ඇමෙරිකාව දුර්වල වුණත් ලෝක අධිපත්‍යය ගන්න චීනයට බැහැ – ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි
ලෝක බලවතකු ලෙස දැනටමත් දුර්වල වී සිටින ඇමෙරිකාව කොරෝනා වසංගතය තුළ තවත් දුර්වල වුව ද ලෝක ආධිපත්‍යය ලබා ගැනීමට චීනයට හැකියාවක් නැති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ජෙෂ්ට කථිකාචාර්ය ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා ප්‍රකාශ කළේය.
ඇමෙරිකාව සිය ආධිපත්‍යය ( හෙජමොනිය ) ගොඩ නගා ගත්තේ හුදෙක් ආර්ථික බලවතකු වීමෙන් නොව ඒකාධිපතිවාදයට විරුද්ධවීම , පෞද්ගලික නිදහස , ප්‍රජාතන්ත්‍රවාදය , මානව හිමිකම් වැනි වටිනාකම් පද්ධතියක් වෙනුවෙන් පෙනී සිටීමෙනි . එමෙන්ම ඔවුන් විසින් ගෝලීය ආයතන පද්ධතියක් ද ගොඩනග ගෙන තිබිණි.
ඔවුන් ඉදිරිපත්කළ වටිනාකම් ඔවුන් විසින් උල්ලංඝනය කොට තිබුණ ද අද දක්වා මොවුන්ගේ හෙජමොනිය පවත්වාගෙන යන්නේ එම වටිනාකම් වෙනුවෙන් පෙනී සිටීම මගිනි.
චීනයට ආර්ථික වශයෙන් ඇමෙරිකාව අභිබවා යා හැකි වුව ද ඔවුන් නියෝජනය කරන වටිනාකම් පද්ධතියක් නැත. චීනයේ පවතින අකාරයේ සමාජයක් ලෝකයේ කිසිම රටක ජනතාවක් ඉල්ලා නොසිටිනු ඇත .මේ නිසා ඔවුන්ට ලෝක ආධිපත්යක් ( හෙජමොනියක්) ගොඩ නගා ගැනීමට ඇති ඉඩකඩ ඉතා අල්ප ය.
එබැවින් ඇමෙරිකාවේ හෙජමොනිය දුර්වල වුව ද ඒ වෙනුවට ගොඩනැගෙන්නේ කුමක් ද යන්න තවම අවිනිශ්චිත බව ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා කියයි.
‘කොවිඩ් වසංගතයෙන් පසු ලෝකය’ මැයින් කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීටය සංවිධානය කළ අන්තර්ජාල සමුළුවකට සහභාගී වෙමින් ආචාර්ය දේවසිරි මහතා මෙම අදහස් පල කළේ ය.