නැති රුපියල් හා නැති ඩොලර් – ඉකොනොමැට්ටා

මේ සමඟ පළ කර තිබෙන පළමු රූප සටහනේ දැකිය හැක්කේ පවර් අවුට්ලට් හතරක් තිබෙන එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක්. මේ විදිහේ එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් තිබේනම් එය පවර් අවුට්ලට් එකකට සම්බන්ධ කිරීමෙන් පසුව විදුලි උපකරණ හතරකට එයින් විදුලිය ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සේ මෙහි තිබෙන පවර් අවුට්ලට් හතරෙන් එකකට තව ඔය වගේම එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් සම්බන්ධ කළොත් ඒකෙනුත් විදුලි උපකරණ හතරකට විදුලිය ලබා ගන්න පුළුවන්. (සම්බන්ධ කරන විදුලි පරිපථය ඕවර්ලෝඩ් වුනොත් ෆියුස් එක යයි. ඒක වෙනම කතාවක්.)රූප සටහනේ තියෙන එක්ස්ටෙන්ෂන් කෝඩ් එකත් පවර් අවුට්ලට් එකකට සම්බන්ධ කරලයි තියෙන්නේ. හැබැයි ඒ විදිහට සම්බන්ධ කරලා තියෙන්නේ ඒකෙම පවර් අවුට්ලට් හතරෙන් එකකට. එක්ස්ටෙන්ෂන් කෝඩ් එක පවර් අවුට්ලට් එකකට සම්බන්ධ කරලා තව උපකරණ හතරකට එයින් විදුලිය ගන්න පුලුවන්නම්, මේ එක්ස්ටෙන්ෂන් කෝඩ් එක පවර් අවුට්ලට් එකකට සම්බන්ධ කරලත්නම්, ඉතුරු වෙලා තිබෙන පවර් අවුට්ලට් තුනෙන් විදුලි උපකරණ තුනකට අවශ්‍ය විදුලිය ලබා ගන්න බැරිද?කෙනෙකුට ඉහත ආකාරයෙන් තර්ක ගොඩ නගන්න පුළුවන්. සමහර විට ඒ වගේ තර්ක සමාජගත කරන්නත් පුළුවන්. නමුත්, මේ වගේ දෙයක් කරන්න බැරි බව ඔකපතන ඉස්කෝලේ පහේ පන්තියේ ළමයෙක් වුනත් කියයි. ඒකට භෞතික විද්‍යාව ලොකුවට දැන ගන්න අවශ්‍ය නැහැ. විදුලි පරිපථ ගැන ලොකුවට දැන ගන්න ඕනෑ නැහැ. ප්‍රායෝගික අත්දැකීම් මත සාමාන්‍ය බුද්ධියට තේරෙන දෙයක්. ඇයි බැරි කියලා ඇහුවොත් ගොඩක් අය මේ වගේ උත්තරයක් දෙයි.“එතකොට කොහෙන්ද මේකට කරන්ට් එක එන්නේ?”ඕක තේරෙන්නේ ප්‍රායෝගික අත්දැකීම් වලින්. ඔය වගේ සාමාන්‍ය පුද්ගලයෙක්ට වැඩි මහන්සියක් නැතුව තේරුම් ගන්න පුළුවන් දේවල් සමහර වෙලාවට ටිකක් වැඩිපුර හිතන කෙනෙක්ට තේරෙන්නේ නැහැ. ඒකෙන් ඒ වගේ කෙනෙක් සාමාන්‍ය පුද්ගලයෙක්ට තේරෙන දෙයක්වත් නොතේරෙන මෝඩයෙක් කියා අදහස් වෙන්නේ නැහැ. අලුත් දැනුමක් නිෂ්පාදනය කරන්න පුළුවන් වෙන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් හිතන විදිහට නොහිතන කෙනෙක්ට. නමුත් සාමාන්‍ය පුද්ගලයෙක් හිතන විදිහට නොහිතා කෙනෙක් යමක් කී පමණින් එය අලුත් දැනුමක් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ කලාතුරකින්.පළමු රූප සටහනේ වගේ පද්ධතියකින් විදුලිය ගන්න බැරි බව තේරුම් ගන්න කාට වුනත් වැඩි අමාරුවක් නැතත්, ඔය සංකල්පයම ටිකක් රට පටලවලා ඉදිරිපත් කළොත් හැමෝටම එක පාරට අවුල මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. මේ සමඟ පළ කර තිබෙන දෙවන රූප සටහනේ තියෙන්නේ ඒ වගේ පද්ධතියක්.මේ දෙවන රූප සටහනේ පද්ධතියෙන් ජෙනරේටරයක් කරකවලා විදුලිය ලබා ගන්නවා. ජෙනරේටරය කරකවන්න යොදා ගන්නේ හුළං පුරවපු බැලුන් වැලක්. බැලුන් ටික වතුර භාජනයක් ඇතුළෙන් යනවා. භාජනයේ අඩියේ බැලුන් වලට ඇතුළට යන්න ඉඩ සලසන එහෙත් වතුර ලීක් නොකරන වෑල්වයක් තියෙනවා. ඒ වෑල්වයෙන් භාජනය ඇතුළට යන බැලුන් එකින් එක උඩුකුරු තෙරපුම නිසා වතුරේ උඩට යද්දී ජෙනරේටරය කැරකෙනවා. හුළං පිරවූ බැලුන් වල ඝණත්වය වතුරේ ඝණත්වයට වඩා අඩු වුනත්, සාමාන්‍ය වාතයේ ඝණත්වයට වඩා වැඩියි. ඒ නිසා, අනෙක් පැත්තෙන් ගුරුත්වය නිසා පහළට බලයකුත් යෙදෙනවා.මේ පද්ධතියේ තිබෙන අවුල මෙය කියවන බොහෝ දෙනෙක් විසින් තේරුම් ගෙන විස්තර කරන්න ඉඩ තිබුණත්, පළමුවෙනි රූප සටහනේ පද්ධතියේ අවුල තේරුම් ගන්න තරමටම ඒක ලේසි නෑ කියන එක මගේ අදහසයි. වෙන වචන වලින් කිවුවොත් ඒ අවුල ඕනෑම පොඩි ළමයෙකුට තේරෙන එකක් නැහැ. රටේ ප්‍රසිද්ධ, සැලකිය යුතු සමාජ ප්‍රාග්ධනයක් එකතු කරගත්ත කෙනෙක් ප්‍රසිද්ධ මාධ්‍යයක ඔය වගේ පද්ධතියක් හඳුන්වා දී විස්තර කළොත් වැඩේ තවත් සීරියස්. ඒ වගේ අවස්ථාවකදී ඔය වගේ අදහසක් සමාජගත වෙන්න වුනත් පුළුවන්.ආර්ථිකය සම්බන්ධ කාරණා වලදීනම් ඔය වගේ දේවල් දුර්ලභ නැහැ. එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් අතපත ගානවා වගේ රටක සාර්ව ආර්ථිකය අතපත ගාන්න අවස්ථාව ලැබෙන්නේ කලාතුරකින් කෙනෙක්ට. ඒ නිසා, ඒ වගේ කෙනෙක්ට හිතන්නවත් තරම් නොවන දේ වෙනත් අයට මාර සීරියස් අදහස් විදිහට පේනවා. ඒක වැරැද්දක් කියන්නත් බැහැ.මේ වගේ ටිකක් දිග පූර්විකාවක් ලිවුවේ නලින් ද සිල්වාගේ ලිපියක තිබෙන පහත අදහස ගැන කතා කරන්න.“වැට් බද්ද පනවා ඇත්තේ ජාමුල අවශ්‍යතාවක් පරිදි. එයට මූලික හේතුව වූයේ ජාමුලට අවශ්‍ය පරිදි රුපියල පා කිරීම. ගෝඨාභය හා කබ්රාල් මුල දී කළාක් මෙන් ඩොලරයට නිශ්චිත අගයක් නියම කළා නම් මුදල් අමාත්‍යාංශයට ඩොලර් මිල දී ගැනීමේ දී මහා බැංකුවට රුපියල් විශාල ප්‍රමාණයක් ගෙවන්න සිද්ධ වෙන්නෙ නැහැ. අද එසේ ගෙවන්න මුදල් අමාත්‍යංශයට රුපියල් නැහැ. රුපියල් හොයා ගන්න වෙන්නෙ මුදල් අච්චු ගැසීමෙන් බදු පැනවීමෙන්. ජාමූල කියනවා මුදල් අච්චු ගහන්න එපා කියලා. ඉතින් වැට් බද්දයි මරාල බද්දයි අර බද්දයි මේ බද්දයි පනවන්න ඕන.”මෙය නලින් ද සිල්වා විසින් මේ අදහස ඉදිරිපත් කර තිබුණු මුල් අවස්ථාව නෙමෙයි. පෙර ලිපියක හෝ කිහිපයකත් මේ කතාව කියා තිබුණා. මෙය නලින් ද සිල්වාගේ ලිපියට පිළිතුරක් හෝ ඔහුට උගන්වන්න ලියන ලිපියක් නෙමෙයි. නමුත්, ස්වාධීනව හිතා ස්වාධීනව අදහස් කළ කරන නලින් ද සිල්වා වගේ කෙනෙක්ට මෙහෙම හිතෙනවානම් රටේ තවත් බොහෝ දෙනෙකුට මෙහෙම හිතෙන එකේ පුදුමයක් නැහැ.ආර්ථික විද්‍යාව පිළිබඳ මූලික මට්ටමේ හෝ දැනුමක් තිබෙන කෙනෙකුට මෙය විස්තර කළ යුතු නැතත්, එසේ නොවන බොහෝ දෙනෙකුට කතාවේ අවුල තේරුම් ගන්න එක ඒ තරම්ම සරල නැතුව ඇති කියා හිතෙන්නේ නලින් ද සිල්වා වගේ කෙනෙක් විසිනුත් මේ කතාව ලියා තිබෙන නිසා.මෙහි තිබෙන්නේ රාජපක්ෂ ආර්ථික ක්රමයේ ඉතා කෙටි සාරංශයක්. විශේෂයෙන්ම 2010-2012 කාලයේදීත්, ඉන්පසුව 2020-2021 වසර වලදීත් කළ දේ තමයි මෙහි කෙටියෙන් තියෙන්නේ. එහෙම කරලා රට ඉතිහාසයේ වැටුණු නරකම තැනකට වැටිලා හොඳම එකෙන් කෙළ වුණු විදිහ ඇස් පනාපිට දැක්කට පස්සේ තවමත් ඔය ක්‍රමය ගැන කතා කරන අය ඉන්නවා කියන්නේ බැරෑරුම් ලෙස සිතිය යුතු කරුණක්. විශේෂයෙන්ම ඒ ගොඩේ ඉන්න ඇතැම් අය සාමාන්‍ය පුද්ගලයින්ම නොවන නිසා.මෙය කියවන ගොඩක් අයටනම් මේකේ ලිපියක් ලියා විස්තර කරන්න තරම් දෙයක් නැතුව ඇති. නමුත්, මේ කතාවේ අවුල නැවත නැවත මතක් නොකළොත්, අද හෙට නොවෙතත්, නැවත කවදා හෝ දවසක රෑ වැටුණු වලේ දවල් වැටෙන්න පුළුවන්.දැන් මෙහි තර්කය මේ වගේ එකක්. ඩොලරයක මිල පා වෙන්න නොදී රුපියල් 200 වගේ මට්ටමක නොවෙනස්ව තියාගෙන හිටියානම් රජයට ඒ මිලට මහ බැංකුවෙන් ඩොලර් මිල දී ගන්න තිබුණා. එහෙමනම්, රජයේ වියදම් මේ තරම් ඉහළ යන්නේ නැහැ. ඒ නිසා, බදු වැඩි කරන්න වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ බදු වැඩි කරන්න අවශ්‍ය වුනේ ඩොලරය පා කළ නිසා.පළමුව, රජයේ වියදම් වැඩි ප්‍රමාණයක් රුපියල් වියදම් මිසක් ඩොලර් වියදම් නෙමෙයි. රටේ උද්ධමනය වැඩි වෙද්දී මේ වියදම් කොහොමටත් වැඩි වෙනවා. ඒ වැඩි වූ වියදම් යම් ක්‍රමයකින් හොයා ගන්න වෙනවා. උද්ධමනය වැඩි වෙද්දී බදු ආදායම්ද නිකම්ම ඉහළ යන නමුත් පටන් ගනිද්දීම රජයේ ආදායම් හා වියදම් අතර විශාල පරතරයක් තිබුණොත් උද්ධමනය නිසා වෙන්නේ ඒ පරතරය වැඩි වෙන එක.රජය විසින් ආනයනික භාණ්ඩයක් මිල දී ගත්තත් බොහෝ අවස්ථා වලදී එසේ මිල දී ගන්නේ රට ඇතුළේම ඉන්න සැපයුම්කරුවෙක්ගෙන්. සෘජුවම ආනයනය කරන්නේ නැහැ. ඒ නිසා, ගෙවන්නේ රුපියල් වලින් මිසක් ඩොලර් වලින් නෙමෙයි. රුපියල් වලින් ගෙවුවත් ඩොලරය ඉහළ යද්දී මේ වගේ වියදම් ඉහළ යනවා තමයි. නමුත් රජය විසින් ආනයනික භාණ්ඩ මිල දී ගැනීම සඳහා යන වියදම රජයේ මුළු වියදම් වල එක් කොටසක් පමණයි. අනෙක් පැත්තෙන් ඩොලරයක මිල ඉහළ යද්දී ආනයන බදු ආදායම් ආදියත් නිකම්ම ඉහළ යනවා. මෙහිදීත් ඩොලරයක මිල ඉහළ යාම ප්‍රශ්නයක් වෙන්නේ පටන් ගනිද්දී ඩොලරයක මිල මත තීරණය වන වියදම් හා ඩොලරයක මිල මත තීරණය වන ආදායම් අතර පරතරයක් තිබුනොත් පමණයි.මීට අමතරව රජයට ඩොලර් අවශ්‍ය වෙන්නේ කලින් ගත් විදේශ ණය වල වාරික හා පොලී ගෙවන්න. ඒවා ඩොලර් වලින්ම ගෙවන්න වෙනවා වගේම ඒ සඳහා රුපියල් ගෙවා මහ බැංකුවෙන් ඩොලර් මිල දී ගන්නත් වෙනවා. නමුත් ඒ වගේම මෙහි අනෙක් පැත්තකුත් තිබෙනවා. රජය විසින් අලුතෙන් ගන්න විදේශ ණය මහ බැංකුවට විකුණලා රුපියල් කරන්නත් වෙනවා. රජය ශුද්ධ වශයෙන් විදේශ ණය ගෙවනවානම් ඩොලරයක මිල පහළින් තියෙන එක වාසියි. නමුත් වෙන්නේ ඒකේ අනෙක් පැත්තනම් ඩොලරයක මිල පහළින් තියෙන තරමට රජයට පාඩුයි. දැන් පොඩි වෙනසක් වී තිබුණත් බොහෝ විට ලංකාවේ තිබුණු තත්ත්වය දෙවැන්න මිසක් පළමුවැන්න නෙමෙයි.කොහොම වුනත්, මේ තර්කයේ තිබෙන ප්‍රධාන වැරැද්ද ඕක නෙමෙයි. රජයට මහ බැංකුවෙන් අඩු මිලට ඩොලර් මිල දී ගන්න පුළුවන් වුනත් එහෙම කරද්දී මහ බැංකුවේ සංචිත අඩු වෙනවා. ඒ නිසා, මහ බැංකුවේ සංචිත එලෙසම පවත්වා ගනිමින් ඔය වැඩේ කරන්නනම් මහ බැංකුව විසින් රජයට විකුණන ඩොලර් ප්‍රමාණය නැවත කාගෙන් හෝ මිල දී ගන්න වෙනවා. මිල අඩු මට්ටමක තියාගෙන ඉඳිද්දී කවුරුවත් ඒ මිලට මහ බැංකුවට සංචිත විකුණන්නේ නැහැ. ඒ නිසා, මේ වැඩේ කරද්දී මහ බැංකුවේ සංචිත ටිකෙන් ටික හිඳී ගිය ආකාරයත්, රටේ හා රටට සල්ලි එවන රටින් පිට ඉන්න මිනිස්සු බැංකු ක්‍රමය අත ඇරලා උන්ඩියල් වලට මාරු වුන ආකාරයත් අපි ඇස් පනාපිටම දැක්කා. සෙල්ලම නතර වෙද්දී සංචිත හිඳිලා රටත් බංකොලොත් වෙලා.කවුරුවත් ඩොලර් විකුණන්න කැමති නොවන අඩු මිලක ඩොලරය තියාගෙන ප්රශ්නය විසඳගන්න හදන එක මුලින් කී පද්ධති දෙකෙන් එකකින් විදුලිය ගන්න හදනවා වගේ වැඩක්. හැබැයි මේ වගේ දෙයක් ඉතා කෙටි කාලයක් කරන්න පුළුවන්. ඒ මහ බැංකුව සතුව යම් විදේශ සංචිත ප්‍රමාණයක් තිබෙන නිසා. මේක හරියට බැටරියක විදුලිය ගබඩා කර ගන්නවා වගේ දෙයක්.නිතර ලයිට් කපපු පහු ගිය කාලයේ ගොඩක් ගෙවල් වල ලයිට් ගිය වෙලාවට ස්වයංක්‍රීය ලෙස පත්තු වෙන විදුලි පහන් තියාගෙන හිටියා. මේ විදුලි පහන් ක්‍රියාත්මක වෙන්නේ බැටරියකින්. විදුලි බලය තියෙන වෙලාවට බැටරිය චාජ් වෙනවා. ලයිට් ගියාම ඒ චාජ් එකෙන් බල්බ් එක පත්තු වෙනවා. නැවත විදුලි බලය ලැබුණු විට බල්බ් එක ස්වයංක්‍රීය ලෙස නිවී ගිහින් බැටරිය චාජ් වෙන්න පටන් ගන්නවා.ඔය වගේ විදුලි පහන් වලින් ලයිට් ගිය වෙලාවට එළිය ගන්න පුළුවන් වුනේ එක දිගටම ලයිට් නොකපපු නිසා. විදුලි පහනේ බැටරිය බහින්න කලින් හැම විටම වගේ නැවත ලයිට් එනවා. එහෙම වුනේ නැත්නම් චාජ් එක ඉවර වුනාට පස්සේ ඔය විදුලි පහණත් නිවී යනවා. එක දිගටම ඩොලරයක මිල පහළින් තියා ගනිද්දී වෙන්නෙත් හරියටම ඔය වැඩේ. බැටරියේ චාජ් එක ඉවර වෙනවා වගේම රටේ නිල සංචිතත් ඉවර වෙනවා. ඊට පස්සේ ඉතිං රටම කළුවරේ තමයි.ආර්ථික විද්‍යාඥයෝ මේ වෙන්න යන දේ පෙන්වලා දුන්නේ අවුරුදු ගණනකට කලින්. අපිම වුනත් අවුරුදු හත අටකට කලින් සිට බ්ලොග් එක හරහා වෙන්න යන දේ ගැන කියා තිබුණා. ඒ දවස් වල කියද්දී නොතේරුණු එකේ ලොකු ප්‍රශ්නයක් නැතත් ඒ කියපු දේවල් ඒ විදිහටම වෙලා රටම මේ තරම් ලොකු අමාරුවක වැටුනට පස්සේ තවමත් තේරෙන්නේ නැත්නම් ඉතිං අනේ මන්දා…රාජපක්ෂ ආර්ථික ක්රමයේ තිබුණේ යෙදවුම් නැතුව සම්පත් මවන ආකෘතියක්. මුලින් ඉදිරිපත් කළ පද්ධති වැඩ කරන්නේ නැහැ වගේම මේ වගේ ක්‍රමයක් වැඩ කරන්නේ නැහැ. පද්ධතිය ඇතුළට කොහෙන් හෝ කරන්ට් එක ගන්නම වෙනවා. නලින් ද සිල්වාගේ ලිපියේ මෙහෙම කොටසකුත් තිබෙනවා.“මේ කවුරුත් කරන වරද තමයි ජාමුල මත පමණක් රැඳීම. ඔවුන් ආර්ථික නොබැඳි පිළිවෙතක් අනුගමනය කරන්නෙ නැහැ. ඔවුන් බ්‍රික්ස් කණ්ඩායමේ සංවර්ධන බැංකුවට යන්නෙ නැහැ.”මෙහි යෝජනා කරන්නේ ජාත්‍යයන්තර මූල්‍ය අරමුදල වෙත නොගොස් වෙන තැනකින් කරන්ට් එක ගත යුතු බව. වෙන තැන ඉතිං චීනයනේ. ඒ කියන්නේ ඩොලරයක මිල දිගටම පහළින් තියාගෙන සිටිමින්, ඒ මිලට කවුරුවත් ඩොලර් සපයන්නේ නැති අඩුවට දිගින් දිගටම ණය ගන්න කියන එක. ඒ විදිහට එළියෙන් කරන්ට් එක එනවානම් එහෙම එනකම් ලයිට් පත්තු වෙනවා. රාජපක්ෂ ක්‍රමය ඇතුළේ ලයිට් පත්තු වුනේ ඔය ක්‍රමයට.හැබැයි ඔය ක්‍රමයට ගිහින් අන්තිමට ලයිට් නිවුනා. ඔය විදිහට දිගින් දිගටම ණය අරගෙන තවත් ණය ගන්න බැරි වෙලාවක් ආවා. ඩොලරයක මිල පාලනය කරගන්න බැරි වුනේ ඊට පස්සේ.මම ජාජබ ආර්ථික ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. නමුත්, ඒ ප්‍රතිපත්ති වල ප්‍රශ්න කොයි තරම් තිබුණත්, එයින් අදහස් වන්නේ ඒ ප්‍රතිපත්ති වල හැම කොටසක්ම නරක බව නෙමෙයි. ඒ වගේම, රාජපක්ෂ ක්රමයේ සහ ජාජබ ක්රමයේ යම් සමානකම් තිබුණත් ඒ දෙක එකක්ම නෙමෙයි. පැහැදිලි වෙනස්කම් තිබෙනවා.විණිමය අනුපාතය පාලනය කිරීම ඇතුළු මිල පාලනය සමාජවාදීන් අතර ජනප්‍රිය ක්‍රමයක්. නලින් ද සිල්වා යෝජනා කරන්නෙත් ඒ සමාජවාදී ක්‍රමය. නමුත්, රජය ආදායම ඉක්මවා වියදම් කරන එක සාමාන්‍යයෙන් සමාජවාදී භාවිතාවක් නෙමෙයි. ඒ වැඩේ ගොඩක් වෙලාවට වෙන්නේ “පාලනය” වෙනුවට “නිදහස” වෙනුවෙන් පෙනී සිටින අය අතින්. ඒ වගේ සමහර තැන් වල රජයයන් විසින් රාජ්‍යමූල්‍ය පාලනය අමතක කරලා නිදහසේ ණය වෙනවා.රාජපක්ෂ ක්‍රමයේත් ජාජබ යෝජනා වලත් වෙනස කුමක්ද කියලා සමහර අය අහනවා. රාජපක්ෂ ක්‍රමයට කරන්ට් එක එන ක්‍රමයක් නැහැ. එකම ක්‍රමය වෙන රටකින් ණය ගන්න එක. ඒ වැඩේ දිගින් දිගටම කරන්න බැහැ. රට ඇතුළේ කරන්න හැදුවේ බදු කපලා, ඒ අඩුවට සල්ලි අච්චු ගහලා, ඒ මගින් ආදායම වැඩි කර ගන්න. එහෙම කරලා ආදායම් වැඩි කරගන්න පුළුවන් තමයි. නමුත් බොහෝ දුරට වැඩි වෙන්නේ නාමික ආදායම්. ඒ උද්ධමනය නිසා.ජාජබ යෝජනා වල බදු කැපීමක් හෝ සල්ලි අච්චු ගැසීමක් ගැන මම දැකලා නැහැ. ඒවායේ තියෙන්නේ බදු ආදායම් වැඩි කර ගෙන රජයේ ආදායම් හා වියදම් තුලනය කර ගැනීම ගැන. දැන් කරන්න හදන්නෙත් ඒ වැඩේම තමයි. වෙනසක් තියෙනවානම් තියෙන්නේ බදු ආදායම් එකතු කරගන්න යන ක්රමයේ. එහෙම වෙනසක් හරි තියෙයිද කියලා බලන්න වෙන්නේ කරන වෙලාවකම තමයි.මොන විදිහකින් හෝ අවසාන වශයෙන් විය යුත්තේ රජයේ ආදායම් හා වියදම් තුලනය වෙන එක. ඒක මොන විදිහකින් වුනත් වෙනසක් නැහැ කියන එක එයින් අදහස් වෙන්නේ නැහැ. වෙන විදිහ ආර්ථික වර්ධනය කෙරෙහි බලපානවා. නමුත් මොන විදිහෙන් හෝ රජයේ ආදායම් හා වියදම් තුලනය වේනම්, වෙන ලොකු පිස්සුවක් නැටුවේ නැත්නම්, කලින් සැරේ වගේ නැවත වරක් ආර්ථිකය විශාල අර්බුදයකට යන්නේ නැහැ.කෙටියෙන් කිවුවොත් නැති රුපියල් වලින් අයවැය හිඟය පියවන්න බැහැ. නැති ඩොලර් වලින් විදේශ අංශය තුලනය කරන්න බැහැ.
ඉකොනොමැට්ටා



බ්ලොග් අඩවියෙන්
ජාතික සම්පත් ගොඩනගන්න ජාතික විපත් විකුණමු – සී.ජේ. අමරතුංග

ජාතික සම්පත් විකිණීමට විරුද්ධ වීම දැන් ජනප්‍රියත්වයෙන් හීනවෙමින් පවතින සටන්පාඨයකි. එයට හේතුව නම් ජාතික සම්පත් ලෙස ඇතැම් පිරිස් හඳුන්වන රාජ්‍ය ආයතන බොහොමයක් ඇත්ත වශයෙන් ම ජාතික විපත් බව තහවුරු වී තිබීම යි. එබඳු ආයතන විකුණා දැම්මත් දැන් එතරම් මහජන විරෝධයක් මතුවන්නේ නැත. ඇතැම් විට එම ආයතනවල සේවකයින්ට පවා දැන් මෙම යථාර්ථය තේරුම් ගොස් ඇති බව පෙනෙන්නට තිබේ.
පසුගිය කාලයේ මෙම ආයතන රැක ගැනීමට කියමින් විශාල මාධ්‍ය ප්‍රචාර සමග කැඳවන ලද සටන්වලට එම ආයතනවල සේවකයෝ බහුතරයක් සහභාගී නොවුහ. ඛනිජ තෙල් වෙළෙඳාමේ රාජ්‍ය ඒකාධිකාරය අහෝසි කිරීමට ඉදිරිපත් කළ පනත සම්මත කරන දින කැඳවා තිබු තෙල් සංස්ථා සේවක වැඩ වර්ජනය එදින දහවල් වනවිට අත් හැර දමන ලද්දේ සේවකයින් බහුතරය එයට සහභාගී නොවීම හේතුවෙන් බව රහසක් නොවේ.
මෙම විරෝධතා දැන් තරමක් වෙනස් ලෙස ද ඉදිරිපත් කරනු දක්නට ලැබෙයි. පාඩු ලබන ආයතන විකිණීම සාධාරණ නමුත් ලාභ ලබන ආයතන විකිණීම වැරදිය යන තර්කය ඉන් එකකි. තවත් තර්කයක් නම් මේවා පාඩු ලබන්නේ දේශපාලඥයින්ගේ දුෂණ නිසා බවයි. එමෙන් ම සුදුසු ,දක්ෂ කළමනාකරුවන් වෙනුවට අදක්ෂ ඥාති හිතවතුන් පත් කළ නිසා බව යි. එසේ කියන විට දේශපාලඥයන්ට එසේ කිරීමේ හැකියාව ලැබුණේ මේවා රාජ්‍ය ආයතන වීම නිසා ය යන්න අමතක කරති. නැතහොත් නොතකා හරිති.
රජයට ව්‍යාපාර කරන්න බැරිදැයි අසන සමහරු අතීතයේ ලාභ ලැබූ අයුරු කියති. ආණ්ඩුවට ව්‍යාපාර කරන්න පුළුවන් බවත්, ඒවායින් ලාභ ලබන්නට පුළුවන් බවත්, ඇත්තකි. බොහෝ විට එම ලාභ ලබන්නේ රාජ්‍ය බලය යොදාගෙන ය. ඇත්ත වශයෙන් ම සිදුවන්නේ එම ආයතනවල අකාර්යක්ෂමතවයට ජනතාවට ගෙවන්න සිදුවීම ද යන්න ප්‍රශ්න කළ යුතුව ඇත. එසේ වූ විට ආයතන ලාභ පෙන්නුවාට ජනතාවට ලාභයක් නැත.
රජයේ වුවත්, පෞද්ගලික වුවත්, ඒකාධිකාරයක් පවතින තැන කාර්යක්ෂම නිෂ්පාදනයක් සිදුවන්නේ නැත. එසේ වන්නේ, තමන්ගේ අකාර්යක්ෂමතාවය නිසා වන හානිය වෙළෙදපොළ හරහා පාරිභොගික්කයා වෙත පැටවීමට ඒකාධිකාරයට හැකි නිසා ය. ආයතනයේ සියලු නාස්තියට පාරිභෝගිකයාට ගෙවන්නට සිදුවෙයි. එවිට ආයතන ලාභ ලබයි. පාඩුව විඳින්නට වෙන්නේ පාරිභෝගිකයාට ය.
රාජ්‍ය ව්‍යවසාය කිසි විටෙක ලාභ නොලබනු ඇතැයි අපි නොකියමු. එසේ වුව ද, ඇත්ත ලාභ ලැබිය හැක්කේ වෙළෙඳපොළ තරඟයට විවෘත කිරීමෙනි. මෙරට රාජ්‍ය ව්‍යාපාර ලබන ලාභ එවැනි සැබෑ ලාභ නොවන බව බොහෝ සාධක මගින් පෙන්වා දිය හැකි ය.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙයට හොඳ උදාහරණයකි. තෙල් මිල වැඩි කිරීමෙන් පසු මෙම ආයතනය ලාභ ලබන බව කියති. එසේ වුවත්, එහි අති විශාල සේවක අතිරික්තයකට වැටුප් ගෙවන බව, සේවක අතිරික්තයක් සිටිය දී අතිකාල ගෙවීම, මෙන් ම දුෂණ අක්‍රමිකතා ද කෝප් කමිටුව සහ වෙනත් වාර්තා මගින් හෙළිදරව් වී තිබේ. ලාභ ලබන්නේ සියලු විනාශයන්ට ගෙවන්නට පාරිභෝගිකයා පිට බර පැටවීමෙනි. මේ සියල්ල වඩා හොඳින් පෙනෙන්නට පටන්ගත්තේ අයි ඕ සී සමාගමට වෙළෙඳපොළ විවෘත කොට සීමිත තරගයක් ඇති කළ පසුව ය.
මෙබඳු තවත් තොරතුරු ලංකා ධීවර සංස්ථාව පිලිබඳ කෝප් කමිටු විමර්ශනයේ දී හෙළි වී ය. එම ආයතනය ලාභ ලබන්නේ සහ පවත්වාගෙන යන්නේ රජයේ රෝහල්, හමුදා , පොලීසි ඇතුළු රජයේ ආයතනවලට මාළු සැපයීමේ ඒකාධිකාරය ලබා දී ඇති නිසා ය. මාළු දෙන්නේ වෙළෙඳපොළෙන් මිල දී ගෙන ය. වෙළෙඳපොළෙන් මාළු අරන් දෙන්න රාජ්‍ය ආයතනයක් නඩත්තු කරන්නේ මොන මගුලකට ද කියා ඇසිය යුතු නැද්ද? මේ සියල්ලට ගෙවන්නේ ජනතාවගේ සාක්කුවෙනි.
රජයේ බැංකුවලට ද මෙබඳු ඒකාධිකාරයක් ලබා දී ඇත්තේ රාජ්‍ය ආයතනවල ගිනුම් ඒවායේ පවත්වාගෙන යාම මගිනි. එමනිසා එම බැංකුවලට තරඟයක් නැත. ප්‍රතිඵලය වශයෙන් එම බැංකු තැන්පතු පොළිය සහ වාණිජ ණය ලබාදෙන පොළිය අතර පවත්වාගෙන යන වෙනස පිළිගත් ප්‍රමිතියට වඩා වැඩි බව කියති. එම පොළී මට්ටම්වල වාසිය ලබාගන්නා පෞද්ගලික බැංකු අධික ලාභ ලබති. බැංකු ක්රමයේ තරඟකාරීත්වය ද අවම ය. ප්‍රතිඵලය නම් අපගේ ව්‍යාපාරිකයින්ට බැංකු ණය ලබාගැනීම අතිශය දුෂ්කර කටයුත්තක් වී තිබීම ය. එලෙස, රාජ්‍ය බැංකු මගින් ඇත්තටම සිදු වී තිබෙන්නේ රටේ ආර්ථිකයට විපතකි.
රක්ෂණ සංස්ථාව ගැන ද කතාව ඒ හා සමානය. ඒකාධිකාරය සාදා ඇත්තේ රජයේ ආයතනවල රක්ෂණ ලබා දීමෙනි. රක්ෂණ ක්ෂේත්රයේ තරඟකාරීත්වය අවම වීම හා එම ක්ෂේත්රයේ ම අකාර්යක්ෂමතාවයට මෙය හේතුව කි.
රෝගාතුරව සිටින මාධ්‍යවේදිනියකට කළ යුතු වූ පරීක්ෂණයකට රජයට අයත් පෞද්ගලික රෝහලකින් දී තිබු ගාස්තුව තරඟකාරී වෙනත් පෞද්ගලික රෝහල්වලට වඩා සියයට 15 ක් 20 ක් තරම් වැඩි මුදලකි. එලෙස ගාස්තු නියම කර ඇත්තේ රජයේ ආයතනවල රක්ෂණ ක්‍රම ආදිය පිලිබඳ යම් ඒකාධිකාරී තත්ත්වයක් ඔවුන්ට ලැබී තිබෙන නිසා විය හැකි ය. ප්‍රතිඵලය නම් සමස්තයක් ලෙස ගාස්තු ඉහළ මට්ටමක තබා ගැනීමට අනෙක් රෝහල්වලට ද අවස්ථාව ලැබීම යි. තරඟකාරීත්වයේ වාසිය රෝගීන්ට නොලැබීම යි.
