පෑලියගොඩ නව එළවළු තොග වෙළෙඳ සංකීර්ණය විවෘත කෙරේ

පිටකොටුව මැනිං වෙළෙඳපොළ වෙනුවට ඉදිකෙරුණු පෑලියගොඩ නව එලවලි තොග වෙළෙඳ සංකීර්ණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (20) විවෘත කරනු ලැබී ය.

අක්කර 13ක විශාල භූමි භාගයක ඉදිකෙරුණු නව සංකීර්ණය පහසුකම් රැසකින් සමන්විතය.

එළවළු තොග වෙළෙඳාම මෙතෙක් සිදුවූ මැනිං වෙළෙඳ සංකීර්ණය පිටකොටුව නගරයේ ස්ථාපිත වී ඇත්තේ 80 දශකයේ දී ය.

පිටකොටුවේ ක්‍රමයෙන් වැඩිවූ ජනගහනය, සංකීර්ණ වූ රථ වාහන ගමනාගමනය සමග පසු කාලීනව මැනිං වෙළෙඳපොළ නිසා ඇති වූයේ  සංකීර්ණ තත්ත්වයකි.

මෙම ගැටලු අවම කිරීම සඳහා මැනිං වෙළෙඳ සංකීර්ණය පිටකොටුවෙන් ඉවත් කර පෑලියගොඩ ප්‍රදේශයට රැගෙන යාමට මුල්වරට සැලසුම් කෙරුණේ 2011 වසරේදීය.

ඒ අනුව, පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට ආසන්නව මෙම නව මැනිං වෙළෙඳ සංකීර්ණය ඉදිකිරීම් ඇරඹුණේ 2013දීය.

ඊට වැය වූ මුදල රුපියල් බිලියන 6.9කි. 

පිටකොටුවේ අක්කර 2ක කුඩා බිමක දැඩි තදබදයක් මැද පවත්වාගෙන ගිය මැනිං වෙළෙඳ සංකීර්ණයේ නව භූමිය අක්කර 13.5 ක විශාලත්වයෙන් යුක්තය.

මහල් හතරකින් සමන්විත මෙම වෙළෙඳ සංකීර්ණය, වාහන 600ක් පමණ නැවැත්විය හැකි රථ ගාලක්, සේවකයින් සඳහා විවේකාගාර, වෛද්‍ය මධ්‍යස්ථාන, බැංකු, ආපන ශාලා, අධි ශීතකාමර, සාප්පු සංකීර්ණ, පොදු වැසිකිළි, ‍හෝටල් ඇතුළු පහසුකම් රැසකින් සමන්විත වේ.

මෙහි තොග සහ සිල්ලර වෙළෙඳාම සඳහා වෙළෙදසැල් 1192 ක් ද ඉදිකර තිබේ.

ඉදිකිරීම් සිදුකෙරුණේ ඉංජිනේරුමය කාර්යයන් සඳහා වන මධ්‍යම උපදේශන ආයතනයේ අධීක්ෂණය යටතේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *