වෙළෙඳ ගිවිසුම් තුළින් ශ්‍රී ලංකාව ආනයන මෙන් තුන් ගුණයක් අපනයන වැඩිකර ගනියි.

ශ්‍රී ලංකාව අත්සන් කොට ඇති වෙළෙඳ ගිවිසුම් තුලින් මෙරටට කළ ආනයනවලට සාපේක්ෂව මෙරටින් විදේශයන්ට කළ අපනයන තුන් ගුණයකින් වැඩි කරගෙන ඇති බව වාර්තා වෙයි.
මෙම වර්ධනය ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකාව අත්සන් කොට ඇති වෙළෙඳ ගිවිසුම් හතරකිනි. එනම්, ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම , පකිස්ථාන ශ්‍රීලංකා ගිවිසුම , දකුණු ආසියා ගිවිසුම සහ ආසියා ශාන්තිකර ගිවිසුම යි.
ඉන්දු ශ්‍රීලංකා වෙළෙඳ ගිවිසුමට භාණ්ඩ 4,883 ක් ඇතුළත් වන අතර මේ වසරේ මුල් මාස හය තුළ ඒ යටතේ මෙරටට කළ ආනයනවල වටිනාකම රුපියල් මිලියන 21,863 කි. එම කාලය තුළ මෙරටින් කළ අපනයන ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 52,338 කි. එනම් අපනයන ප්‍රමාණය ආනයන මෙන් සියයට 239 කි.
මීට අමතරව ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට භාණ්ඩ රාශියක් ගෙන්වා ඇති නමුත් ඒ සියල්ල ගෙන්වා ඇත්තේ වෙළෙඳ ගිවිසුමට ඇතුළත් නැති සහ බදු ගෙවා ගෙන්වන ආනයන වශයෙනි.
මෙම කාලය තුළ පකිස්ථාන ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම යටතේ රුපියල් මිලියන 1,338 ක ආනයන සිදුකරන විට අපනයනය කළ ප්‍රමාණය රුපියල් මිලියන 7,461 කි. අපනයන වටිනාකම ආනයන මෙන් සියයට 558 කි.
සෆ්ටා හෙවත් දකුණු ආසියා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ මෙම කාලය තුළ කර ඇති ආනයන වටිනාකම රුපියල් මිලියන 715 ක් වෙයි .අපනයනය රුපියල් මිලියන 2,723 කි. අපනයනය ආනයන මෙන් සියයට 381 කි .
ආසියා ශාන්තිකර නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ද මිලියන 2,723 ක ආනයන කරන විට සිදුකොට ඇති අපනයන ප්‍රමාණය මිලියන 28,579 කි. අපනයනය ආනයන මෙන් සියයට 1048 කි . එනම් දස ගුණයකි.
මෙම ගිවිසුම් හතර ම යටතේ එකතුව ගත්විට ආනයනය මිලියන 26,648 කි .අපනයනය මිලියන 93,739 කි. අපනයනය ආනයන මෙන් සියයට 352 කි. එකට තුනහමාරකි.
ශ්‍රී ලංකාව මෙතෙක් අත්සන් තබා ඇත්තේ මෙම ගිවිසුම් හතර පමණකි. අනෙක් රටවල් සමග ගිවිසුම් තවමත් සාකච්ඡා මට්ටමේ පවති යි.
( මුලාශ්‍ර : වෙළෙඳ සහ ආයෝජන ප්‍රතිපත්ති අමාත්‍යාංශය , .Economynext )