මෙලෙස මෙම රාජ්‍ය ආයතන මගින් සිදු වී ඇත්තේ රටේ ආර්ථිකයේ කාර්යක්ෂමතාවය විනාශ කිරීමයි. මෙහෙම තියාගෙන රටට ගොඩ යන්නත් බැරිය. රට ගොඩ නගන්නත් බැරිය.
සමහරු කියන අතීතයේ තිබු තත්ත්වය මීටත් නරක ය. එකල තිබුණේ සම්පුර්ණ රාජ්‍ය ඒකාධිකාර කියා කිවහොත් වරදක් නැත. සිමෙන්ති සංස්ථාව, වානේ සංස්ථාව , ටයර් සංස්ථාව එබඳු ඒකාධිකාර ලෙස පැවතිණි. ටයර් සංස්ථාව ලාභ ලැබුවේ ආනයනය කරන ටයර්වලට සියයට 300 ක් බදු පනවා තිබීමෙනි.
දැන් මේ ඊනියා ජාතික සම්පත් විකුණා කාලයක් ගත වී ඇත. ප්‍රතිඵලය නම් දැන් අපට එම ක්ෂේත්රවල සැබෑ සම්පත් කිව හැකි නිෂ්පාදන ආයතන, සමාගම් රාශියක් බිහි වී තිබීම යි. දැන් අපි ටයර් ඇතුළු රබර් නිෂ්පාදන අපනයනය කරමින් සිටිමු. අපගේ රබර් භාණ්ඩ අපනයන වෙළෙඳපොළ රටවල් සියයකට වඩා වැඩි ය. අපගේ පාරිභෝගිකයාට තරඟකාරී මිලකට භාණ්ඩ මිල දී ගත හැකි ය. සැබෑ ජාතික සම්පත් කිව හැක්කේ මේවාට ය.
අපට සැබෑ ජාතික සම්පත් කිව හැක්කේ නිදහස් වෙළෙඳ කලාප සහ ඉන් පිටත ද පිහිටා ඇති වෙළෙඳපොළේ තරඟකාරී කර්මාන්ත සහ කෘෂිකාර්මික ව්‍යාපෘති වලට ය. රැක ගත යුත්තේ එම සම්පත් ය.
රාජ්‍ය ආයතන ලෙස අපට ඇත්තේ සැබවින් ම ජාතික විපත් ය. ඒවා ජාතික සම්පත් බවට හැරවිය යුතුව තිබේ.
සී.ජේ. අමරතුංග
2022-12-27 අනිද්දා පුවත්පතේ සමබිම අතිරේකයෙනි
Praja
බදු එපා ! දිගට ම හිඟා කමින් සහනාධාර දෙනු ! – සී ජේ අමරතුංග
ඉතින් අපි කවදාක ගොඩ යමු ද මේ වළෙන් !

මේ දිනවල විපක්ෂයේ ප්‍රධාන සටන් පාඨ බවට පත් වී ඇත්තේ බදු වැඩි නොකරනු යන්න සහ ජනතාවට සහනාධාර දෙනු යන්න ය. මේ කතන්දර දෙක ම කියන්නට පහසු ය. එමෙන් ම ජනප්‍රිය ය. එසේ වුව ද , ප්රශ්නය තියෙන්නේ මේ දෙක ම එකවර කරන්නට යන විට ය.
මේ ප්‍රශ්න දෙක ම බරපතළ ලෙස මතුවන්නේ රට මුහුණ දී තිබෙන දරුණු ආර්ථික ර්අබුදය හේතුවෙනි. එක පැත්තකින් කියන්නේ ජනතාව පීඩාවට පත්ව ඇති නිසා බදු වැඩි නොකළ යුතු බව යි. අනෙක් අතට කියන්නේ පීඩාවට පත්ව සිටින ජනතාවට සහනාධාර දිය යුතු බව යි.
ආර්ථික ර්අබුදයෙන් දරුණු ලෙස පීඩාවට පත්ව සිටින ජනයාට සහනාධාර දීම අවශ්‍ය ය. එය රජයක වගකීමක් ද වෙයි. ඒ සඳහා රජයට ආදායම් තිබිය යුතු ය. රජයක ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ ජනතාවගෙන් අය කර ගන්නා බදු මුදල් ය. බදු නොවන ආදායම් ලෙස තිබෙන්නේ ජනතාවට විවිධ සේවා ලබාදීමෙන් අයකර ගන්නා මුදල් ය. සාමාන්‍යයෙන් එය සාපේක්ෂව කුඩා ප්රමාණයකි.
එබැවින් ජනතාවට සහනාධාර දීමට නම් එම මුදල් ජනතාවගෙන් ම ලබාගත යුතු වෙයි. වෙනත් ක්‍රමයක් නැත. මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම ද ක්‍රියාත්මක වන්නේ ජනතාවට බදු ගැසීමක් වශයෙනි. එබැවින් බදු නොගෙන සහනාධාර දෙන්නයි කීම ම ප්රශ්නයකි. ඇත්ත වශයෙන් ප්‍රශ්න කළ යුතු වන්නේ බදු ගන්නේ කාගෙන් ද?, එයින් සහන දෙන්නේ කාට ද? යන්න පිළිබඳව ය. එමෙන් ම ජනතාවගෙන් ගන්නා බදු මුදල් නියමාකාරයෙන් ජනතාවගේ යහපත වෙනුවෙන් යොදන්නේ ද යන්න ද ප්‍රශ්න කළ යුතු ය.
එබැවින් ජනතාවට සහනාධාර දීමට නම් එම මුදල් ජනතාවගෙන් ම ලබාගත යුතු වෙයි. වෙනත් ක්‍රමයක් නැත. මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම ද ක්‍රියාත්මක වන්නේ ජනතාවට බදු ගැසීමක් වශයෙනි. එබැවින් බදු නොගෙන සහනාධාර දෙන්නයි කීම ම ප්රශ්නයකි. ඇත්ත වශයෙන් ප්‍රශ්න කළ යුතු වන්නේ බදු ගන්නේ කාගෙන් ද?, එයින් සහන දෙන්නේ කාට ද? යන්න පිළිබඳව ය. එමෙන් ම ජනතාවගෙන් ගන්නා බදු මුදල් නියමාකාරයෙන් ජනතාවගේ යහපත වෙනුවෙන් යොදන්නේ ද යන්න ද ප්‍රශ්න කළ යුතු ය.
අද රට වැටී ඇති තත්ත්වයට එක් ප්‍රධාන හේතුවක් නම් ආණ්ඩුව තමන්ගේ ආදායම් වර් ධනය කර නොගෙන වියදම් කිරීමයි. රටේ පැවැත්මට කිසිසේත් ප්‍රමාණවත් නොවන ලෙස බදු ආදායම් අඩු කර ගනිමින් අනෙක් අතට දරාගත නොහැකි ලෙස වියදම් වැඩි කර ගැනීම අර් බුදයේ ප්‍රධාන හේතුවකි.
අර් බුදයේ සියලු පැති සාකච්චා කිරීම මෙම ලිපියේ අරමුණ නොවුව ද එහි ප්‍රධාන කරුණු අවධාරණය කිරීම අවශ්‍ය වෙයි.
මෙම ර්අබුදයේ හේතු වශයෙන් හඳුනාගත හැක්කේ ප්‍රධාන හේතු දෙකකි. පළමුවැන්න ගෙවුම් ශේෂ හිගයයි. එනම් අපගේ ආනයන වියදම දරා ගැනීමට ප්‍රමාණවත් විදේශ විනිමය ආදායමක් නොමැති වීමයි. එම හිගය මකා ගැනීම අවශ්‍ය ය. ඒ සඳහා ආනයන වියදම් පාලනයත්, විදේශ විනියය ඉපයීම් වැඩි කර ගැනීමත් අවශ්‍ය වෙයි. එනම් අපනයන සංවර්ධනය, විදෙස්ෂ ප්‍රේෂණ වැඩිකර ගැනීම, සංචාරක ව්‍යාපාරය වර් ධනය සහ විදේශ ආයෝජන ලබා ගැනීමයි. එය ප්රශ්නයේ එක් පැත්තකි.
අපගේ අවධානය යොමු විය යුතු අනෙක් ප්‍රධාන ප්රශ්නය නම් රටේ අය වැය තුලනය කර ගැනීමයි. එනම් රජයේ වියදම් සහ ආදායම් තුලනය කර ගැනීම යි.
එහි එක් පැත්තක් වන්නේ රජයේ නාස්තිය, දුෂණය, අකාර්යක්ෂමතාවය අවම කරමින් වියදම් කළමනාකරණය කිරීමයි. 21 වැනි සංශෝධනය, ස්වාධින කොමිසන් සභා, සහ තවත් දේශපාලන ප්‍රතිසංස්කරණ රැසක් ඒ සඳහා අවශ්‍ය වෙයි.
රජයේ පාඩු ලබන සහ අකාර් යක්ෂම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සහ අවශ්‍ය අවස්ථාවල පෞද්ගලික කරණය ද ඒ සඳහා අවශ්‍ය වෙයි. ජනතාවගේ බදු මුදලින් මේ ආයතන නඩත්තු කිරීම දිගට ම කළ හැකි නොවේ.
ජනතාවගේ බදු මුදල් යෙදවිය යුතු වන්නේ රජය විසින් ජනතාවට ලබා දිය යුතු සේවාවන් කාර් යක්ෂම ලෙස නඩත්තු කිරීම සඳහා ය. එහි දී රජය වියදම් කළ යුතු ක්ෂේත්‍ර මෙන් ම සහනාධාර ලැබිය යුතු පිරිස් ද නිවැරදිව හඳුනා ගනිමින් මුදල් ප්රශස්ත ආකාරයෙන් වියදම් කිරීම අවශ්‍ය වෙයි.
ජනතාවගේ බදු මුදල් යෙදවිය යුතු වන්නේ රජය විසින් ජනතාවට ලබා දිය යුතු සේවාවන් කාර් යක්ෂම ලෙස නඩත්තු කිරීම සඳහා ය. එහි දී රජය වියදම් කළ යුතු ක්ෂේත්‍ර මෙන් ම සහනාධාර ලැබිය යුතු පිරිස් ද නිවැරදිව හඳුනා ගනිමින් මුදල් ප්රශස්ත ආකාරයෙන් වියදම් කිරීම අවශ්‍ය වෙයි.
මෙහි දී ශ්‍රී ලංකාවේ මෙතෙක් නඩත්තු කළ සහ ප්‍රශ්න නොකළ චින්තනයක් වන්නේ සහනාධාර මානසිකත්වය යි. මේ මොහොතේ සියලු දෙනා සහනාධාර ඉල්ලති. බොහෝ ඉල්ලීම් සාධාරණ විය හැකි ය. එසේ වුවත්, සහනාධාර සඳහා මුදල් ලබාගත හැක්කේ ද ජනතාවගෙන් ම බව අප තේරුම් ගත යුතුව ඇත. මෙතෙක් අප කර ඇත්තේ ආදායමට වඩා වියදම් කරන ගමන් එම වියදම් පියවා ගැනීමට ණය ලබා ගැනීමයි. මෙය ණය ප්රශ්නයේ සම්පුර්ණ කතාව නොවුණත් ප්‍රධාන ප්රශ්නය එය යි.
කෙසේ වෙතත්, අදටත් බොහෝ සහනාධාර ඉල්ලීම් කරන්නේ ඒවායේ ර්තකානුකුල අවශ්‍යතාවය සැලකිල්ලට ගැනීමකින් තොරව බව පෙන්නේන්නට තිබේ. එමෙන් ම එම මුදල් අවසානයේ යන්නේ තමන්ගේ සාක්කුවෙන් බව ද සැලකිල්ලට ගන්නේ නැත. නැතහොත් තේරෙන්නේ නැත. ඇතැම් විට එය තේරුණත් ජනප්‍රිය දේශපාලනය සඳහා කුහක ලෙස කටයුතු කරනවා ද විය හැකි ය.
කෙසේ වෙතත්, අදටත් බොහෝ සහනාධාර ඉල්ලීම් කරන්නේ ඒවායේ ර්තකානුකුල අවශ්‍යතාවය සැලකිල්ලට ගැනීමකින් තොරව බව පෙන්නේන්නට තිබේ. එමෙන් ම එම මුදල් අවසානයේ යන්නේ තමන්ගේ සාක්කුවෙන් බව ද සැලකිල්ලට ගන්නේ නැත. නැතහොත් තේරෙන්නේ නැත. ඇතැම් විට එය තේරුණත් ජනප්‍රිය දේශපාලනය සඳහා කුහක ලෙස කටයුතු කරනවා ද විය හැකි ය
මෙයට එක උදාහරණයක් ළමා මන්දපෝෂණයට පිලියමක් ලෙස පාසල් සිසුන්ට දිවා ආහාරය දීම සම්බන්ධ ප්රශ්නයේ දී ප්‍රකාශයට පත්විය. රජය කීවේ තෝරාගත් පාසල් සඳහා මෙම වැඩ පිළිවෙළ ක්‍රියාවට නගන බව යි. එවිට විපක්ෂ නායකයා කීවේ සියලු පාසල් සිසුන්ට දිවා ආහාරය දිය යුතු බව යි. එවිට කෙනෙකු ප්‍රශ්න කළ යුතු වන්නේ ජනතාවගේ බදු මුදලින් කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන්ට දිවා ආහාරය දීමේ අවශ්‍යතාවය කුමක්ද? යන්න යි. රාජකීය විද්‍යාලයේ සිසුන් හෝ මව්පියන් හෝ පවා එම ඉල්ලීම නොකරනු ඇත. එලෙස රජයෙන් දිවා ආහාර ලබාදීම අවශ්‍ය නැති පාසල් සිය ගණනක් හෝ දහස් ගණනක් තිබිය හැකිය. සහනාධාර ඉලක්ක ගත කළ යුතු වන්නේ ඒ නිසාය.
මෙහි අනෙක් නොගැලපීම නම් සහනාධාර ඉල්ලන උදවිය ම බදු වැඩි කිරීමට විරුද්ධ වීම යි. මෙය එකිනෙකට පරස්පර කතා දෙකක් එකට කීමකි.
බදු අඩු කිරීම ගැන කතා කළ සහ කතා කරන දේශපාලඥයෝ සහ ආර්ථික විද්‍යාඥයෝ සිටියහ. සිටිති. නමුත් එවැනි උදවිය කියන්නේ රජය කුඩා කළ යුතු බව යි. ව්‍යාපාරික කටයුතු පමණක් නොව අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය පවා පෞද්ගලික අංශයට පැවරිය යුතු බව ඔවුහු කියති. එසේ කළ රටවල් ඇත. එවිට බදු අඩු කිරීම ද කළ හැකිය. එය එක් තෝරා ගැනීමකි. එහි දී ප්රශ්නය මතුවන්නේ දිළිඳු ජනයාගේ සුරක්ෂිතතාවය සම්බන්ධයෙනි. සමාජ විෂමතා වැඩි වීම සම්බන්ධයෙනි.
බදු අඩු කිරීම ගැන කතා කළ සහ කතා කරන දේශපාලඥයෝ සහ ආර්ථික විද්‍යාඥයෝ සිටියහ. සිටිති. නමුත් එවැනි උදවිය කියන්නේ රජය කුඩා කළ යුතු බව යි. ව්‍යාපාරික කටයුතු පමණක් නොව අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය පවා පෞද්ගලික අංශයට පැවරිය යුතු බව ඔවුහු කියති. එසේ කළ රටවල් ඇත. එවිට බදු අඩු කිරීම ද කළ හැකිය. එය එක් තෝරා ගැනීමකි. එහි දී ප්රශ්නය මතුවන්නේ දිළිඳු ජනයාගේ සුරක්ෂිතතාවය සම්බන්ධයෙනි. සමාජ විෂමතා වැඩි වීම සම්බන්ධයෙනි.
ලෝකයේ අනෙක් පිළිගත් ක්‍රමය නම් ආර් ථිකය පෞද්ගලික අංශයෙන් ක්‍රියාත්මක කරන ගමන් රජයෙන් මහජනයාට ඉහළ සුබ සාධනයක් ලබා දීමයි. සමාජ ප්රජාතන්ත්රවාදී රටවල් ලෙස හඳුන්වන්නේ එබඳු රටවල් ය. නමුත් එම රටවල ලක්ෂණය නම් ජනතාවට සහනාධාර දීම සඳහා ඉහළ බදු අනුපාතයක් පවත්වා ගැනීම යි.
මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන ස්වීඩනයේ ඉහළ බදු අනුපාතය ආදායමෙන් සියයට 52 කි. නොර්වේහි සියයට 46.4 කි.. පින්ලන්තයේ 66.75 කි. ජර්මනියේ සියයට 47.4 කි. ප්‍රංශයේ සියයට 49 කි. ඩෙන්මාර්කයේ 39 .8 කි. බොහෝ යුරෝපා රටවල තත්ත්වය ද එයයි.
1978 දී මාග්‍රට් තැචර් බලයට පත්වීමට පෙර බ්‍රතාන්‍ය පැවතියේ සහනාධාර ක්‍රම රැසක් සහිත සුබසාධන රාජ්‍යයක් වශයෙනි. ඒ විශාල රාජ්‍ය අංශයක් ද සහිතව ය. බදු අනුපාතය පැවතියේ සියයට 83 ක මට්ටමේ ය. තැචර් ගේ ආර්ථික ප්‍රතිසංස්කරණවලින් පසුව බදු මට්ටම පහළ වැටුනේ සියයට 40 කටය.
1990 ඇමෙරිකාවේ රේගන්ගේ ප්‍රතිසංස්කරණවලට පෙර එරට බදු අනුපාතය සියයට 70 කි. ප්‍රතිසංස්කරණවලින් පසු එය පැවතුනේ සියයට 30 ක් වශයෙනි.
දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ස්වීඩනයේ රාජ්‍ය බදු ආදායම සියයට 26.9 කි. නොර්වේහි 21.1කි ,නෙදර්ලන්තයේ 24.3 කි. පින්ලන්තයේ 19.8 කි ප්‍රංශයේ 24.8 කි. ඩෙන්මාර්ක් හි සියයට 34 කි. විශාල සමාජ සුබ සාධනයක් කරන රටවල බදු අනුපාත පවතින්නේ ඒ ආකාරයෙනි.
දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ස්වීඩනයේ රාජ්‍ය බදු ආදායම සියයට 26.9 කි. නොර්වේහි 21.1කි ,නෙදර්ලන්තයේ 24.3 කි. පින්ලන්තයේ 19.8 කි ප්‍රංශයේ 24.8 කි. ඩෙන්මාර්ක් හි සියයට 34 කි. විශාල සමාජ සුබ සාධනයක් කරන රටවල බදු අනුපාත පවතින්නේ ඒ ආකාරයෙනි.
නොමිලේ අධ්‍යාපනය, සෞඛ්‍ය සේවාව ඇතුළු විශාල රාජ්‍ය අංශයක් නඩත්තු කරන ශ්‍රී ලංකාවේ මේ වන විට බදු ප්‍රතිශතය දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 8.2 කි. දැන් ඉලක්ක කර ඇත්තේ එය සියයට 15 ට ගෙනෙන්නට ය.
මෙයින් පෙන්නුම් කරනුයේ ශ්‍රී ලංකාව ආදායම් නොලබා වියදම් කරන ආකාරය යි. රජයෙන් සියලු දේ අපේක්ෂා කරන අපේ ජනයා ඒ සඳහා බදු ගෙවන්නට සුදානම් නැත. එවිට රජය කරන්නේ ණය ලබාගෙන වියදම් කිරීම යි. මෙය රට හිඟමනට දමා සහනාධාර ඉල්ලීමකි.
දැන් ප්රශ්නය තිබෙන්නේ මෙය දැන්වත් වෙනස් කරන්නට ජනතාව සුදානම් නොවීම යි. එයට උඩගෙඩි දෙන්නේ ඇතැම් දේශපාලඥයින් වීම ද බරපතළ අභාග්‍යයකි.
ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට පොරොන්දු වී ඇත්තේ අයවැය තුලනය කරගෙන සියයට 2.3 ක් අතිරික්තයක් පෙන්වන බවට ය. එය ද කරන්නේ අද හෙට නොවේ. 2025 දී ය. තවත් අවුරුදු තුනකිනි.
මෙය ගැන ආචාර් ය හර් ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කීවේ “ මේවා කරන්න පුළුවන් ද ? ආණ්ඩුව මේවාට එකඟ වුණේ ඇයි ? “ යනුවෙනි. ඒ මහතා මේ කියන්නේ අපගේ අයවැය පියවා ගන්න තවත් අවුරුදු තුනකිනුත් අපට බැරි වන බව නොවේ ද ? ඒ කියන්නේ තවත් අවුරුදු තුනකින් පසුවත් අපට සිටින්නට වන්නේ ලෝකයෙන් ණයට ගෙන කන ජාතියක් වශයෙන් බව ය. ඒ කියන්නේ අපි ඉන්න හදන්නේ හැමදාම හිඟා කන ජාතියක් වශයෙනි.
එසේ වුවත් අප හැමට සියලු සහනාධාර අවශ්‍ය ය. රජය හිඟා කා ඒ සියල්ල සැපයිය යුතුය. ඒවා නඩත්තුවට බදු ගෙවන්න නම් බැරිය. මේ කියන්නේ ඒකය.
ඉතින් අපි කවදාක ගොඩ යමු ද මේ වළෙන් !
සී ජේ අමරතුංග
විදුලි අර්බුදය සහ රජයේ කාර්යභාරය – කීර්ති ගොඩිගමුව

LNG සැපයුම සහ එහි යටිතල පහසුකම් NEW Fortress Energy නම් අමෙරිකානු සමාගමකට පැවරීමට රජය ගෙන ඇති තීරනයත් සමඟම මතුවී ඇති විදුලි සේවක විරෝධතා සමඟ විදුලි අර්බුදය පිලිබඳ කතාබහ නැවතත් කරලියට පැමිණ ඇත. නොඒසේ නම් මෙම අර්බුදය එන වසරේ පෙබරවාරි මාසය පමන වන විට සිදු වන ජල විදුලි නිෂ්පාදනයේ පහත වැටීම හා සමගාමිව වැඩි වන තාප විදුලි ජනනය සඳහා අවශ්‍යවන ඉන්ධන වෙනුවෙන් වැය කල යුතු ඩොලර් හිඟවීම හරහා කරලියට ඒමට නියමිතව තිබුනි.
දැන් පැමින ඇති ප්රශ්නය සහ ඉදිරියේ දී මුහුන දීමට ඇති තත්වය මින් පෙර අවස්ථාවන්ට වෙනස්වීමට බොහෝ දුරට ඉඩ ඇත්තේ අද වන විට මෙම ප්‍රශ්න තවදුරටත් කල්දැමිය හැකි තත්වයක නොමැති හෙයිනි. එනම් මෙතෙක් වලංගු වූ පැලැස්තර විසඳුම් වලින මෙම ප්‍රශ්නයෙන් ගැලවී පලායන තත්වයක ආණ්ඩුව නොපැවතීමයි. මින් පෙර අවස්ථාවලදී මෙම ප්‍රශ්න අවසන්වූයේ අමතර තාප විදුලිය ලබා ගැනීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදීම වැනි විසඳුම් වුවත් මේ අවස්ථාවේ එක් අතකින් ඉන්ධන මිලදී ගැනීම සඳහා අවශ්‍ය විනිමය හිඟයකින් පීඩා විඳින අතර අනිත් අතින් විදුලිය විකිණීමෙන් ලැබිය යුතු ආදායම වැඩිවීමක් නොමැතිකම හරහා විදුලි නිෂ්පාදකයන්ට ගෙවීම් කිරීමට අපහසු වීම හරහාත් තත්වය උග්‍ර අතට හැරී ඇත.
මෙහි පලමු කරුන එනම් LNG සැපයුම සම්බන්ධයෙන් සේවක වෘත්තීය සමිතිවල මතය වනුයේ ලංවිම විසින් මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින ටෙන්ඩර් හරහා ගබඩා සහ යටිතල පහසුකම් ලබාගත යුතු බවයි. මේ සඳහා වන ණය සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී ඇති බවද පැවසේ.
එහෙත් ආණ්ඩුව මේ වන විට අමෙරිකානු සමාගමක් සමඟ ගිවිසුමකට එලඹ ඇති බැවින් වෘත්තීය සමිති එයට එරෙහිව පෙලගැසී ඇත. මේ සම්බන්ධයෙන් සිදුවූ අතීත අත්දැකීම් හා ඒවායේ වර්තමාන තත්වය අධ්‍යනය කිරීමේ දී පෙනීයන්නේ ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කිරීම හරහා කල මිලදී ගැනීම් වලින්ද ප්‍රතිඵල අපේක්ෂිත මටිටමෙන් ලැබී නොමැති බවයි. බොහෝ අවස්ථාවල අපේක්ෂිත කාලය බොහෝ සෙයින් ඉක්මවා ගොස් අවසානයේ ප්‍රමිතියෙන් අඩු හෝ මිලෙන් වැඩි යන්ත්රාගාර භාර ගැනීමට හෝ අවාසි සහගත ගිවිසුම් වලට එළඹීමට සිදුවූ බවද නිරීක්ෂනය කල හැකිය.
මිලදී ගැනීමෙන් පසු මෙම යන්ත්රගාරවල ක්‍රියාකාරිත්වය හෝ ඒවායේ කළමනාකාරිත්වය ගැන පසුවිපරම් ක්‍රියාවලියක් අමත්‍යශ මටට්ටමෙන් හෝ එම ආයතන මට්ටමෙන් සිදු නොකරන බැවින්ද මෙම කටයුතු නියාමනය සඳහා පිහිටුවා ඇති නියාමන ආයතන අකර්මන්‍ය කර ඇති බැවින්ද පවතින ටෙන්ඩර් ක්රමයේ අඩුපාඩු මතුවීමට ඇති ඉඩකඩ බොහෝ අඩු බැවින් මේ පිලිබඳ හරි තක්සේරුවක් නිලධාරීන්ට හෝ වෘත්තීය සමිති වලට නැති බව හෝ ඒ බව පිටතට දැන්වීමට ඔවුන් මැලිකමක් දක්වන බව පිලිගන්නට සිදුවේ. තවද සමස්තය දෙස ආපසු හැරී බැලීමේ දී පවතින තත්වය සතුටුදායක නොවන බැවින් මෙම ක්‍රමය පවත්වාගෙන යා යුතුය යන්න සධාරනීකරනය කිරීම සඳහා ප්‍රමානවත් ප්‍රතිඵල තිබෙන බවට සාධක නොමැත. මෙහි දෙවැනි කරුන වන්නේ වියදම වැඩිවීම සහ ආදායම අඩුවීම මඟින් සිදුවන සමස්ථ පාඩුව භාන්ඩාගාරය හරහා මහජනතාවට දැරීමට සිදුවුවත් මෙම මහා පරිමාන ගනදෙනු හරහා දේශපාලකයින්ට සහ සේවකයින්ට ලැබෙන කොටස ඉතා විශාල නිසා ආන්ඩු ඒ පිලිබඳ යථාර්තය ජනතාවගෙන් සඟවා මෙම ක්‍රමය පවත්වාගෙන යන බව පැහැදිලිය.
ආදායම් සහ වියදම් ගැන සලකා බැලීමේ දී නිෂ්පාදනය, සම්ප්‍රේෂනය සහ බෙදාහැරීම යන ප්‍රධාන අංශ තුන ගැනම ගැන සලකා බැලිය යුතුය. නිෂ්පාදනය වශයෙන් හඳුන්වනු ලබන්නේ බලශක්තිය ජනනය කිරීමයි. මෙහිදී ජල විදුලිය සඳහා මේ වන විටත් මහා පරිමාන යන්ත්රාගාර සාදා නිමකොට ප්‍රාග්ධන ආයෝජනද පියවාගෙන ඇති බැවින් ඒවායින් නිපදවනු ලබන විදුලිය සඳහා ඉතා අඩු මුදලක් වැය වන බැවින් එහි නිෂ්පාදන වියදම යනු ඒවා ක්‍රියාත්මක කිරීමට සහ නඩත්තු කටයුකු සඳහා වැය වන මුඳල පමනි. (ජල විදුලියේ නියම වටිනාකම ගණනය නොකිරීමද වෙනමම හැදෑරිය යතු ප්රශ්නයකි) එහෙත් දැනට ගිවිසුම්ගත තාප විදුලිය සඳහා ප්‍රාග්ධන, මෙහෙයුම් සහ ඉන්ධන වියදම් දිගටම දැරීමට සිදුවේ. මේ අනුව තාප බලාගාරවල විදුලිය නිෂ්පාදනය නොකරන අවස්ථා වලදී ඉන්ධන වියදම ඉතිරි වූවත් ප්‍රාග්ධන වියදම දිගටම ගෙවීමට සිදුවීම හරහා විදුලි ඒකකයක සාමාන්‍ය මිල එහි නියම මිලට වැඩි අගයක් ගනී.ඒ අනුව යම් යන්ත්රාගාරයක් අඩුවෙන් භාවිත කරන්නේ නම් එයින් ලැබෙන විදුලි ඒකකයක සාමාන්‍ය මිල එහි නියමිත මිලට වැඩි වේ. මෙම ගෙවීම් ක්‍රමය පිලිගත් එකක් වුවද දැනට ගිවිසුම්ගත සියලු තාප බලාගාර ටෙන්ඩර් ක්‍රමය යටතේ තෝරාගත්ත ද ඒවායේ මිලගනන් කලාපයේ අනිකුත් රටවල මිලගනන් හා සන්සන්දනය කිරීමේ දී වැඩි බව අනාවරනය වී ඇත. එබැවින් පසුගිය දශක කීපයක් දෙස බැලීමේ දී මෙයට හේතු වශයෙන් දැක්විය හැක්කේ මෙවැනි මහා පරිමාන ටෙන්ඩර් කටයුතු අගැයීම් කිරීමේ දී, පිරිනැමීමමේ දී හා යන්ත්රාගාර ක්‍රියාත්මක කිරීමේ දී පවතින පාරාන්ධ තත්වය හේතුවෙන් එල්ලවන දේශපාලනික සහ අනෙකුත් බලපෑම් වලට ආයතනික යාන්ත්‍රනය සහ නිලධාරීන් නතුවීමයි.
එබැවින් ආයතනික නිලධාරීන් පවසන පරිදි LNG ටෙන්ඩරය කරගෙන යෑමට ඉඩදීම අත්‍යවශ්‍ය බව සධාරණීකරනය කල නෙහැකිය. වියදම් ඉහල යාමට හේතු වන අනෙක් කරුන නම් විශාල සේවක සංඛ්‍යාවක් නඩත්තු කිරීමයි. රජයෙ ආයතන රැකියා සැපයීමේ ප්‍රභව ලෙස නඩත්තු කරගෙන යෑමේ ප්‍රතිපත්තිය නිසා මෙම තත්වය උදාවී ඇති බව සඳහන් කල යුතුය.
ආදායම අඩුවීමට ප්‍රධාන හේතුව වන්නේ දේශපාලන අවශ්‍යතා මත මිල පාලනය ආණ්ඩුව සියතට ගෙන ක්‍රියා කිරීමයි. මේ අතර විදුලි ඒකකයක මිල හා කළවම් කර පවත්වාගෙන යන මූල්‍ය සහනාධාරය මෙම ආදායම් අඩුවීමට සෘජුවම හේතු වන බව පෙන්වා දිය හැකිය. මේ මඟින් සිදුවන අනිකුත් අතුරුඵලය වන්නේ අඩු ආදායම නිසා අත්විඳින පාඩුව තුල ආයතනයේ අකාර්යක්ෂමතාව හා දූෂන වලින් වන පාඩුවද සඟවා තැබීමට හැකි වීමයි.
එබැවින් සහනාධාරය විදුලි මිල තුලින් ඉවත්කර එය සෘජු ලෙස අදාල සමාජ කණ්ඩායම් හෝ පුද්ගලයින්ට ලබාදීමත් විදුලිය එහි නිෂ්පාදන වියදම මත පදනම් වූ මිලකට අලෙවි කිරීමට ඉඩදීමත් තුලින් මෙම ආයතනය කාර්යක්ෂමව සහ පාරදෘෂ්‍යභාවයෙන් පවත්වාගෙන යාහැකිය.
විදුලි සේවකයන්ගේ විරෝධය එල්ලවන තවත් කරුණක් වන්නේ විදුලිබල මණ්ඩලය බෙදා වෙන්කිරීමට ඇති සැලසුම සම්බන්ධවයි. මෙම වැඩපිලිවෙලට අනුව විදුලි ජනනය සඳහා තාප, ජලවිදුලි සහ පුනර්ජනනීය වශයෙන් කොටස් තුනකුත් සම්ප්‍රේක්ෂණය සඳහා තවත් කොටසකුත් බෙදාහැරීම සඳහා තවත් කොටස් හතරකුත් වශයෙන් කොටස් අටකට බෙදා වෙන්කිරීමට සැලසුම් කොට ඒවා වෙන් වෙන් ආයතන වශයෙන් ස්ථාපිත කර පවත්වාගෙන යෑමයි. මේ හරහා දැනට ආයතනය සතුව පවතින ඒකාධිකාරී බලය බෙදීයන අතර ඒ හරහා වෘත්තීය සමිතිවල කේවල් කිරීමේ බලය සහ හැකියාව අඩුවීමෙන් තර්ජනයකට ඔවුන් මුහුන පා ඇත.
මෙම ප්‍රතිව්‍යහගත කිරීමෙ වැඩපිළිවෙල වර්ෂ 1999 දී පමණ සැලසුම් ආරම්භ කල ඒකක් වන අතර 2001 දී මහජන උපයෝගීතා කොමිෂන් සභාව නම් වූ නියාමන ආයතනය ස්ථාපිත කිරීම හරහා එලිදැක්වුනි. ඉන්පසු 2004 පාර්ලිමේන්තු මැතිවරනය තෙක් මෙම වැඩපිලිවෙල ඉදිරියට ගිය අතර ඒ යටතේ විදුලිබල මණ්ඩලය බෙදා වෙන්කිරීමට අවශ්‍යවූ යටිතල පහසුකම් සම්පාදනය සිදු කෙරුනි. ඒ යටතේ බෙදාහැරීමේ ආයතනවලට වෙන්කෙරුනු භූම් සීමා නිර්නය කිරීම, ඒවා අතර බලශක්ති හුවමාරුව සඳහා අවශ්‍ය මනු පද්ධති ස්ථාපිත කිරීම, අවශ්‍ය ගෙඩනැගිලි, මානව සම්පත් සහ තාක්ෂනය ලබාදීම, ජනන සහ බෙදාහැරීම් අංශ අතර තොග බලශක්ති හුවමාරුව සඳහා විදුලි වෙළඳපොලක් ඇති කිරීමට අවශ්‍ය නීති පද්ධතියක් ස්ථාපිත කිරීමටත් ඒ සඳහා අවශ්‍ය මෘදුකාංග ලබාගැනීමට සහ එවා ක්‍රියාත්මක කිරීම සහ වෘත්තීය සමිති සමඟ සාමූහික ගිවිසුම්වලට එලඹීම ආදී මූලික වැඩකටයුතු නිම කෙරිනි. එහෙත් එම මැතිවරනයෙන් පසු මෙම කටයුතු අතහැර දැමුනු අතර දැන් ආරම්භ කර ඇති උත්සාහය තෙක් කිසිවෙකුත් ඒගැන උනන්දුවක් පෙන්වා නැත.
මෙහි පෙර සඳහන් කල පරිදි භාණ්ඩාගාරය විසින් පාඩුව දරාගැනීමේ ප්‍රතිපත්තිය මත පිහිටා මෙතෙක් මෙම ප්‍රතිව්‍යහගත කිරීමෙ වැඩපිළිවෙල කල් දැමීමට හෝ නවතා දැමීමට කටයුතු කලද අද වන විට භාන්ඩාගාරයට එය තවදුරටත් දරා ගැනීමට නොහැකි තත්වයකට පත්වීම හමුවේ නැවතත් මෙම ප්‍රතිව්‍යහගත කිරීමේ ක්‍රියාවලිය පටන් ගැනීම අනිවාර්ය දෙයක් බවට පත්ව ඇත.
මෙම ප්‍රතිව්‍යහගත කිරීමේ ක්‍රියාවලිය පමාවී හෝ පටන් ගැනීමට කටයුතු කිරීම පැසසිය යුතු කරුණක් වන අතර මේ තුලින් අකාර්යක්ෂමතාව සහ දූෂණය නිසා භාන්ඩාගාරයට දැරීමට සිදු වන විශාල බරකින් නිදහස් වීමටත් අලුතින් පිහිටුවන ආයතන කාර්යක්ෂමව පවත්වාගෙන යෑමට සමත් වුවහොත් එවායේ ප්රතිලාභ පාරිභෝගික ජනතාවට ලබාදීමටත් හැකිවනු ඇත.
මෙහිදී වෙනස් වියයුතු තවත් කරුණක් සඳහන් කල යුතුය. එනම් බොහෝ කාලයක සිට පැවත එන අදහසක් වන රජය මඟින් ජනක යන්ත්රාගාර පිහිටුවා පවත්වාගෙන යෑම අඩුම පිරිවැය ක්‍රමය බවයි. 1990 ට පමන පෙර මෙය සත්‍යයක් වුවද ඉන් පසුව ඇතිවූ තාක්ෂනික දියුනුවත් සමඟ මෙම මතය අභියෝගයට ලක්වුනු අතර බෙහෝ රටවල් එම ක්‍රමවේදය අතහැර නිපදවූ විදුලිය තරඟකාරී ක්‍රමවේදයක් හරහා එවෙලේ පවතින ඉල්ලුමට තොග හුවමාරු වෙළඳ පොලක් හරහා මිලට ගෙන විකිණීමේ ක්‍රමවේදයකට අවතීර්න වෙමින් පවතී. සරල ලෙස සහ කෙටියෙන් මෙම ක්‍රමවේදය විස්තර කලහොත්, මෙම තොග හුවමාරු වෙළඳපොල තුළ මිල උචචාවචනය වන අතර දවසේ ඉල්ලුම වැඩි වෙලාවල මිල ඉහලටත් ඉල්ලුම අඩු වෙලාවල මිල පහලටත් ගමන් කරයි. බෙදාහරින්නන් තොග වෙලඳපොලෙන් මිලට ගෙන පාරිභෝගික ජනතාව වෙත නියාමන අධිකාරියෙන් අනුමත මිලක් යටතේ සැපයීම සිදු කරනු ලැබේ. මේ ක්‍රමය හරහා රජය මැදිහත්වී ලබාගන්නා ණය ආධාරයෙන් ටෙන්ඩර් මඟින් යන්ත්රාගාර පිහිටුවා විදුලිය නිපදවීමෙදී හා ටෙන්ඩර් ක්‍රමය යටතේ දීර්ග කාලීන ගිවිසුම් මගින් විදුලිය ලබාගැනීමෙදී සිදුවන අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය නිසා සිදුවන පාඩු භාණ්ඩාගාරය මඟන් දැරීම හරහා සිදුවන නාස්තිය අහෝසි කල හැකිය.
කීර්ති ගොඩිගමුව
අයිතිය
චීන ණය පමණක් ‘ණය උගුල්’ වශයෙන් හඳුන්වන්ණේ ඇයි? – කීර්ති ගොඩිගමුව

සාමාන්යායෙන් ලෝකයේ පවතින ණය ලබා දීමේ සහ ගැනීමේ ක්‍රමවේදය වන්නේ දෙපාර්ශවය එකඟ වන පොලී අනුපාතයක් මත සහ නිෂ්චිත කාල වකවානුවක් තුළ ආපසු ගෙවීමේ එකඟත්වය මත එම මුදල ලබා දීමයි.
එසේ ලබාදෙන මුදල් සඳහා ආරක්ෂාවක් අවශ්‍ය නිසා වටිනා යමක් ඇපයට තබා ගැනීම සරල ම සහ පැරණි ම ක්‍රමයයි.
බැංකු ක්රමයේ දියුණුව මත මෙම මූලික සංකල්ප පදනම් කරගෙන නමුත් විද්‍යාත්මක ක්‍රම මත පදනම් වූ අගැයීම් ක්‍රමවේද භාවිත කරමින් ණය ක්‍රියාවලිය වර්තමානයේ ඉතා දියුණු මටීටමකට වර්ධනය වී ඇත.
මෙහි දී එම ණය මුදල් වල ආරක්ෂාව සහතික කිරීම සඳහා ද්‍රව්‍යමය වත්කම් ඇපයට තබාගැනීම වෙනුවට ඒ සඳහා ස්ථිර තැන්පතු, රක්ෂණ සහතික, හෝ සමාගම් කොටස් හෝ ආදිය භාවිත කිරීම සිදු කෙරේ.
ණය ආපසු ගෙවීමේ හැකියාව සෙයා බැලීම ද, ඒ සමගම සලකා බලනු ලබන කාරණයකි. එහි දී පුද්ගලික වුව ද, සමාගමක් වුව ද, සැලකිල්ලට ගනු ලබන්නේ එම ණය මුදල යොදවන ව්‍යාපෘතියේ ප්රතිලාභ සහ එම ණය ආපසු අයකර ගැනීමේ ශක්‍යතාවය යි.
ජාත්‍යන්තර මට්ටමේ ණය ගනුදෙනු වල දී ද, මුලික වශයෙන් සැලකිල්ලට ගනු ලබන්නේ මෙම මූලික සංකල්ප වන අතර එයින් බැහැර වීමක් දක්නට නොලැබෙයි.
ජාත්‍යන්තර බැංකුකරණයේ දී රාජ්‍යයන්ගේ විවිධ අවශ්‍යතා වලට මෙන් ම විශාල ව්‍යාපෘති සඳහා ද රජයන්ට පමණක් නොව පුද්ගලික අංශයට ද ණය දීම සිදුකරනු ලබයි.
මෙහි දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ලෝක බැංකුව වැනි ආයතන රාජ්‍යයන්ගේ මූල්‍ය ස්ථාවරත්වය නඩත්තු කිරීම ආදී ප්‍රමුඛතා සඳහා සීමා වෙන අතර ආසියානු සංවර්ධන බැංකුව (ADB), ජපාන ආර්ථික සහයෝගීතා ඒජන්සිය(JICA), ජර්මානු සංවර්ධන බැංකුව (KfW) වැනි බැංකු විශාල ව්‍යාපෘති සඳහා මුල්‍ය දායකත්වය සපයයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ලෝක බැංකුව වැනි ආයතන රාජ්‍යයන්ට ණය දීම සඳහා යම් නිර්නායකයන් කීපයක් සලකා බලනු ලබයි.
මෙහිදී විශේෂයෙන් සලකා බලන්නේ ණය ආපසු ගෙවීමට ඇති හැකියාවයි (මෙයට එම රටවල ණය ගෙවීමේ ඉතිහාසයද අයත් ය)
ඒ සඳහා ඔවුන් ජාත්‍යන්තර නිරීක්ෂණ ආයතන වල ශ්‍රේණිගත කිරීම් මෙන් ම අදාළ රටවල සම්පත් භාවිතයේ, නිෂ්පාදන ක්‍රියාවලියේ , බදු අයකර ගැනීමේ සහ මුල්‍ය කළමනාකරණයේ කාර්යක්ෂමතාව ද සලකා බලනු ලැබේ.
ඔවුන්ගේ එම නිර්නායක වලින් පිට පැන කටයුතු කළහොත් අදාළ රටවලට සපයන ණය කපා හැරීම හෝ නිර්නායක වලට අනුකූල වනතුරු ප්‍රමාද කිරීම සිදු කරනු ලබයි.
ඉහත කී අනිකුත් බැංකු විශාල ව්‍යාපෘති සඳහා මුල්‍ය පහසුකම් සපයන අතර ඔවුහු ද ඒ සඳහා මූලික ණය දීමේ සංකල්ප මත පිහීටා කටයුතු කරති. සුරැකුම් වශයෙන් රාජ්‍ය සහතිකය (Sovereign Guarantee) හා වියදම් හා ප්රතිලාභ ( මුල්‍ය ප්රතිලාභ පමණක් නොව අනෙකුත් ප්රතිලාභ සහ බාහිරතා ද ඇතුළුව – Cost Benifit Analysis including Externalities ) ආදිය ගණනය කර එම ශක්‍යතා අනුව පමණක් ණය අනුමත කරනු ලබයි.
එනම්, එම බැංකු බොහෝ සෙයින් ගැඹුරට කරන තත්ත්ව පරීක්ෂාවකින් පසුව පමණක් ණය අනුමත කරන ආයතන ලෙස සැලකිය හැකිය.
මෙම ආයතන වල විශේෂත්වය වන්නේ එහි දී ක්‍රියාත්මක කරන ක්‍රමවේදය යි. මෙම ආයතන ධනවාදී ආර්ථික න්‍යාය මත පිහිටා ස්වාධීනව කටයුතු කිරීම ඒවායේ විශේෂත්වය යි. ඒ අනුව එම ආයතන වලින් ණය ලබාගත හැක්කේ ධනවාදී විධික්රම අනුව ක්‍රියා කිරීමට කැමති සහ එය අනුමත කරන රටවල් වලට පමණකි. මෙම ණය දීමේ දී බොහෝ සොයා බැලීම් කළ ද ඒවා සංවර්ධන ණය වශයෙන් ලබා දෙන නිසා දිගු සහන කාලයක්(අවු 10-12), අඩු පොලී අනුපාතයක් සහ දීර්ඝ ආපසු ගෙවීම් කාලයක් (අවු 40 පමණ) ඒවාට හිමිවෙයි. මෙම ණය යටතේ උපදේශනය, භාන්ඩ සැපයීම්, ශ්‍රමය සහ විවිධ සේවා දේශීය වශයෙන් සැපයීමට අවකාශ ඇති හෙයින් මෙම ව්‍යාපෘති සමගින් විදේශ විනිමය සමඟින් තාක්ෂණය ගලා ඒම ද සිදු වෙයි.
එහෙත් චීන බැංකුවල ක්‍රියාකාරීත්වය මීට වඩා වෙනස් ය. චීන බැංකු එරට දේශපාලන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන බැවිනුත් විශාල චීන ව්‍යාපාර රජයට සම්බන්ධ බැවිනුත් චීන ණය පැකේජ වශයෙන් සැපයීම් සහ ඉංජිනෙරුමය කාර්යයන් ද අඩංගු කර ඇති බැවින් ඒවා පැමිනෙන්නේ ඊපීසී (Engineering Procurement and Construction) නැමැති ක්‍රමවේදය සමගින්ය.
එබැවින් යම් රටක අවශ්‍යතාවය ඔවුනට දැන්වූ පසු ඔවුන් ඒ සඳහා සම්පූර්ණ විසඳුමක් ඉදිරිපත් කරනු ඇත. එහි දී වෙනස පවතින්නේ ණය ලබාගන්නා රටේ කිසිවෙකුගේ (දේශපාලකයන් හැර) සම්බන්ධයක් නොමැතිව ඔවුනට එම ව්‍යාපෘති අවසන් කොට භාර දීමට හැකි වීමයි. මෙම ව්‍යාපෘති සඳහා ඔවුන්ට යන්ත්‍ර සුත්‍ර වල පටන් ශ්‍රමය දක්වා සියලු දේ චීනයෙන් ගෙන ඒමට හැකියාවක් ඇත. මෙම ක්‍රමය යටතේ ව්‍යාපෘති සිදුකිරීමට කිසිදු කොන්දේසියක් අවශ්‍ය නොවන බැවින් ද මේ සම්බන්ධව රටවැසියන්ගේ සම්බන්ධයක් නොවන බැවින් ද රජයන් දෙකක් අතර සිදුවන ගනුදෙනුවක් ලෙස එය සිදු කළ හැකි ය.
එසේ නම් ණය උගුල් ඇතිවන්නේ කෙසේ ද ?
ශක්‍යතා වාර්තා අවශ්‍ය නොවන ව්‍යාපෘති ණය ලබාගත හැක්කේ චීනයෙන් පමණකි. ශක්‍යතා වාර්තා නොමැති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් සිදුවන්නේ එම ව්‍යාපෘතිවල ප්රතිලාභ ගැන සහතිකයක් නොමැති වීම යි.
චීන ණය පොලිය අධික වානිජ ණය බැවින් ඒවායේ සහන කාලය කෙටිය(අවු 3-4 පමණ). එම කාලය තුළ දී ණයට ගත් මුදල සඳහා පොලියත් ඉන්පසු පොලිය සමඟ වාරිකයත් සාමාන්‍යයෙන් අවු 10-15 අතර කාලයක දී ගෙවා නිම කළ යුතු ය. ව්‍යාපෘතිවල ප්රතිලාභ අඩු නම් හෝ නොමැති නම් හෝ ණය පොලිය සහ වාරික ගෙවීමට සිදු වන්නේ රටේ අනෙකුත් ආදායම් සහ අරමුදල් වලින් ය.
මෙවැනි ක්‍රමවේදයක් තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘති ගැන කිව හැක්කේ ඒවායේ ශක්‍යතාවය අඩු බවත්, ඒවා ක්‍රියාත්මක වන්නේ දේශපාලන අධිකාරියේ අවශ්‍යතා අනුව මිස ජනතා අවශ්‍යතා අනුව නොවන බවත් ය.මේවායේ ගනුදෙනු විනිවිද භාවයෙන් තොර බැවින් ජනතාවට දැනගන්නට ලැබෙන්නේ රට ණයට ගත් මුදල ගැන පමණකි. ලබාගත් ණයෙන් සත්‍ය වශයෙන් ව්‍යාපෘතියට වැය වු මුදල පිලිබඳ තොරතුරු ජනතාවට දැනගන්නට ලැබෙන්නේ නැත. එලෙස ක්‍රියාත්මක වන ව්‍යාපෘති වල වියදම, එනම්, ණයට ගත් මුදලේ පොලී සහ වාරික ගෙවීමට ප්‍රමාණවත් ආදායමක් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් නොලැබෙන බැවින් ඒවා ගෙවා දැමීමට සිදු වන්නේ රටේ ඇති අනෙකුත් ආදායම් වලිනි. එසේ අනෙකුත් ආදායම් මාර්ග දුර්වල රටවල ගෙවන්නට මුදල් නොමැති වූ විට ඒ වෙනුවට එම ව්‍යාපෘතිය ඔවුන්ට ම විකිණීමට හෝ එසේ අකමැති නම් වෙනත් වත්කමත් හිලවුවට දීමට හෝ සිදු වෙයි.
කෑදර පාලකයන් සිටිනා රටවල් තෝරාගෙන සුදු අලි ව්‍යාපෘති සඳහා මෙම ණය දීම සිදුකරන බැවින්, එම පාලකයින් අතහැර, චීනය දෙසට පමණක් ඇඟිල්ල දිගු කිරීම සාධරණ නැති වුවත්, මෙම ක්‍රියාදාමය හැඳින්වීමට ලෝක ජනතාව භාවිත කරන්නේ “ චීන ණය උගුල්” යන යෙදුම යි.
කීර්ති ගොඩිගමුව
ශ්‍රී ලංකාවට සිංගප්පුරුවක් වෙන්න බැරි ඇයි ? – ‘බෙල්වෙදර්’ විග්‍රහයක් – ( පළමුවන කොටස )

1970 ගණන්වල සංවෘත ආර්ථිකය අවසන් කොට වෙළෙඳාම නිදහස් කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවේ අභිලාශය වුයේ සිංගප්පුරුවේ තත්ත්වයට පත්වීම යි. කෙසේ වෙතත් , මුදලේ අගය බිඳවැටීමත්, එමගින් ඇති වූ කැළඹිලි සහ වැඩ වර්ජනත් , ජාතිවාදී දුම් වළලු තුළින් සිවිල් යුද්ධයක් වර්ධනය වීමත්, පසුව නැවතත් වෙළෙඳපොළ පාලනය ආරම්භවීමත් නිසා එය අසාර්ථක වීය.
නිදහසින් පසු ආර්ථික ක්‍රියාකාරීත්වය ,විනාශකාරී ආනයන සහ විනිමය පාලනයට ගැට ගැසී පැවති අතර අයවැය හිගය පාලනය කිරීමට මහ බැංකුව කළේ භාණ්ඩාගාර බිල්පත් මගින් මුදල් ලබාගැනීම යි.
ඉතිහාසයේ නරක ම , මුදල් නෝට්ටු මුද්‍රණය මධ්‍යයේ “ විදේශ විනිමය ආරක්ෂාකිරීම “ සඳහා සියලු උත්සාහයන් යෙද වූ , 2021 අයවැය ලේඛනය මගින් ශ්‍රී ලංකාව යලිත් 1970 ගණන්වලට රැගෙන ගිය අතර ණය ශ්‍රේණිගත කිරීම්වල දී හිමිව ඇත්තේ බංකොලොත් භාවයට යන්තම් ඉහළින් ඇති CCC මට්ටම යි. ශ්‍රී ලංකාවට අත්ව ඇති ඉරණම නම් බැඳුම්කර වෙළෙඳපොළට යා නොහැකි තත්ත්වයකි.
විදේශ විනිමය ආරක්ෂාකිරීම සඳහා ආයාත ආදේශනයේ සහ දේශීය කර්මාන්ත වර්ධනයේත් යෙදුනු මහ බැංකු ලතින් ඇමෙරිකානු රටවල් බොහොමයක තිබුණු අතර ඒවා ද අවසන් වුයේ ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙනි.
ඉහළ තීරුබදු සහ ආයාත ආදේශන මගින් පොදු ජනයා සුරාකෑමෙන්, පහසුවෙන් ලාභ ලැබීමේ කෑදරකම මල්පල ගන්නේ විනිමය පාලනය කරමින්, විදේශ විනිමය හිගයක් ඇති කරන මහ බැංකු යටතේ ය.
වෙළෙඳ සහ ජංගම හිග ඇති කරන්නේ විදේශවලින් ණයට ගනිමින් ආදායම ඉක්මවා වියදම් කිරීමෙන් ය යන්න ගැන ද ඇත්තේ බරපතළ අනවබෝධයක් වන අතර එහි ශුද්ධ ඉතිරිය හිමිවන්නේ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්නා පෞද්ගලික ආයෝජකයින්ට ය.
මෙයට දොස් පැවරිය යුත්තේ දේශපාලනඥයන්ට පමණක් නොවන අතර විදේශ විශ්ව විද්‍යාලවලින් ආචාර්ය උපාධි ලබාගත්, මේ රටේ ආර්ථික විද්‍යාඥයන් ලෙස හඳුන්වනු ලබන වාණිජවාදීන් ද මෙයට වගකිව යුතු ය.
ආයාත ආදේශන කෑදරකම
වර්තමාන ආණ්ඩුව බලයට පැමිණියේ වාසි සොයන ආරක්ෂණවාදී බලපෑම් කණ්ඩායම් සහ ඇතැම් “වෘතියවෙදී “ සංවිධාන මගින් මෙහෙයවන ලද සිංගප්පුරු නිදහස් වෙළෙඳ ගිවිසුම විවේචනය කිරීමේ ක්‍රියාවලිය තුලිනි.
“නිදහස් වෙළෙඳ ගිවිසුම් කෙටුම්පත් කළ යුතු වන්නේ කර්මාන්ත සංවර්ධනයට පහසුකම් සපයමින් රට තුළ නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ නිෂ්පාදනය කිරීම මගින් ආනයන සීමා කොට වෙළඳ හිගය පියවාගැනීමේ උපායමාර්ගයක් සමග” බව අගමැති සහ මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය.
“ එබැවින්, අපගේ කාර්මික නිෂ්පාදනයේ අපනයන ආදායම ඉහළ නංවා ගන්නා අතර ආයාත ආදේශනය මගින් විදේශ විනිමය ඉතිරි කර ගනිමින් දිගුකාලීන ප්රතිලාභ ලබාගත හැකි සමතුලිත වෙළෙඳ ප්‍රතිපත්තියක් සැකසීමට මම යෝජනා කරමි “
2020 අයවැය ලේඛනය පුරා මෙම අදහස දකින්නට ලැබිණි.
“ පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය තුළින් විදුලිබල උත්පාදනය සඳහා ඉන්ධන ආනයනයට වියදම් කරන විදේශ විනිමය ඉතිරි කරගත් විට ,එය ප්‍රධාන ආයාත ආදේශන කර්මාන්තයක් බවට පත්වෙයි.” එහි සඳහන් ය.
පහසුවෙන් මුදල් හම්බ කිරීමට පහසු ම මාර්ගය වන්නේ ජනතාවට නැතිව ම බැරි , ආහාර , ඇඳුම් , සහ නිවාස වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ නිපදවා, ආරක්ෂිත තීරුබදු යටතේ ඒවා අතිවිශාල මිල ගණන්වලට ජනතාවට අලෙවි කිරීම යි.
ප්‍රතිපත්තිය වන්නේ “ දේශීය වශයෙන් නිපදවීමට නොහැකි භාණ්ඩ හැරුණු විට අනෙක් කෘෂිකාර්මික භාණ්ඩ ආනයනය නතර කිරීම “ යි.
බදු මෙන් ම , බලපත්‍ර ක්‍රමය මගින් ආනයනය සීමා කොට කුකුළු ගොවීන්ට සහ කෑම නිෂ්පාදකයන්ට වැඩිමිලට ධාන්‍ය විකුණා බිලියන ගණන් හම්බ කරන බඩ ඉරිගු වෙළෙඳාම තවත් වංචාකාරී ජාවාරමකි.
ලාභ ලබාදීම සඳහා පාසල් ළමයින්ගේ සපත්තුවලට ද විශාල ලෙස බදු පනවා තිබේ.
දිළිඳු පවුල්වල ළමයි සපත්තු ගැනීමට සටන් කරද්දී , ශ්‍රී ලංකාවේ “ ළදරු කර්මාන්ත “ හිමියන්ගේ පරම්පරා දෙකක දරුවන් විදේශ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය සඳහා යවනු ලැබුහ.
මෙය , 1967 එක් දිනක දී නිදහස් වෙළෙදාම ස්ථාපිත කළ සිංගප්පුරුවට හෝ , ස්වයං පෝෂණ ප්‍රතිපත්තිය අසාර්ථක බව කොමියුනිස්ට් පක්ෂය තීරණය කරන විට , නිදහස් වෙළෙඳාමට එරෙහි වීමට පෞද්ගලික ව්‍යවසාය නොතිබූ වියට්නාමයට හෝ සම්පුර්ණයෙන් ම ප්‍රතිවිරුද්ධ තත්ත්වයකි.
ප්‍රධානී ෆෙස්ටස්
1966 දී පොදු රාජ්‍ය මණ්ඩල රැස්වීමක දී එවකට නයිජීරියානු මුදල් ඇමතිව සිටි ප්‍රධානී ෆෙස්ටස් ඔකොටී එබෝ හමු වූ අවස්ථාව සිංගප්පුරු අගමැති ලී ක්වාන් යූ වරෙක නැවත මතක් කළේ ය.
1993 දී ලාගොස් නුවර පැවති අප්‍රිකානු නායක සමුළුවක දී ඔහු කිවේ “ ප්‍රධානී ෆෙස්ටස් මට කවදාවත් අමතක වන්නේ නැහැ “ යනුවෙනි.
“සමුළුව පැවතී සහ අප සියලු දෙනා නැවතී සිටි හෝටලයේ සම්ප්‍රදායික රාත්‍රී භෝජන සංග්‍රහයේ දී අප දෙදෙනා එකිනෙකාට මුහුණ ලා වාදී වී සිටියෙමු “
“ ඉක්මනින් දේශපාලනයෙන් ඉවත්වීමට අවශ්‍ය බව ඔහු කීවේ ඔහුගේ ම ව්‍යාපාරික කටයුතුවල යෙදීම සඳහා යි. එනම් සපත්තු නිෂ්පාදන කම්හලකි. සපත්තු කම්හල පවත්වාගෙන යාමේ හැකියාව ආරක්ෂා කිරීම සඳහා බදු වැඩි කළ බව ද ඔහු කීවේ ය.”
දින දෙකකට පසු මා අක්රා වල සිටිය දී වාර්තා වුණේ ලාගොස් වල කැරැල්ලක් හටගෙන ඇති බව යි. නයිජීරියානු අගමැති අබුදුල්ලා ටෆාවස් බලේවා ඝාතනය කොට තිබිණි. ඒ සමග ම මුදල් ඇමති ප්‍රධානී ෆෙස්ටස් ඔකොටී ඉබෝ ද ඝාතනය කොට තිබිණි.”
නයිජීරියාවේ බාටා සමාගමේ හිටපු ගණකාධිකාරීවරයකු වූ ප්‍රධානී ෆෙස්ටස් පසුව තමන්ගේ ම සපත්තු කම්හලක් ආරම්භ කළේ ය.
ශ්‍රී ලංකාවේ ප්‍රධානී ෆෙස්ටස් ලා අද ප්‍රතිපත්ති සම්පාදනය මෙහෙයවමින් සිටිති.
සපත්තු සඳහා නියම කිරීමට යන බද්ද කුට්ටමකට රුපියල් 1000 කි. මෙරට , අපනයන තරගකාරීත්වයක් නැති, අකාර්යක්ෂම, කර්මාන්ත බොහොමයක තවත් ප්‍රධානී ෆෙස්ටස්ලා සිටිති.
වානේ , පිගන් ගඩොල් ,සහ ඇලුමිනියම් ආදී ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදකයින් ගණනාවක් ජනතාවට ඉහළ මිල ගණන්වලට භාණ්ඩ අලෙවි කරමින් , විවාහක යුවලකට නිවසක් ලබාගැනීම දුෂ්කර බවට පත්කිරීම සහ ඔවුන්ට පමණට වඩා විශාල ප්‍රමාණයෙන් ණය ලබාගැනීමට සිදුකොට තිබෙනවාට අමතරව අපනයන සහ සංචාරක ව්‍යාපාරයේ දී රට තරඟකාරී නොවන තත්ත්වයට පත්කොට තිබේ
ඒ අතර සුඛෝපභෝගී නිවාස ඉදිකිරීමේ යෙදී සිටින විශාල දේපල සංවර්ධකයන්ට බදුවලින් නිදහස්ව ආනයනය කිරීමට ඉඩ සැලසීම විකාර ප්රතිපත්තියකි. නිවාස වියදම ඉහළ දැමීමෙන් පසුව සියයට 7 ක පොලියට ණය ලබා දෙන්නේ බැංකු මත අනිවාර්ය මිල පාලනයක් වශයෙනි.
විශාලතම ප්රශ්නය වන්නේ සාමාන්‍ය ජනයා බදු යන ආවරණය යටතේ ඉහළ මිල ගණන් ගෙවුව ද ,එම මුදල් ආණ්ඩුවේ අයවැයට එකතු වන්නේ නැතිව ප්‍රධානී ෆෙස්ටස් වැන්නන්ගේ සාක්කුවලට ගලා යාම යි.
ආයාත ආදේශනයේ ප්‍රධානීන් ඇත්ත වශයෙන් ම භාණ්ඩ නිෂ්පාදනයේ නොයෙදෙන අතර නිෂ්පාදනයේ චලිතයන් සමග ගමන් කරමින් බදු බේරුම්කරණ ක්‍රියාවලිය තුළින් , බදු රැස්කර සාක්කුවේ දා ගන්නෝ වෙති.
( වෙළෙඳපොළ නිරීක්ෂණ සහ අධ්‍යයන කටයුතුවල යෙදෙන බෙල්වෙඩර් ආයතනයේ විග්රහයක පළමු කොටස මෙලෙස පල කරමු . ඉතිරි කොටස් බලාපොරොත්තු වන්න )
මානව ඛේදවාචක සහ ආර්ථික ව්‍යසන පිරුණු වර්ෂයක් දෙස ආපසු හැරී බැලීමක් – නිමල් සඳරත්න

මෙම වසරේ දී තරම් ගෝලීය ආර්ථිකය විනාශයට ලක් වූ තනි වර්ෂයක් මතක ඇති කාලයක තිබී නැත. එය මුල්‍ය හෝ ආර්ථික හෝ අර්බුදයක් නොවේ. එය ආර්ථික පසුබැස්මක් ද නොවේ. එය ආර්ථික ව්‍යසනයක් සහ මානව ඛේදවාචකයකි. ලෝකය පුරා ආර්ථිකයන් කඩාකප්පල් වීය.බොහෝ රටවල ආර්ථික වර්ධනය හැකිලුනි.ගෝලීය ආර්ථික වර්ධනය ඍන වීය.
කොවිඩ් 19 වසංගතය ගෝලීය ඛේදවාචකයකි. එයින් ලෝකය පුරා මිලියන ගණනක් ජනයා මිය ගියහ. තවත් කෝටි ගණනක් රෝගයට ගොදුරු වුහ. කුසගින්න සහ ආහාර අහේනිය පැතිරී ගියේය.ජීවනෝපායට තර්ජන එල්ල වීය. රැකියා විරහිත බව , දිළිඳුකම සහ අසමානතා වැඩි කළේය.

වසංගතය
වසර අවසන් වන විට වසංගතය පැතිරෙමින් , මරණ සංඛ්‍යා ඉහළ යමින් සහ ආර්ථික කඩාකප්පල් වෙමින් පැවතිණි. එන්නත් භාවිතය නිසා බලාපොරොත්තු දැල්වෙමින් තිබිණි. කෙසේ වෙතත්, කොවිඩ් 19 පාලනය කොට ගෝලීය ආර්ථිකය සහ ආර්ථික ජීවිතය යථා තත්ත්වයට හෝ දැන් විස්තර කරන ආකාරයට “ නව සාමාන්‍ය තත්ත්වයට “ හෝ පත් වීමට ලබන වර්ෂයේ අවසානය වනතෙක් කල් ගතවනු ඇත.
ආර්ථික දළ විශ්ලේෂණය
ගතවුණු වර්ෂය දෙස ආපසු හැරී බලන විට පෙනී යන්නේ ගෝලීය වශයෙන් මෙන් ම ශ්‍රී ලංකාවට ද ,එය නරක ම වර්ෂයක් වූ බව යි. වෙළෙඳාම මත පදනම් වූ දිවයිනේ ආර්ථිකය හැකිලීමට, ගෝලීය ආර්ථිකය කඩාකප්පල් වීමෙන් විශාල බලපෑමක් සිදු වීය.
රටේ කාර්මික අපනයන, සංචාරක ව්‍යාපාරය සහ එයට සම්බන්ධ සේවා බරපතළ ලෙස හානියට පත් වීය. අඩුවෙන් ම හානි වුයේ කෘෂිකාර්මික නිෂ්පාදනයට වුව ද , නිෂ්පාදන අලෙවි කර ගැනීමේ සහ යෙදවුම් ලබාගැනීමේ අපහසුතාවලට මුහුණ දීමට එයට ද සිදු වීය. වෙළෙඳ හිගය අඩු වුව ද , ගෙවුම් ශේෂයේ හිගය වර්ධනය වීය. ලබන වසරේ රටේ ණය ගෙවීමට ඇති බැඳීම් සමග ගත් කළ , රටේ විදේශීය මුල්‍ය වත්කම් ප්‍රමාණය බරපතළ මට්ටමකින් පහත වැටුණි.
ආර්ථික කාර්ය සාධනය
ගෝලීය වශයෙන් වසංගතය පැතිරීම සහ එය රට තුළ ව්‍යාප්ත වීම නිසා , බලාපොරොත්තු විය යුතු ලෙසට ම, රටේ භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය බරපතළ ලෙස කඩාකප්පල් වීය. රටේ ආර්ථිකයේ දුර්වල කාර්ය සාධනයට මූලික හේතුව කොවිඩ් වුව ද , එය කොවිඩ් නිසා පමණක් සිදු වුවක් ලෙස සැලකීම නොමග යවන සුළු ය. කොවිඩ්වලට පෙර 2019 දී ම ඍන 1.6 ක ආර්ථික වර්ධනයක් වාර්තා කොට තිබිය දී මෙම වසරේ ද , බලාපොරොත්තු වුයේ ඍන වර්ධනයකි.
කාර්තු තුනක්
කොවිඩ්වලට පෙර මෙම වසරේ මුල් කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට දෙකක් පමණක් වීය. එය දෙවන කාර්තුවේ දී සියයට 16.3 දක්වා පහත වැටුණු අතර තුන්වන කාර්තුවේ දී 1.5 ක් දක්වා වර්ධනය වීය. කොරෝනා දෙවැනි රැල්ල නිසා කර්මාන්ත ශාලා වසා දමන්නට සිදුවීමෙන් ආර්ථික වර්ධනය ද කඩාකප්පල් වීම නිසා හතරවන කාර්තුවේ ද ආර්ථිකය හැකිලීමක් සිදුවිය හැකිය.
2019 තුන්වන කාර්තුවේ දී වාර්තා වී තිබු ධන 2.4 ක ආර්ථික වර්ධනය හා සැසඳීමේ දී ,2020 තුන්වන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 1.5 ක් වනු ඇතැයි ගණන් බලා තිබේ. 2020 තෙවැනි කාර්තුවේ දී කෘෂිකාර්මික නිෂ්පාදිතය සියයට 4.3 කින් වර්ධනය වී ඇතත් , කර්මාන්ත අංශය වර්ධනය වී ඇත්තේ සියයට 0.6 කිනි. 2019 තුන්වැනි කාර්තුව සමග සැසඳීමේ දී , මෙම කාර්තුවේ දී , නිෂ්පාදන කර්මාන්ත සියයට 5.3 කින් සහ සේවා සියයට 2.1 කින් වර්ධය වී තිබීම කැපී පෙනෙන කාරණයකි.
ප්‍රතිඵලයක් ලෙස වෙනත් බොහෝ රටවල මෙන් ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ද , මෙම වසර තුළ හැකිලීමක් පෙන්නුම් කරනු ඇත.
අංශ
ආර්ථිකයේ අංශ තුන හොඳින් ක්‍රියාත්මක වී නැත. දෙවන කාර්තුවේ දී ආර්ථිකයේ අංශ තුනෙහි ම හැකිලීමක් පෙන්නුම් කොට ඇත. කෘෂිකර්මය සියයට 5.9 කින් ද, කර්මාන්ත සියයට 23.1 කින් ද, සේවා සියයට 12.9 කින් ද හැකිලී ඇත.
2020 වර්ෂය තුළ අඩුවෙන් ම බලපෑමට ලක්ව ඇත්තේ කෘෂිකර්ම අංශය වන අතර වැඩි ම බලපෑමට ලක්ව ඇත්තේ සේවා අංශය යි. කර්මාන්ත අංශයට විශාල පසු බැස්මකට ලක්වීමට සිදු වුව ද, ඇතැම් අපනයන කර්මාන්ත නව ජාත්‍යන්තර ඉල්ලුම්වලට අනුගත වීම මගින් තරමක් දුරට නැවත නැගිටීමක් පෙන්නුම් කරයි.
අපනයන
ගෝලීය කොවිඩ් වසංගතය වසරේ මුල සිට ම ගෝලීය වෙළෙඳාම අවුල් කළේය. ඇඟලුම් , ටයර් සහ සෙරමික් වැනි රටේ කාර්මික අපනයන , වසරේ දෙවන කාර්තුවේ සිට බරපතළ ලෙස බලපෑමට ලක් වීය. අභියෝගයට මුහුණ දෙමින් අපනයන කර්මාන්ත කළේ පුද්ගල ආරක්ෂණ උපකරණ සඳහා වර්ධනය වූ නව ජාත්‍යන්තර ඉල්ලුමට අනුව නිෂ්පාදන විවිධාන්ගිකරණය කිරීම යි. එහි ප්‍රතිඵලයක් ලෙස මාසික අපනයන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා , එනම් කොවිඩ්වලට පෙර අපනයන පැවති මට්ටම දක්වා ඉහළ ගියේ ය.
අපනයන අඩු වී ඇත
එසේ වුව ද , එබඳු විවිධාන්ගිකරන ක්‍රියා මාර්ග මගින් අපනයන වල පුනරුදයක් ඇති වුව ද, 2019 මුල් මාස දහයේ ඩොලර් බිලියන දහයක් වූ අපනයන වටිනාකම මෙම වසරේ මුල් මාස දහයේ දී ඩොලර් බිලියන 8.3 දක්වා සියයට 16 කින් පහත වැටී ඇත. මෙම වසරේ අපනයන ආදායම ඩොලර් බිලියන 11.5 ක් වනු ඇතැයි අපේක්ෂා කළ ද , කොවිඩ් දෙවන රැල්ල මගින්, නිෂ්පාදනය කඩාකප්පල්වීමත් , විදේශීය ගැනුම් කරුවන්ගේ ඉල්ලුම දුර්වල කිරීමත් නිසා නිෂ්පාදනය විස්තාපනය වීමත් හේතුවෙන් 2020 දී අපනයන ආදායම ඩොලර් බිලියන දහයක් පමණක් වනු ඇත.
වෙළෙඳ හිගය
2019 වර්ෂයේ ඔක්තෝබර් මාසය අවසන් වනවිට ඩොලර් බිලියන 6.45 ක්ව තිබු වෙළෙඳ හිගය , 2020 ඔක්තෝබර් අවසානය වන විට ඩොලර් බිලියන 4.85 ක් දක්වා මේ වසරේ දී අඩු වී ඇත. වසරේ මුල් මාස දහයේ දී ඇති වූ මෙම ඩොලර් මිලියන 1.6 ක වෙළෙඳ හිගයේ අඩු වීම සැලකිය යුතු එකක් වුව ද , ගෙවුම් ශේෂයේ හිගය 2020 ඔක්තෝබර් අවසානය දක්වා කාලයේ දී ඩොලර් බිලියන 2.1 කින් වැඩි වී ඇත්තේ , සංචාරක ව්‍යාපාරයේ ආදායම් විශාල ලෙස පහත වැටීමත් , ප්රාග්ධනය ශුද්ධ ලෙස ඉවත ගලා යාමත් හේතුවෙනි.
ගෙවුම් ශේෂය
පසුගිය වසරේ ගෙවූ ශේෂයේ දක්නට ලැබුණු ඩොලර් මිලියන 377 ක කුඩා අතිරික්තයට වෙනස් ව, මෙම වසරේ ගෙවුම් ශේෂයේ ඩොලර් බිලියන දෙකේ සිට 2.5 දක්වා වූ හිගයක් ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. විදේශ වත්කම් අවදානම් මට්ටමකට වැටී තිබිය දී මෙම වසරේ ගෙවුම් ශේෂය වර්ධනය වීම ආර්ථිකයට බරපතළ අභියෝගයක් වනු ඇත.
විදේශීය මුල්‍යය
රටේ අපනයන සහ සංචාරක ව්‍යාපාරයේ ඉපයීම් බරපතළ ලෙස කඩා වැටී තිබිය දී , විදේශීය මුල්‍යය මෙම වසරේ දී රට මුහුණ දෙන බරපතළ ප්‍රශ්නයක් විය හැකි ය. සංචිත පහළ වැටීමෙන් පෙන්නුම් කරනුයේ 2021 දී ගෙවීමට ඇති ණය ගෙවා දැමීමේ අපහසුතාවයකට මුහුණ දෙන බව යි.
නොවැම්බර් මස අවසානය වන විට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.9 දක්වා පහත වැටී තිබිණි.
මෙම වසරේ දකින්නට ලැබුනේ විදේශ සංචිත පහත වැටීමේ ප්රවනතාවකි. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ඩොලර් බිලියනයක් ආපසු ගෙවීමෙන් පසුව ඔක්තෝබර් මස අවසානයේ විදේශ සංචිත පැවතියේ ඩොලර් බිලියන 5.9 ක මට්ටමේ ය. නොවැම්බර් අවසානය වන විට එය ඩොලර් බිලියන 4.9 දක්වා පහත වැටුණි. විශාල ප්‍රාග්ධන ගලා ඒමක් සිදු නොවන්නේ නම් 2020 අවසානය වන විට එය ඩොලර් බිලියන හතරකට වඩා අඩු වනු ඇත.
විදේශ ණය
වර්ෂය අවසාන වන විට පවතින බරපතළ ප්රශ්නය වන්නේ අපට අපගේ විදේශ ණය ගෙවීමට හැකිවේද යන්න යි. ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය 2021 දී ඩොලර් බිලියන හතරේ සිට 4.5 දක්වා වන බවත්, සහ 2021 – 2024 කාලයේ ඩොලර් බිලියන 23 ක් ගෙවීමට ඇති බවත් , ගණන් බලා තිබේ. ගෙවුම් ශේෂය දුර්වල වීමේ ප්රවනතාවය වර්ධනය වුවහොත් රටේ ණය ගෙවීමට ඇති හැකියාව තර්ජනයට ලක් වෙයි.
සාරාංශය
ආර්ථික කටයුතු, ජාත්‍යන්තර වෙළෙඳාම සහ සංචාර ගෝලීය වශයෙන් කඩාකප්පල් වීම ,දිවයිනේ අව කාර්ය සාධනයකින් යුතු ආර්ථිකය කෙරෙහි බරපතළ බලපෑමක් සිදු කරයි. කාර්මික අපනයන, සංචාරක ව්‍යාපාරය සහ සේවා බරපතළ ලෙස කඩා වැටීමෙන් ආර්ථිකය සංකෝචනය වනු ඇත. වසංගතයේ අඩු ම බලපෑමට ලක්ව ඇත්තේ කෘෂිකාර්මික අංශය වුව ද, එම අංශයේ නිෂ්පාදනය අඩු ය. මෙම වසර තුළ , බොහෝ දෙනාගේ රැකියා සහ ජීවනෝපාය අහිමි වී ඇති අතර , දුප්පත්කම සහ අසමානතාත්, සාගින්න සහ ආහාර අහේනියත් වැඩි වී තිබේ.
වෙළෙඳ හිගය අඩු වී ඇතත් ,සංචාරක ව්‍යාපාරයේ ආදායම් විශාල ලෙස පහත වැටීමත් , ප්රාග්ධනය ඉවතට ගලයාමත් නිසා , ගෙවුම් ශේෂයේ හිගය වර්ධනය වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස නොවැම්බර් අවසානය වන විට , විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.9 ක් වැනි අවදානම් මට්ටමකට පහත වැටී ඇත.
අවසන් වචනය
පසු බැසීම් සහිත වසරක් ලෙස මෙම වසර හැඳින්වීම අඩු තක්සේරුවකි. එය ගෝලීය ව්‍යසනයක් සහ බලාපොරොත්තු රහිත මානව ඛේදවාචකයක් වූ වසරකි. ගෝලීය වශයෙන් මෙන් ම , දිවයිනේ ද, කොවිඩ් වසංගතය පාලනය කිරීම ලබන වසරේ ආර්ථික පුනර්ජීවනයක් සඳහා පුර්ව කොන්දෙසියකි.
( සන්ඩේ ටයිම්ස් පළවූ ලිපියක පරිවර්තනයකි )
පරිවර්තනය – සී ජේ අමරතුංග
මෙය දේපළ සඳහා ආයෝජනය කිරීමට සුදුසු කාලයක්ද?– ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් සමාගමේ ව්‍යාපාර ක්ෂේත්‍ර ප්‍රධානී නයන මාවිල්මඩ

කොළඹ නගරයේ දේපළ යනු බොහෝ දෙනෙකුට සිතීමට පවා අපහසු වූ ආයෝජනයකි. කෙසේ නමුත්, මේ වනවිට ඒ සඳහා යම් යම් ඉඩප්රස්ථා විවෘත වී තිබේ.
ස්ථාවර තැන්පතු සඳහා ලැබෙන පොලී අනුපාත ඉතිහාසයේ අන් කවරදාටත් වඩා පහළ ගොස් ඇති නිසා, ආදායම් මාර්ගයක් ලෙස තවදුරටත් එය සැලකිල්ලට ගත නොහැකි තත්ත්වයක් මතුවී ඇත. එම නිසා, කෙනෙකුට ඊළඟට ඇති හොඳම විසඳුම වන්නේ දේපළ සඳහා ආයෝජනය කිරීම ය. දේපළ ආයෝජනයේ යම් අවදානමක් ඇති නමුත්, නිසි අවබෝධයෙන් යුතුව ආයෝජනය කරන්නේ නම් එම අවදානම් පහසුවෙන් මගහරවාගත හැක.
කොළඹ යනු විශාල රථවාහන තදබදයක් ඇති නගරයකි. විශාල පිරිසක් කොළඹින් බැහැර සිට මෙසේ රථවාහන තදබදය ඇතුළු නොයෙක් දුෂ්කරතා විඳගෙන කොළඹ නගරයට පැමිණෙන්නේ ඇයි? කොළඹ නගරය යනු රටේ වාණිජ මධ්‍යස්ථානයයි. සියලු පහසුකම් මෙන්ම, ඉහළ වැටුප් සහිත රැකියාවන් ඇත්තේ එහි ය. මේ තත්ත්වය තවත් දශක ගණනාවක් යනතුරු වෙනස් නොවනු ඇත. කෙසේ වුවද විවිධ සාධක රාශියක් නිසා බොහෝ දෙනෙකුට තවත් කොළඹ නගරයේ දේපළ සඳහා ආයෝජනය කිරීම දුෂ්කර ය. ඒ නිසා ඔවුන්ට රථවාහන තදබදය ඇතුළු බොහෝ පීඩා විඳිමින් දිනපතා කොළඹ නගරයට පැමිණීමට සිදුවේ.
කවර තත්ත්වයක් හමුවේ වුවද කොළඹ නගරයේ දේපළ මිල අඛණ්ඩව ඉහළ යාම වළකිනු ඇතැයි සිතිය නොහැක. එම නිසා මේ මොහොතේ කරන ආයෝජනයක් වෙතොත් නොවැරදීම එය අනාගතයේදී ලාභ ගෙනෙනු ඇත.
මෙවැනි පසුබිමක් තුළ, ජනතාවගේ අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයට නිවාස ණය යෝජනා ක්‍රම හඳුන්වා දීම අතිශයින් වැදගත් ය. එම නිසාම, ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් සමාගම යුනියන් පෙදෙසෙහි ඉදි කරන අතිනවීන පහසුකම් සහිත TRI-ZEN නිවාස ව්‍යාපෘතිය සඳහා කලක පටන් නම්‍යශීලී මූල්‍ය විසඳුම් පිරිනමා තිබේ. මේ අතරින් මෑතකදී හඳුන්වා දෙන ලද Freedom Mortgage විසඳුම සැලසුම් කර ඇත්තේද නිවාස ගැනුම්කරුවන්ට මෙන්ම ආයෝජකයන්ටද සහන රැසක් ලැබෙන පරිද්දෙනි.
Freedom Mortgage මගින් ගැනුම්කරුවන්ට වසර දෙකක් දක්වා පොලී රහිත කාලසීමාවක් හිමිවේ. ගනුදෙනුකරු මූලික ගෙවීම ලෙස ලබාදිය යුත්තේ 20% ක් පමණක් වන අතර ඉතිරි 80% ම බැංකුව විසින් දරනු ලබයි. මුල් ගෙවීමෙන් පසු තවත් වසර 2 ක් ගතවනතුරු ගනුදෙනුකරු කිසිදු ගෙවීමක් සිදුකළ යුතු නැත. වසර 2 කට පසු පොලී ගෙවීම ආරම්භ වන අතර, වසර 3 කට පසු ප්‍රාග්ධන මුදල ගෙවීම ආරම්භ වේ. කොමර්ෂල් බැංකුව ලබාදෙන මෙම පහසුකම සඳහා වසර 5 ක් දක්වා පොලිය 8,75% ක් ලෙස ස්ථාවරව පවතින අතර, වසර 10 ක් සඳහා එය 9% කි. මෙම කාලය තුළ අවශ්‍ය නම් නිවාසය අලෙවි කර එහි මුළු වටිනාකම ලබාගැනීමට වුවද හැකියාව ඇත.
COVID-19 වසංගතය හමුවේ පහළ යන ඉල්ලුම ආපසු ඉහළ යාමට වැඩි කාලයක් ගත නොවනු ඇත. මෙවැනි පසුබිමක් හමුවේ එළඹෙන වාසිදායක අවස්ථාවන් ගැන විමසිල්ලෙන් පසුවීම වැදගත් ය. ස්ථාවර තැන්පතු සඳහා පොලිය පහළ ගොස් තිබීමට අමතරව, නිවාස ණය යෝජනා ක්‍රම සම්බන්ධ පොලී අනුපාතයන්ද පහළ ගොස් තිබේ. ණය දීම සඳහා බැංකු උනන්දුවෙන් පසුවන නිසා ගනුදෙනුකරුවන්ට විශේෂ වාසි අත්වීමට ඉඩ ඇත.
කොළඹ නගරයෙන් දේපළක් තෝරාගැනීමේදී නගර මධ්‍යයෙන් (කොළඹ 1 හෝ 2) තෝරාගැනීම පහසුව අතින් මෙන්ම, කුලියට දීමේ හැකියාව අතින්ද බෙහෙවින් තීරණාත්මක වේ. එමෙන්ම මෙහිදී පිළිගත් දේපළ සංවර්ධන සමාගමක් වෙතින් නිවාස තෝරාගැනීමද වැදගත් ය. ඊට අමතරව, තම ආදායම හා ජීවන රටාවට ගැළපෙන නිවාසයක් තෝරාගැනීමද වැදගත් බව අමුතුවෙන් කිව යුතු නොවේ.
අවසන් වශයෙන් කිව හැක්කේ, කෙනෙකු නිවැරදි ස්ථානයකින් දේපළක් තෝරාගෙන, නැණවත් මධ්‍යම කාලීන ආයෝජනයක් සිදුකර, මෙම දුෂ්කර අවස්ථාව ඉවසිල්ලෙන් පසුකිරීමට සූදානම් නම්, ඔහුට හෝ ඇයට නිසැක ප්රතිලාභ හිමිවනු ඇති බවයි.
කොවිඩ්-19 බලපෑමට මුහුණ දීමට ලෝක බැංකුවෙන් ඇ.ඩො. මිලියන 56ක්

කොවිඩ්-19 වසංගතය නිසා ඇති වූ අර්බුදවලට මුහුණ දීම සඳහා ක්ෂණික ප්‍රතිචාරයක් වශයෙන් මෑතකදී ලෝක බැංකු ප්‍රතිපාදන හරහා ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ඇ.ඩො. මිලියන 56ක් ශ්‍රී ලංකාවට ලබාදීමට පියවර ගෙන ඇත.
කෘෂිකාර්මික අංශය තුළ අවදානමට ලක් වූවන් ආරක්ෂා කිරීම, පොදු ප්‍රවාහනයේ කොවිඩ්-19 ආරක්ෂණ ක්‍රියාමාර්ග වැඩිදියුණු කිරීම, පාසල් ළමුන් සඳහා දුරස්ථ අධ්‍යාපනය සඳහා පහසුකම් සැලසීම, සහ රජයේ සේවාවන් ඩිජිටල්කරණය යනාදී කරුණු සඳහා මෙම අරමුදල් යොදවනු ලැබේ.
අප්‍රේල් 02 වැනිදා අනුමත කරන ලද ඇ.ඩො. මිලියන 128.6 ක වටිනාකමක් ඇති කොවිඩ්-19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට අමතරව මෙම අරමුදල් සැපයෙනු ඇති බව ලෝක බැංකුව සදහන් කරයි.
“කොවිඩ්-19 හදිසි අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා අපි ශ්‍රී ලංකා රජය සමඟ සමීපව කටයුතු කරමින් සිටිනවා” මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වූ ලෝක බැංකු අධ්යක්ෂ ෆාරිස් එච්. හදාද්-සර්වෝස් මහතා පැවසීය. ” මේ වන විට කරගෙන යන ව්‍යාපෘති වලට වෙන්කොට ඇති මූල්‍ය ප්‍රතිපාදන ප්‍රතිව්‍යුහගත කිරීම හරහා ආහාර සුරක්ෂිතතාව, සහ දරුවන්ගේ අධ්‍යාපනය වැඩිදියුණු කිරීම, සෞඛ්‍යාරක්ෂිතව ජනතාවට පොදු ගමනාගමනය භාවිතා කළ හැකි බව සහතික කිරීම, සහ රජයේ සේවාවන් ඩිජිටල්කරණය කිරීම යන කාර්යයන් සදහා අවශ්‍ය සහයෝගය ලබාදීමට අපි රජය සමඟ එක්ව කඩිනමින් කටයුතු කරමින් සිටින්නෙමු.” ඒ මහතා තවදුරටත් පැවසීය.
ආර්ථික අවදානමට ලක්විය හැකි ගොවීන්ට බීජ මිලදී ගැනීමට සහ ගබඩා පහසුකම් වැඩිදියුණු කිරීමට මෙම මූල්‍යාධාර උපකාර වනු ඇත.තවද මෙමඟින් පාසල් සිසුන්ට ආරක්ෂිත හා සනීපාරක්ෂක පාසල් පරිසරයක නිර්මාණය කරන අතරම, විශේෂයෙන් ග්‍රාමීය, කුඩා හා අඩු සම්පත් ඇති පාසල්වල දුරස්ථ අධ්‍යාපනය සහ ඉලෙක්ට්‍රොනික ඉගෙනුම් ඇතිකිරීම මඟින් පාසල් දරුවන්ට නිවසේ සිටම ඉගෙනීමට පහසුකම් සැලසෙනු ඇත.
ඊට අමතරව, මෙම අරමුදල් හරහා පොදු ප්‍රවාහන පහසුකම් අඛණ්ඩව සැපයීමට අත්‍යවශ්‍ය බස්රථ විෂබීජහරණය කිරීම, දෑත් සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ සේවකයන් සඳහා ආරක්ෂක ඇඳුම්, සහ ශරීර උෂ්ණත්වය මැනීම යනාදි කටයුතු, ඩිජිටල් ලේඛන කළමණාකරණ පද්ධතියක් හරහා මහජන සේවාවන් වැඩිදියුණු කිරීම, රජයේ නිලධාරීන්ට නිවසේ සිට වැඩ කිරීම සඳහා විද්‍යුත් තැපෑල සහ වීඩියෝ සම්මන්ත්රණ පහසුකම් ලබාදීම සහ ආයතන අතර සහයෝගිතාව වැඩිදියුණු කිරීමේ විසඳුම් භාවිතය යනාදිය සිදු කිරීමට නියමිත ය.
ජාත්‍යන්තර මුල්‍ය සංස්ථාවෙන් ( IFC ) කොමර්සල් බැංකුවට ඩොලර් මිලියන 50ක්
කොවිඩ් 19 වසංගතය නිසා මුල්‍ය ප්‍රශ්නවලට මුහුණ දී සිටින සමාගම්වලට අවශ්‍ය හදිසි ආධාර ලබාදීම සඳහා ශ්‍රී ලංකා කොමර්සල් බැංකුව ට ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක ණයක් ලබාදීමට ජාත්‍යන්තර මුල්‍ය සංස්ථාව ( IFC) කටයුතු කොට ඇත.
ජාත්‍යන්තර මුල්‍ය සංස්ථාව යනු පෞද්ගලික අංශයට ණය ලබාදීමට ලෝක බැංකුව පිහිටුවා ඇති ආයතනයයි.
එම ආයතනයේ හදිසි ආපදා ණය වැඩ සටහන යටතේ මෙම ණය මුදල ලබාදෙන බව කියති.
වසරකින් පසුව ගෙවීමට මෙම ණය මුදල ලබා දුන්නද එම කාලය වසර තුන දක්වා දීර්ග කර ගැනීමට ඉඩ සලසා ඇත.
ශ්‍රී ලංකා ටෙලිකොම් යන්නේ කොහේද? – ගල් මුල් මැද නව සභාපති කතා කරයි
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය හරහා ගෙන යන ප්‍රචාර අසත්‍ය බව එහි සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා ලංකා නිවුස් වෙබ් වෙත කරුණු දක්වමින් අවධාරණය කරයි.
ආයතනයේ මූල්‍ය පරිපාලනයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් වෙත චෝදනා එල්ල වුවද එකී සියල්ල මේ වන විට ආයතනයේ නව ප්‍රතිව්‍යුහගත කිරීම් සහ නව ක්‍රමවේදයන් සම්බන්ධයෙන් මතුව තිබෙන දේශපාලනික විරෝධයක් විසින් එවැනි චෝදනා නිර්මාණය වෙමින් පවතින බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.
රොහාන් ප්‍රනාන්දු මහතා පවසන පරිදි පසුගිය වසර කිහිපය තුළ ආයතනය තුළ පැවති අර්බුද රැසක් මේ වන විට විසදෙමින් පවතියි.
“අළුත් සභාපති සහ අධ්යක්ෂ මණ්ඩලය වැඩ භාරගනිද්දී මේකේ ප්‍රශ්න ගොඩක් තිබුණා. වෘත්තීය සමිති ප්‍රශ්න තිබුණා. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අරන් තිබුණේ. විශාල ණය කන්දක් අරන් තිබුණා එක එක ව්‍යාපෘතිවලට. සමහර ව්‍යාපෘති අද හෙට ලාභ ලබන ව්‍යාපෘති නෙවෙයි. රිටර්න් එන්නෙත් නැහැ. එහෙම අවස්ථාවකදී තමයි අළුත් අධ්යක්ෂ මණ්ඩලය පත්වෙන්නේ. අළුත් අධ්යක්ෂ මණ්ඩලය වැඩභාර ගන්නේ ජනවාරි 23වැනිදා. එදා ඉඳලා වෘත්තීය සමිති පවා එකතු කරගෙන විශාල වැඩකොටසක් කරමින් තිබෙනවා. එහෙම පසුබිමක තමයි අපට මේ අනවශ්‍ය චෝදනා එල්ල වෙමින් තිබෙන්නේ.”
ගල් මුල් මැද පළමු කාර්තුවේම ලාභ ලබයි
එකී චෝදනා මැද එය අභිබවමින් වසරේ පළමු කාර්තුව තුළම ශ්‍රී ලංකා ටෙලිකොම් අත්කරගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳව සභාපතිවරයා විශේෂ පැහැදිලි කිරීමක් කරන ලදී.
ඔහු පවසන පරිදි අභියෝග රැසක මැද ඔවුන් පළමු කාර්තුව තුළ රු.බිලියන 1.1ක ශුද්ධ ලාභයක් අත්පත්කරගෙන තිබේ.
“අපි පළමුවෙනි කාර්තුවේ විතරක් ලොකු ප්‍රගතියක් ලබා ගත්තා. පිරිවැටුම වැඩි කරලා ප්‍රාග්ධන වියදම අඩුකරලා මෙහෙයුම් වියදම් අඩුකරලා මේ කාර්තුවේ රු.බිලියන1.1ක වගේ ශුද්ධ ලාභයක් ලබල තියෙනවා. ඒක ඉතාම හොඳ ප්‍රගතියක්. ඒ වගේම මේ අවුරුද්ද තුළ අපි ලොකු ප්‍රගතියක් කරා යන්න බලාපොරොත්තු වෙනවා. නව ක්‍රමවේද ආයතනය තුළට හඳුන්වා දෙමින් ඉන්නේ.”
අනියම් සේවකයන්ටත් නව බලාපොරොත්තුවක්
විශාල මිනිස් සම්පතක හිමිකරුවෙකු වන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පසුගිය වසර කිහිපය තුළ එය නිසිලෙස කළමනාකරණය කරගෙන නොමැති බව රොහාන් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.
මෑන් පවර් ක්‍රමයට යටත්ව අනියම් සේවකයන් 2000ක් පමණ මෙම ආයතනයේ සේවය කර තිබෙන නමුත් ඔවුන් නිසිලෙස මෙහෙයවීමට නොහැකි වීම තුළ ආයතනය මහත් අභියෝගී තැනකට පත්ව ඇත. ඒවා උප ආයතන ලෙස අනුබද්ධ කරගනිමින් විනිවිදභාවයකින් තොරව පවත්වාගෙන ගොස් තිබෙන අතර ඒ හරහා ආයතනයට අනවශ්‍ය පීඩනයක් හා බැඳීමක් ගොඩනගා තිබී ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම් හි ප්‍රශ්න පිට ප්‍රශ්න ඇති කිරීමට මූල බීජය වී ඇත්තේද එයයි.
එහෙත් මේ වන විට එය නිසි ක්‍රමවේදයකට යටත්ව එම මානව සම්පත් කළමනාකරණය කරමින් ඔවුන් ආයතනගත කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කර තිබේ. සමස්ත අධ්යක්ෂ මණ්ඩලයේම අනුමැතියෙන් පසුගිය මැයි 01 වැනි දින එනම් ලෝක කම්කරු දිනය දා එම අනියම් සේවකයන්ට සිය රැකියාවේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් නව බලාපොරොත්තුවක් ලබා දීමට ශ්‍රී ලංකා ටෙලිකොම් නව පාලනාධිකාරීය කටයුතු කර තිබේ.
“මැයි මාසේ 01 දා ඒ කියන්නේ ලෝක කම්කරු දිනය ද ඇඳිරි නීතිය මැද්දේ විදෙස් ගතව ඉන්න අධ්යක්ෂ මණ්ඩලයේද අනුමැතියෙන් මේ අනියම් සේවකයන් ප්‍රමිතිගත කරන්න තීරණය කළා. ඒ හරහා අවුරුද්දකට ආයතනයට රු. බිලියන 263කට වැඩි වියදමක් දරන්න වෙනවා. නමුත් අපි හිතනවා ඒ හරහා සේවකයන් ලොකු ධෛර්යයක් ප්රබෝධයක් ලැබිලා වැඩිපුර වැඩ කරලා ආයතනයෙන් එළියට යන ප්‍රමාණය ඉතුරු කරලා අපිට ඔය ගාණ පියව ගන්න පුළුවන්. අද වෙනකොට ඒ ක්‍රියාදාමය යනවා. නමුත් බාධා කිරීම් තිබෙනවා. විශේෂයෙන් දේශපාලන ඇඟිලි ගැසීම් තියෙනවා. ඒ කියන්නේ මේකට කැමති නැති අයගෙන් එන බාධාවන්. මොකද මේක හිඟන්නාගේ තුවාලය වගේ දෙයක්මේ. මේවගෙන් ප්රතිලාභ ලබපු අයත් ඉන්නවනේ.”
“මෙවැනි දෙයක් මේ ආයතනයේ සිද්ධ වෙන්නේ පළමු වරට. මෙය ඉතිහාස ගතවන දෙයක් වේවි. අපි බලාපොරොත්තු වෙනවා මැයි මාසය අවසන් වෙද්දී ඒ කටයුතු අවසාන කරන්න.”
මෙහිදී නව පාලනාධිකාරියට වෘත්තීය සමිතිවලින් ලැබෙන සහයෝගය අතිශය වැදගත් බවයි සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ.
නව ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලක්
පසුගිය වසර කිහිපය තුළ ලාභ නොලබන උප ආයතන ගණනාවක් ශ්‍රී ලංකා ටෙලිකොම් සමඟ අනුබද්ධ කර තිබී ඇති අතර ඉන් ආයතනයේ ප්‍රග්ධනය සහ මූල්‍ය වත්කම් විනාශ වීම හැර සෙතක් වී නැති බව ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි. එහෙයින් ඇතැම් ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමටත් ඇතැම් ආයතන වසා දැමීමටත් තීරණයක් ගෙන ඇති බව ඔහු කියාසිටියි. එය වෘත්තීය සමිති හා ආයතනයේ සේවකයන්ගේ ආශිර්වාදයෙන් සිදුවීම විශේෂිතය. පාලනාධිකාරිය පමණක් තීරණ තීන්දු ගන්නවා වෙනුවට ඔවුන් සමස්ත ආයතනයම ඊට එක්කරගෙන තිබීම සුවිශේෂී තත්ත්වයකි.
ඒ තුළ වසර ගණනාවක් තිස්සේ කරගැනීමට නොහැකි වූ දේ මේ මොහොතේ කිරීමේ අවකාශය උදා වී තිබෙන බව වෘත්තීය සමිති පවා ප්‍රකාශ කර තිබෙන බවයි සභාපතිවරයා පවසන්නේ.
“වැටිලා තියෙන වලෙන් මේක දැන් ගොඩ එමින් තිබෙන්නේ. මම මේක හැඳින්වුයේ නිදාගත්ත අසනීප වෙච්ච යෝධයෙක් විදිහට. දැන් අපි යෝධයව නින්දෙන් අවදිකරලා තියෙන්නේ. දැන් අපි සනීප කරන්න බෙහෙත් දෙමින් ඉන්නවා. එහෙම තමයි අපි අපේ යෝධ බල යෝධ ශක්තිය රටටම පෙන්නන්නේ. මේ රටට ලොකු ආඩම්බරයක් වෙයි.”
තවත් අළුත් වැඩකට අතගසයි
මේ අතර ආයතනය ජාත්‍යන්තර තලයට ගෙන යාම සඳහා වන සාකච්ජා මේ වන විටත් ආරම්භ කර තිබේ. සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පවසන පරිදි අසල්වැසි රටවල් කිහිපයක් සමඟ සාකච්ජා කරමින් සේවා හා දැනුම බෙදා ගැනීමේ මාවතකට එළඹ සිටියි. මේ වන විටත් රටක් සමඟ සාකච්ජා ආරම්භ කර තිබෙන අතර තවත් රටවල් තුනක් සමඟ සම්බන්ධ වීමට තීරණය කර ඇත. අනුබද්ධ ආයතන ලෙස පවත්වාගෙන යමින් එමඟින් තවදුරටත් මුදල් ඉපයීමේ අවස්ථාව උදාවන අතර ඒ හරහා සේවකයන් දිරිමත් වීමත් නව බඳවා ගැනීම් සිදුකිරීමට හැකි වීමත් ආයතනයට මෙන්ම රටට අතිශය යහපත් ප්‍රථිපල ගෙන එනු ඇති බවයි රොහාන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරන්නේ.
මේ අතර මෙතෙක් වෙන වෙනම පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් යන සන්නාම එකට එකතු කර ඉදිරියේදී ප්‍රවර්ධනය කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙයි.
නව පාලනාධිකාරිය විසින් ආයතනය භාරගන්නා විට රු.බිලියන 53ක අධික ණය බරකින් යුක්තව ආයතනය පවත්වාගෙන ගොස් ඇති නමුත් ඉදිරියේදී එවන් ණය උගුලකට හසු නොවන පරිදි පවත්වාගෙන යාමට දැනටමත් සැලසුම් සකස් කර තිබේ. නව ව්‍යාපෘති සඳහා ණය ලබා ගැනීමේදී එය එකී ව්‍යාපෘතියේ ප්රතිලාභයෙන්ම ගෙවා දැමීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමයි නව පාලනාධිකාරියේ බාලපොරෝත්තුව වන්නේ.
මෙම නවතාවන් සමඟ ඉදිරි වසර තුනක පමණ කාලය තුළ ආයතනයේ නව පිබිදීමක් ඇති කිරීම ඔවුන්ගේ අරමුණ බව ද රොහාන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
“මට අවශ්‍ය මේ ආයතනය ණය කරුවෙක් කිරීම නොවෙයි. අවශ්‍ය වන්නේ තැන්පතු වැඩි කිරීමයි. ඒ ඉලක්කයට අපි යනවා.”
මෙම ක්‍රියාවලිය තුළ විනිවිදභාවයෙන් යුතු කළමනාකරණ ක්‍රමවේදයක් ගොඩනැගෙන අතර වෘත්තීය සමිති ඇතුළු ආයතනයේ ඕනෑම පාර්ශවයකට පාලනාධිකාරිය සමඟ සාකච්ජා කිරීමට අදහස් බෙදා ගැනීමට අවකාශයද හිමි වන බව ඔහු කියාසිටියි.
මෙකි සියලු නැගිටීම් මැද පසුගිය කාලයේ සිදු වූ අකටයුතුකම් පිළිබඳව විමර්ශන කරන බවයි සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.