ලීසිං සමාගම්වල නීති විරෝධී අත්කරගැනීම් වළක්වන්න -ජනපතිගෙන් පොලීසියට නියෝග

ලීසිං පහසුකම් යටතේ වාහන මිලට ගෙන ණය වාරික ගෙවීමට අසමත් වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කරගැනීමට වර්තමානයේ  ලීසිං සමාගම් අනුගමනය කරන ක්‍රමය නීති විරෝධී බැවින් කිසිසේත් ඊට ඉඩ නොතබන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලීසියට නියෝග කර ඇත. 

ලීසිං සමාගම් වාහන අත්පත් කරගැනීමට පෙර පොලීසිය දැනුවත් කරන්නේ නැති අතර එසේ අත්පත් කරගැනීමෙන් පසු ලැබෙන පැමිණිලි නැවත දැනුම් දෙනතුරු භාර නොගන්නැයි ජනාධිපතිවරයා වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට උපදෙස් දී ඇත.

කොවිඩ් 19 ව්‍යාප්තිය සමඟ පීඩාවට පත් විවිධ කණ්ඩායම් වලට රජය ප්‍රදානය කළ සහන සමූහය යටතේ ත්‍රීවිල් රථ හිමියන් විසින් ගෙවනු ලබන ලීසිං ණය වාරික අයකර ගැනීම මාස 6කට අත්හිටුවනු ලැබීය. 

ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් පසුගිය මාර්තු 23 වැනිදා නිකුත් කරන ලද 16/2020 චක්‍රලේඛයේ දෙවැනි වගන්තියේ ඒ බව පැහැදිලිව සඳහන් බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එසේ තිබියදී ණය වාරිකය නොගෙවීම මත වාහන අත්පත් කරගැනීම රජයේ නියමය කඩ කිරීමක් වන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

එබැවින් ණය වාරික නොගෙවීම මත වාහන අත්පත් කර ගැනීමට ඉඩ නොතබන ලෙස ද ඒ මහතා පොලීසියට දැනුම් දී තිබේ.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *