ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනයත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහත දමයි

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහත දමන බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය අද නිවේදනය කළේ ය.

ඔවුන් ශ්‍රී ලංකාවට අද ලබාදුන්නේ CCC+/C ශ්‍රේණිය යි. එය මීට පෙර ලබා දී තිබු B – සිට ශ්‍රේණියක් පහළ දැමීමකි.

කොවිඩ් 19 නිසා ශ්‍රී ලංකාවේ විදේශ ආදායම් මාර්ග බිඳ වැටී තිබීමත් , එයට පැහැදිලි විසදුම් ක්‍රියාමාර්ග පසුගිය අයවැය ලේඛනය මගින් ඉදිරිපත් නොවීමත් මෙලෙස ණය ශ්‍රේණිය පහත දැමීමට හේතු වූ බව එම ආයතනය කියයි.

2025 දක්වා කාලයේ දී ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඩොලර් බිලියන 4 ක් පමණ ණය ගෙවීමට සිදුව ඇති බවත් , රටේ විදේශ සංචිත මේ වනවිට බිලියන 6 කටත් වඩා අඩු වී ඇති තත්ත්වයක් තුළ ණය වාරික ගෙවීම විශාල ප්‍රශ්නයක් බවත් ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

2021 දී මෙරට ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 100 ක් ඉක්මවා යන බවත් , එම තත්ත්වය ඉදිරි වසර පහ තුළ ම පවතිනු ඇති බවත් , එම ආයතනය කියයි.

පසුගිය අයවැය ලේඛනය ඉදිරිපත් වීමෙන් පසුව ෆිච්ට් රේටින් සහ මූඩිස් යන ශ්‍රේණිගත  කිරීමේ ආයතන දෙක ම ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහ දැමීමට කටයුතු කළේ ය. ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ද ණය ශ්‍රේණිය පහළ දැමීම සමග ප්‍රධාන ශ්‍රේණිගත කිරීමේ ආයතන තුන ම එක ම ආකාරයේ තක්සේරුවක් ශ්‍රී ලංකාවට දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *