔහු ගැන කතාකරන විට ‘ඉඟුරු දී මිරිස් ගත්තා වාගේ’ යන ප්‍රස්ථාව පිරුළ සඳහන් වෙනවා. බුදුන්ගේ උපතින් වසර 2,500කට පසු ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත්වන්නට එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායකට වාසනාව තිබුණා. ඔහු තමයි වර්තමාන දේශපාලකයන් අතරින් දියසේන මිථ්‍යාවට වැඩියෙන්ම සමීප වූ නායකයා. එහෙත්, අවසානය සිදු වූ ආකාරය අප හැම කෙනෙකුම දන්නවා. වාර්ගික ගැටුම් ඇවිලුණා. ආර්ථික අවපාතය ඇරඹුණා. අවසානයේදී ඔහු ඝාතනයට ලක්වුණා.

එය 16වන හා 17වන සියවස්වලදී පැවති ප්‍රාථමික ආර්ථිකයන් හා සීමිත සමාජයන් තුළ පවා අසාර්ථක වූ මිථ්‍යාවක්. වර්තමාන සංකීර්ණ ආර්ථිකයකදී හා ජනරජ දේශපාලන සමාජයක් තුළදී එහි තේරුමක් නැහැ. බණ්ඩාරනායක ඛේදවාචකයෙන් පවා පාඩමක් ඉගෙන නොගත් අපගේ ජනතාව දියසේන කුමාරයා සෙවීම නතර කළේ නැහැ. බුද්ධ ජයන්තියෙන් අවුරුදු 60කට පසු දැන්වත් අප දියසේන මිථ්‍යාවෙන් මිදිය යුතුයි.

විසඳුම ආයතනික එකක්. එය පුද්ගලයකු මත රඳාපවතින එකක් නෙමෙයි. යළි පිබිදෙන ආසියාවේ පවතින අවස්ථා ලබාගැනීමෙන් අප වළක්වන බාධක ඉවත් කරන්නට හා වසංගත, ජනවිකාස වෙනස්කම් හා පාරිසරික විපර්යාස තර්ජන කළමනාකරණය කරගන්නට අපට උදව් කරන්නට කිසිදු තනි පුද්ගලයකුට හැකියාව නැහැ. 

රාජ්‍යය ප්‍රතිසංස්කරණය කිරීම හා වෙනස් කිරීම හැර වෙනත් විකල්පයක් නැහැ. එහෙත්, සම්පූර්ණ රාජ්‍යයම පරිගණකයක් සේ ෂට් ඩවුන් කර රීස්ටාට් කළ නොහැකියි. (සුවිශේෂ තත්වයන් තුළදී සමහර කොටස් සම්බන්ධයෙන් නම් එහෙම කරන්නට සිදුවේවි.) රාජ්‍ය සේවකයන් සියලුදෙනා ගෙදර යවා අලුත් පිරිසක් බඳවාගන්නට බැහැ. (අලුතෙන් සුදුසු අය සොයාගන්නේ කොහෙන්ද?) රාජ්‍යය ප්‍රතිසංස්කරණය කිරීම ගමනේ යෙදී සිටින නැවක් අලුත්වැඩියා කරනවා වැනි දෙයක්. අර්ථශාස්ත්‍ර ලිපි පෙළෙහි අරමුණ වන්නේ 21වන සියවසේ ශ්‍රී ලංකාවට ගැලපෙන රාජ්‍ය පාලනයක් නිර්මාණය කරගැනීමේ අභියෝගාත්මක කාර්යයට අවශ්‍ය චින්තනය දිරිගැන්වීමයි.

මහාචාර්ය රොහාන් සමරජීව විසිනි

(පරිවර්තනය අජිත් පැරකුම් ජයසිංහ විසිනි)

Praja

ණය සහන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවැත්වීමෙන් කුමක් සිදුවෙයිද?

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය
සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය

ඩොලර් බිලියන 1.5 ක ජපාන සහනදායි ණය ක්‍රමයකින් නිමකිරීමට සැලසුම් කල කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (එල්ආර්ටී) ව්‍යාපෘතිය අහෝසි කිරීමට ගත් තීරණය දේශීය වශයෙන් ආයතන රෙගුලාසි මෙන්ම මුල්‍ය ප්‍රතිපත්තිවලට අදාළව ද විදේශීය වශයෙන් ජාත්‍යන්තර සබදතා පිළිබඳව ද ගැටලු ඇතිවිය හැකි බව විශ්ලේෂකයන් හා නිලධාරීන් පෙන්වා දෙති.

අදාළ දුම්රිය ව්‍යාපෘතිය අහෝසි කරන ලෙස ජනාධිපතිවරයා පසුගියදා මහාමාර්ග අමාත්‍යංශයට නියෝග කළේ එම ව්‍යාපෘතිය අගනුවර තදබදයට “ලාභදායී විසඳුමක්” නොවන බව පවසමිනි.

එහෙත් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය උසස් නිලධාරීන්ගේ අදහස වී ඇත්තේ එම ව්‍යාපෘතිය පහසුවෙන් අහෝසි කල නොහැක්කක් බවය. එසේ අහෝසිකිරීමෙන් ජාත්‍යන්තර සබඳකම පිලිබදව ගැටලු මතුවියහැකි බව විශ්ලේෂකයෝ ද පවසති.

කිලෝමීටර් 15.7 (සැතපුම් 9.8) ක දුම්රිය ස්ථාන 16 ක් ඇතුළත් සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය ජපන් තාක්ෂණය භාවිත කරමින් ඉදිකිරීමට පසුගිය රජය යටතේ අත්සන් කරන ලද මෙම ව්‍යාපෘතිය විශාලතම විදේශ අරමුදල් යොදාගනිමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කෙරුණු යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය කි. දැඩි රථවාහන තදබදයක් ඇති කොළඹ නගරය තුළ මෙම ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම ද මේ වන විටත් අවසන් කර ඇති අතර මූලික ඉදිකිරීම් කටයුතු ද ආරම්භ කෙරිණි.

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය
ඡායාරූප සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය

එහි පළමු අදියරට මුදල් යෙදවීම සඳහා පසුගිය වසරේ මාර්තු මාසයේදී යෙන් බිලියන 30 ක (ඩොලර් මිලියන 285 ක) ණය ගිවිසුමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (ජයිකා) හා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යංශයේ ලේකම් අත්සන් තැබුණු බව ජයිකා ආයතනය විසින් නිකුත් කළ නිවේදනයක සදහන් විය.

මෙම ණය සියයට 0.1 ක සහන පොලී අනුපාතයකට අවුරුදු 12 ක සහන කාලයක් සමඟින් වසර 40 ක කාලයකින් ආපසු ගෙවිය යුතු බවට එම නිවේදනයේ සදහන් විය.

“මෙම ව්‍යාපෘතිය අවසන් කර වහාම ක්‍රියාත්මක වන පරිදි ව්‍යාපෘති කාර්යාලය වසා දමන” ලෙස ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර ප්‍රවාහන අමාත්‍යාංශයට ලිපියක් යවමින් පසුගියදා කියා සිටියේය. නමුත් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා පවසන්නේ එය තමන්ට කල නොහැකි බවය.

“ඒක මට කැන්සල් කරන්න බෑ නේ, මට ජනාධිපති ලේකම්තුමා රික්වෙස්ට් එකක් එවල තියෙනවා ඒක නවත්තන්න කියල. ඒක කරන්න ඕන කැබිනට් එක. ඒක අපිට කරන්න බෑ,”ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් එන්. බී. මොන්ටි රණතුංග බීබීසී සිංහල සේවයට පැවසීය.

“අපිට කැබිනට් අනුමැතියකින් තොරව වහන්න බෑ. මේක කැබිනට් අනුමැතියකින් ආරම්භකළ ව්‍යාපෘතියක්.”

සිය අමාත්‍යංශයට අයත් නොවූ මෙම විෂය මෑතකදී ඊට පැවරූ නමුත් ඒ සදහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව මුදල් අමාත්‍යංශය විසින් ඉදිරිපත් කරනු ලැබිය යුතු බව ලේකම් රණතුංග පැවසීය.

සැප්තැම්බර් 8 වැනිදා ශ්‍රි ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා (Akira SUGIYAMA) හා ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ අතර බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි ප්‍රවාහන අමාත්‍යාශයේදී හමුවක් ද පැවැත්විණි.

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපති, අගමැති හා කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමෙන් පසුව රජයේ ස්ථාවරය සම්බන්ධයෙන් ජපාන රජය දැනුවත් කිරීමට කටයුතු යොදන බව අමාත්‍ය ලොකුගේ එහිදී පෙන්වා දෙන ලදැයි එම අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කර තිබිණි.

“පෞද්ගලික අංශයේ ව්‍යාපෘතියකට විරුද්ධ නැහැ”

අගනුවර වාහන තදබදය
ඡායාරූප කොළඹ වාහන තදබදය

සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති ව්‍යාපෘතිය අවසන් කිරීමට ගත් තීරණයට කැබිනට් අනුමැතිය ලබාදුන් බව කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල අඟහරුවාදා (සැප්. 29) මාධ්‍යවේදීන් අමතමින් පැවසූ අතර මෙම සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතියට විකල්පයක් සොයා බැලීමට රජය තීරණය කර ඇති බව ද කියා සිටියේය.

මෙම ව්‍යාපෘතිය පිළිබඳව කැබිනට් මණ්ඩලය පුළුල්ව සාකච්ඡා කළ බවත් එය හොඳම විකල්පය නොවන බවට තීරණය කල බවත් අමාත්‍ය රඹුක්වැල්ල පැවසීය.

මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල බීබීසී සිංහල සේවයට පැවසුවේ මෙම ව්‍යාපෘතිය තුළින් රටේ විදේශ විනිමය නිරාවරණය වීමක් සිදුවන බැවින් එය රජය මගින් ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇති අතර පෞද්ගලික පාර්ශවයක් එය ක්‍රියාත්මක කරන්නේ නම් ඊට විරුද්ධ නොවන බවය.

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය

කෝවිඩ්-19 සහ ණය ගෙවීම

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් දැනට පවතින ණය ආපසු ගෙවීමේදී ශ්‍රී ලංකාව දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති බැවින්, ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය විදේශ ණය යටතේ දියත් කරන ලද ව්‍යාපෘති කිහිපයක් සමාලෝචනය කරන ලෙස උපදෙස් දී ඇති අතර බොහෝ ව්‍යාපෘති අත්හිටුවීමට හෝ කල් දැමීමට තීරණය කර තිබෙන බව අමාත්‍යංශ නිලධාරියෙක් පැවසීය.

ගෝලීය කොවිඩ් අර්බුදය හමුවේ ගෝලීය ආර්ථිකය බිදවැටීමත්, ලංකාවේ රුපියල විශාල වශයෙන් අවප්‍රමාණය වීමෙන් රටේ විදේශ විනිමය අර්බුදයක් ඇතිවීම වැළැක්වීම සඳහා රජය දැඩි පියවර ගත්තේය. ආනයන තහනම් කිරීම වැනි විදේශ විනිමය පිටතට ගලායාමේ ක්‍රම නතර කිරිම තුළින් අර්බුදයෙන් බේරීමට පිළියම් යෙදිණි.

“අපිට ප්‍රමුඛතා තියෙනවා, ගම්වල මිනිස්සුන්ට බොන්න වතුර නැතිකොට එල් ආර් ටී වල ගිහින් හරියනවද? තේරුම්ගන්න එපැයි. අපිට (විදේශ විනිමය) අනාවරණයක් ගන්න බැහැ. සියයට 0.1ක් නෙවෙයි නිකන් දුන්නත් අපිට ගෙවන්න තියෙනව නම් අපි අමාරුවේ වැටෙනවා. ලෝකයට (ව්දේශ විනිමය) නිරාවරණය නොවී අපි අපේ අවශ්‍යතාවයන්ගේ ප්‍රමුඛතාවයන් හදුනාගත යුතුයි. එල් ආර් ටී එකට ඉස්සල්ල එලිවේටඩ් රෝඩ් (කුළුණු මතින් යන පාර) හදාගන්න ඕන.” යැයි මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල පැවසීය.

“අපි විදේශ විනිමය යොදා කළ යුතු දේවල් කුඩා ප්‍රමාණයක් හදුනාගත යුතුයි. දේශීයව රුපියල් වලින් කළ යුතු දේවල් වලට විදේශ විනිමය යෙදවීම නොකළ නොයුතුයි,” යැයි ද ඔහු කියා සිටියේය.

ජපානය ශ්‍රී ලංකාවේ විශාලම ආධාර සපයන්නා වන අතර ජපානය විසින් ලංකාවට සපයන ණය විශ්ලේෂකයින් හඳුන්වා දෙන්නේ ඉතා සහනදායි දිගුකාලින ණය ලෙසිනි. ජපානය මේ වන විටත් නව අධිවේගී මාර්ගවල කොටස් සඳහා මෙන්ම අගනුවර රථවාහන තදබදය අවම කිරීම සඳහා කැලණි පාලමට සමගාමීව තවත් ප්‍රධාන පාලමක් සඳහා ද අරමුදල් සපයා ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ සමයේ හා වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ පාලනය තුළ වරාය, මහාමාර්ග සහ දුම්රිය ඇතුළු ව්‍යාපෘති සඳහා චීනයෙන් ඩොලර් බිලියන ගණනක් ණයට ගෙන ක්‍රියාවට නැගීම තුළ රජය චීන හිතවාදී පිළිවෙතක් අනුගමනය කරන බවට ඇතැම් විශ්ලේෂකයින් චෝදනා එල්ල කරති. සමහර ව්‍යාපෘතීන් බීජිංහි “බෙල්ට් ඇන්ඩ් රෝඩ්” ප්‍රධාන සැලැස්ම අනුව ක්‍රියාවට නැගු සුදු අලි ලෙස එම විශ්ලේෂකයින් විසින් හදුන්වනු ලැබුවේ ශ්‍රී ලංකාව විශාල ණය කන්දකට යටවී අවසානයේ ණය ගෙවාගත නොහැකිව ප්‍රාග්ධනය ලෙස එම ව්‍යාපෘතීන් චීනයට පැවරීමට සිදුවිය හැකි බවට බිය පළවීම හේතුවෙනි.

එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව විසින්, ණය ගෙවා ගැනීමට නොහැකි යැයි පවසා චීනය විසින් හම්බන්තොට සාදන ලද වරාය 2017 දී බීජිං හි සමාගමකට ඩොලර් බිලියන 1.12 කට බදු දෙනු ලැබිය.

ද්වීපර්ශවික සබඳතාවලට බලපෑමක්?

“රටවල් ද්විපාර්ශවිය එකඟතාවලට එන්නේ කාරණා කිහිපයක් නිසා. එකක් තමයි රටවල් අතර ඇති දිර්ගකාලින සම්බන්ධතා. අනික තමයි ඒ රටවල් ඒ ද්විපාර්ශවිය සම්බන්ධතාවලින් අන්‍යෝන්‍යව ප්‍රතිලාභ ලබනවා. ආයෝජන ද්විපාර්ශවිය සම්බන්ධතාවක් ඇති උනහම අපිට බලන්න පුළුවන් ඒ ආයෝජන ද්විපාර්ශවිය සම්බන්ධතාවෙන් රටවල් දෙකට ඇතිවන ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ ද්විපාර්ශ්වික ප්‍රතිලාභය මොකක්ද කියල.” යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අංශයේ කථිකාචාර්ය මැණික් වක්කුඹුර පැවසුවාය.

“කිසියම් විටක මෙලෙස අහෝසිවන ආයෝජන ගිවිසුම් නිසා ඊට එකඟ වූ එක රාජ්‍යයක් හෝ (ණය දෙන්නා හෝ ණය ලබන්නා) පාඩු විඳින්නේ නම්, ඒ නිසා රාජ්‍යයන් අතර තිබෙන්නා වූ සුහදතාව, විශ්වසනීයත්වය යන මෘදු නමුත් ප්‍රබල ගුණාංගවලට හානි පැමිණිය හැකියි. මෙවැනි සිදුවීම් සමස්ථයක්ව දෛනික රාජ්‍යතාන්ත්‍රික කටයුතු වලට ද අයහපත් ලෙස බලපෑ හැකියි.” යැයිද කථිකාචාර්යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය’ අහෝසි කරයි

නව කොරෝනා වයිරසයට එරෙහිව ප්‍රතිචාර දැක්වීම සඳහා ස්ථාපිත කළ ‘කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය’ අහෝසි කිරීමට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත.

ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර ඇති ‘නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ වසංගතයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පමණක් 71,000කට වැඩි පිරිසක් මියගොස් ඇත.
 
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන දොළොස් ලක්ෂයකට වැඩිය.
 
ඇමෙරිකානු ආර්ථිකය නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වනවිට වැඩි අවධානයක් යොමු කර ඇත.
 
කෙසේ වෙතත් කාර්යසාධක වැඩි ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් දෙදෙනකු වන ඇන්තනි ෆවුචි සහ ඩෙබෝරා බර්ක්ස් තවදුරටත් ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ උපදේශකයන් වශයෙන් කටයුතු කරනු ඇත.
 
‘‘අපිට ඊළඟ අවුරුදු පහ මේ රට වහලා තියන්න බැහැ’’ මාධ්‍යවේදියකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා කීවේය.
 
මේ අවස්ථාවේදී කාර්ය සාධක බලකාය අහෝසි කිරීම සුදුසු දැයි එම මාධ්‍යවේදීය ඇමෙරිකානු ජනාධිපතිවරයාගෙන් විමසීය.
 
‘‘කාර්යසාධක බලකාය විශිෂ්ට කාර්යභාරයක් කළා. එහෙත් අපි දැන් අවධානය යොමු කරන්නේ ආරක්ෂාව සහ විවෘත කිරීමට’’ යැයි ජනාධිපතිවරයා කීය.

ඔහු මෙම අදහස් පළ කළේ පෞද්ගලික ආරක්ෂණ උපකරණ නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක් නිරීක්ෂණය කරමිනි. 

ජනාධිපතිවරයා එහි සංචාරය කර තිබුණේ මුඛ ආවරණ නොමැතිවය.

(අල්ජසීරා)