විදෙස් වලින් නිදහසේ මුදල් ගෙනත් විශේෂ තැන්පතු ගිණුම්වල යොදන්න තවත් මාස හයක කාලයක් – මහ බැංකුව නිවේදනය කරයි

 ශ්‍රී ලාංකිකයින් විදෙස් රටවල තැන්පත් කොට ඇති මුදල් මෙරට විශේෂ තැන්පතු ගිණුම්වල යෙදීමට දී තිබු කාලය ලබන අප්‍රේල් 07 දින දක්වා දීර්ග කොට ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

පසුගිය අප්‍රේල් 08 දින ආරම්භ කළ මෙම වැඩ සටහන යටතේ ඔක්තෝබර් 07 දා  වනවිට  ඇමෙරිකානු ඩොලර් මිලියන 272 ක් මෙරට ගිණුම්වල තැන්පත් කොට ඇති බව මහ බැංකුව කියයි. එමගින් මෙරට විදේශ සංචිත ඉහළ නැංවීමේ හැකියාව නිසා මහා බැංකුව මෙම තීරණය ගෙන තිබේ.

මෙලෙස තැන්පත් කරන මුදල් මීට පෙර ගැසට් කොට ඇති විදේශ විනිමය නීතිවලින් නිදහස් වෙයි. එමෙන් ම එම මුදල් පසුව ආපසු රැගෙනයාමට හෝ වෙනත් ආකාරයකින් භාවිත කිරීමට ඉඩ දී ඇත.

මේ සම්බන්ධයෙන් මහ බැංකුව නිකුත් කළ න්වෙදනයේ මෙලෙස සඳහන් ය.

විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීම සඳහා වලංගු කාලය දීර්ඝ කිරීම සහ එම ගිණුම්වල ඇති අරමුදල් ශ්‍රී ලංකාව තුළ රඳවා ගැනීම සඳහා වන අවසරය

රට තුළ ව්‍යාප්ත වූ කොවිඩ්-19 (Covid-19) වසංගත තත්ත්වයේ බලපෑම්වලින් මිදීම සඳහා ක්‍රියාත්මක ජාතික ප්‍රයත්නයට සහාය ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය විසින් 2020 අප්‍රේල් 08 දින විශේෂ තැන්පතු ගිණුම හඳුන්වා දෙන ලදී. ඒ අනුව, 2020 ඔක්තෝබර් 07 දින වන විට, විශේෂ තැන්පතු ගිණුම්වල ඇති මුළු තැන්පතු ප්‍රමාණය දළ වශයෙන් එ.ජ.ඩො. මිලියන 272ක් විය.

විදේශ විනිමය ඉතා විශාල ප්‍රමාණයක් රට තුළට ගෙන්වා ගැනීමට විශේෂ තැන්පතු ගිණුම් සතුව පවතින හැකියාව සහ රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම සහ සමස්ත ආර්ථිකය කෙරෙහි ඇතිවිය හැකි ධනාත්මක බලපෑම සලකා බලා ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය මත විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීම සඳහා වලංගු කාලය 2021 අප්‍රේල් 07 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

මීට අමතරව, එම විදේශ විනිමය රට තුළ රඳවා ගැනීමෙන් ඇතිවන යහපත් බලපෑම් සලකා බලා, ශ්‍රී ලංකා රජය, විශේෂ තැන්පතු ගිණුම් කල්පිරීමේ දී ලද මුදල් නියමිත කල්පිරීමේ දිනය ඉක්මවා පවත්වා ගැනීමට අදහස් කරන විශේෂ තැන්පතු ගිණුම් හිමියන්ට, එම විශේෂ තැන්පතු ගිණුම් බලයලත් වෙළෙඳුන් සමඟ සාමාන්‍ය තැන්පතු ලෙස අලුත් කර ඉදිරියට පවත්වා ගෙන යාමට අවසර ලබා දී ඇත. එලෙස ඉදිරියට පවත්වා ගෙන යනු ලබන විශේෂ තැන්පතු ගිණුම් බලයලත් වෙළෙඳුන් විසින් අදාළ බැංකුවල සාමාන්‍ය කාලීන තැන්පතු සඳහා ප්‍රදානය කරනු ලබන පොළී අනුපාත සඳහා පමණක් සුදුසුකම් ලබයි. කල්පිරීමේ දී, එම අරමුදල්,

i. විදේශ ව්‍යවහාර මුදල් බවට පරිවර්තනය කිරීම සහ ශ්‍රී ලංකාවෙන් පිටතට ආපසු යැවීම බාධාවකින් තොරව සිදු කළ හැකි ය.
ii. විශේෂ තැන්පතු ගිණුම් හිමියකු ආමුඛ ආයෝජන ගිණුමක් හෝ පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක් විවෘත කිරීම සඳහා සුදුසුකම් ලබයි නම් හෝ දැනට එවැනි ගිණුමක් පවත්වාගෙන යයි නම්, එවැනි ගිණුමකට මාරු කිරීම සඳහා අවසර ලැබේ.

ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති ඉහත තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය විධාන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලයලත් වෙළෙඳුන් (බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව) හට නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වන www.dfe.lk වෙත පිවිසීම මගින් විශේෂ තැන්පතු ගිණුම් පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගත හැකි ය.

Published Date: 

Tuesday, December 1, 2020

Leave a Reply

Your email address will not be published. Required fields are marked *