මානව ඛේදවාචක සහ ආර්ථික ව්‍යසන පිරුණු වර්ෂයක් දෙස ආපසු හැරී බැලීමක් – නිමල් සඳරත්න

මෙම වසරේ දී තරම් ගෝලීය ආර්ථිකය විනාශයට ලක් වූ තනි වර්ෂයක් මතක ඇති කාලයක තිබී නැත. එය මුල්‍ය හෝ ආර්ථික හෝ අර්බුදයක් නොවේ. එය ආර්ථික පසුබැස්මක් ද  නොවේ. එය ආර්ථික ව්‍යසනයක් සහ මානව ඛේදවාචකයකි. ලෝකය පුරා ආර්ථිකයන් කඩාකප්පල් වීය.බොහෝ රටවල ආර්ථික වර්ධනය හැකිලුනි.ගෝලීය ආර්ථික වර්ධනය ඍන වීය.

කොවිඩ් 19 වසංගතය ගෝලීය ඛේදවාචකයකි. එයින් ලෝකය පුරා මිලියන ගණනක් ජනයා මිය ගියහ. තවත් කෝටි ගණනක් රෝගයට ගොදුරු වුහ. කුසගින්න සහ ආහාර අහේනිය පැතිරී ගියේය.ජීවනෝපායට තර්ජන එල්ල වීය. රැකියා විරහිත බව , දිළිඳුකම සහ අසමානතා වැඩි කළේය.

වසංගතය  

වසර අවසන් වන විට වසංගතය පැතිරෙමින් , මරණ සංඛ්‍යා ඉහළ යමින් සහ ආර්ථික කඩාකප්පල් වෙමින් පැවතිණි. එන්නත් භාවිතය නිසා බලාපොරොත්තු දැල්වෙමින් තිබිණි. කෙසේ වෙතත්, කොවිඩ් 19 පාලනය කොට ගෝලීය ආර්ථිකය සහ ආර්ථික ජීවිතය යථා තත්ත්වයට හෝ දැන් විස්තර කරන ආකාරයට “ නව සාමාන්‍ය තත්ත්වයට “  හෝ පත් වීමට ලබන වර්ෂයේ අවසානය වනතෙක් කල් ගතවනු ඇත.

ආර්ථික දළ විශ්ලේෂණය  

ගතවුණු වර්ෂය දෙස ආපසු හැරී බලන විට පෙනී යන්නේ ගෝලීය වශයෙන් මෙන් ම ශ්‍රී ලංකාවට ද ,එය නරක ම වර්ෂයක් වූ බව යි. වෙළෙඳාම මත පදනම් වූ දිවයිනේ ආර්ථිකය හැකිලීමට, ගෝලීය ආර්ථිකය කඩාකප්පල් වීමෙන්  විශාල බලපෑමක් සිදු වීය.

රටේ කාර්මික අපනයන, සංචාරක ව්‍යාපාරය සහ  එයට සම්බන්ධ සේවා බරපතළ ලෙස හානියට පත් වීය. අඩුවෙන් ම හානි වුයේ කෘෂිකාර්මික නිෂ්පාදනයට වුව ද , නිෂ්පාදන අලෙවි කර ගැනීමේ සහ යෙදවුම් ලබාගැනීමේ අපහසුතාවලට මුහුණ දීමට එයට ද සිදු වීය. වෙළෙඳ හිගය අඩු වුව ද , ගෙවුම් ශේෂයේ හිගය වර්ධනය වීය. ලබන වසරේ රටේ ණය ගෙවීමට ඇති බැඳීම් සමග ගත්  කළ , රටේ විදේශීය මුල්‍ය වත්කම් ප්‍රමාණය බරපතළ මට්ටමකින් පහත වැටුණි.

ආර්ථික කාර්ය සාධනය 

ගෝලීය වශයෙන් වසංගතය පැතිරීම සහ එය රට තුළ ව්‍යාප්ත වීම නිසා , බලාපොරොත්තු විය යුතු ලෙසට ම, රටේ භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය බරපතළ ලෙස කඩාකප්පල් වීය. රටේ ආර්ථිකයේ දුර්වල කාර්ය සාධනයට මූලික හේතුව කොවිඩ් වුව ද , එය කොවිඩ් නිසා පමණක් සිදු වුවක් ලෙස සැලකීම නොමග යවන සුළු ය. කොවිඩ්වලට පෙර 2019 දී ම ඍන 1.6 ක ආර්ථික වර්ධනයක් වාර්තා කොට තිබිය දී මෙම වසරේ ද , බලාපොරොත්තු වුයේ ඍන වර්ධනයකි.

කාර්තු තුනක්

කොවිඩ්වලට පෙර මෙම වසරේ මුල් කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට දෙකක් පමණක් වීය. එය දෙවන කාර්තුවේ දී සියයට 16.3 දක්වා පහත වැටුණු අතර තුන්වන කාර්තුවේ දී 1.5 ක් දක්වා වර්ධනය වීය. කොරෝනා දෙවැනි රැල්ල නිසා කර්මාන්ත ශාලා වසා  දමන්නට සිදුවීමෙන් ආර්ථික වර්ධනය ද කඩාකප්පල් වීම නිසා හතරවන කාර්තුවේ ද ආර්ථිකය හැකිලීමක් සිදුවිය හැකිය.

2019 තුන්වන කාර්තුවේ දී වාර්තා වී තිබු ධන 2.4 ක ආර්ථික වර්ධනය හා සැසඳීමේ දී ,2020 තුන්වන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 1.5 ක් වනු ඇතැයි ගණන් බලා තිබේ. 2020 තෙවැනි කාර්තුවේ දී කෘෂිකාර්මික නිෂ්පාදිතය සියයට 4.3 කින් වර්ධනය වී ඇතත් , කර්මාන්ත අංශය  වර්ධනය වී ඇත්තේ සියයට 0.6 කිනි.  2019 තුන්වැනි කාර්තුව සමග සැසඳීමේ දී , මෙම කාර්තුවේ දී , නිෂ්පාදන කර්මාන්ත සියයට 5.3 කින් සහ සේවා සියයට 2.1 කින් වර්ධය වී තිබීම කැපී පෙනෙන කාරණයකි.

ප්‍රතිඵලයක් ලෙස වෙනත් බොහෝ රටවල මෙන් ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ද , මෙම වසර තුළ හැකිලීමක් පෙන්නුම් කරනු ඇත.

අංශ

ආර්ථිකයේ අංශ තුන හොඳින් ක්‍රියාත්මක වී නැත. දෙවන කාර්තුවේ දී ආර්ථිකයේ අංශ තුනෙහි ම හැකිලීමක් පෙන්නුම් කොට ඇත. කෘෂිකර්මය සියයට 5.9 කින් ද, කර්මාන්ත සියයට 23.1 කින් ද, සේවා සියයට 12.9 කින් ද හැකිලී ඇත.

2020 වර්ෂය තුළ අඩුවෙන් ම බලපෑමට ලක්ව ඇත්තේ කෘෂිකර්ම අංශය වන අතර වැඩි ම බලපෑමට ලක්ව ඇත්තේ සේවා අංශය යි. කර්මාන්ත අංශයට විශාල පසු බැස්මකට ලක්වීමට සිදු වුව ද, ඇතැම් අපනයන කර්මාන්ත නව ජාත්‍යන්තර ඉල්ලුම්වලට අනුගත වීම මගින් තරමක් දුරට නැවත නැගිටීමක් පෙන්නුම් කරයි.

අපනයන

ගෝලීය කොවිඩ් වසංගතය වසරේ මුල සිට ම ගෝලීය වෙළෙඳාම අවුල් කළේය. ඇඟලුම් , ටයර් සහ සෙරමික් වැනි රටේ කාර්මික අපනයන , වසරේ දෙවන කාර්තුවේ සිට බරපතළ ලෙස බලපෑමට ලක් වීය. අභියෝගයට මුහුණ දෙමින් අපනයන කර්මාන්ත කළේ පුද්ගල ආරක්ෂණ උපකරණ සඳහා වර්ධනය වූ නව ජාත්‍යන්තර ඉල්ලුමට අනුව නිෂ්පාදන විවිධාන්ගිකරණය කිරීම යි. එහි ප්‍රතිඵලයක් ලෙස මාසික අපනයන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා , එනම් කොවිඩ්වලට පෙර අපනයන පැවති මට්ටම දක්වා ඉහළ ගියේ ය.

අපනයන අඩු වී ඇත

එසේ වුව ද , එබඳු විවිධාන්ගිකරන  ක්‍රියා මාර්ග මගින් අපනයන වල පුනරුදයක් ඇති වුව ද, 2019 මුල් මාස දහයේ ඩොලර් බිලියන දහයක් වූ අපනයන වටිනාකම මෙම වසරේ මුල් මාස දහයේ දී  ඩොලර් බිලියන 8.3 දක්වා සියයට 16 කින් පහත වැටී ඇත. මෙම වසරේ අපනයන ආදායම ඩොලර් බිලියන 11.5 ක්  වනු ඇතැයි  අපේක්ෂා කළ ද , කොවිඩ් දෙවන රැල්ල මගින්, නිෂ්පාදනය කඩාකප්පල්වීමත් , විදේශීය ගැනුම් කරුවන්ගේ ඉල්ලුම දුර්වල කිරීමත් නිසා නිෂ්පාදනය විස්තාපනය වීමත් හේතුවෙන් 2020 දී අපනයන ආදායම ඩොලර් බිලියන දහයක් පමණක් වනු ඇත.

වෙළෙඳ හිගය

2019 වර්ෂයේ ඔක්තෝබර් මාසය අවසන් වනවිට ඩොලර් බිලියන 6.45 ක්ව තිබු වෙළෙඳ හිගය , 2020 ඔක්තෝබර් අවසානය වන විට ඩොලර් බිලියන 4.85 ක් දක්වා මේ වසරේ දී අඩු වී ඇත. වසරේ මුල් මාස දහයේ දී ඇති වූ මෙම  ඩොලර් මිලියන 1.6 ක වෙළෙඳ හිගයේ අඩු වීම සැලකිය යුතු එකක් වුව ද , ගෙවුම් ශේෂයේ හිගය 2020 ඔක්තෝබර් අවසානය දක්වා කාලයේ දී ඩොලර් බිලියන 2.1 කින් වැඩි වී ඇත්තේ , සංචාරක ව්‍යාපාරයේ ආදායම් විශාල ලෙස පහත වැටීමත් , ප්‍රාග්ධනය ශුද්ධ ලෙස ඉවත ගලා යාමත් හේතුවෙනි.

ගෙවුම් ශේෂය

පසුගිය වසරේ ගෙවූ ශේෂයේ දක්නට ලැබුණු ඩොලර් මිලියන 377 ක කුඩා අතිරික්තයට වෙනස් ව, මෙම වසරේ ගෙවුම් ශේෂයේ ඩොලර් බිලියන දෙකේ සිට 2.5 දක්වා වූ හිගයක් ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. විදේශ වත්කම් අවදානම් මට්ටමකට වැටී තිබිය දී මෙම වසරේ ගෙවුම් ශේෂය වර්ධනය වීම ආර්ථිකයට බරපතළ අභියෝගයක් වනු ඇත.

විදේශීය මුල්‍යය

රටේ අපනයන සහ සංචාරක ව්‍යාපාරයේ ඉපයීම් බරපතළ ලෙස කඩා වැටී තිබිය දී , විදේශීය මුල්‍යය මෙම වසරේ දී රට මුහුණ දෙන බරපතළ ප්‍රශ්නයක් විය හැකි ය. සංචිත පහළ වැටීමෙන් පෙන්නුම් කරනුයේ 2021 දී ගෙවීමට ඇති ණය ගෙවා දැමීමේ අපහසුතාවයකට මුහුණ දෙන බව යි.

නොවැම්බර් මස අවසානය වන විට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.9 දක්වා පහත වැටී තිබිණි.

මෙම වසරේ දකින්නට ලැබුනේ විදේශ සංචිත පහත වැටීමේ ප්‍රවනතාවකි.  ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ඩොලර් බිලියනයක් ආපසු ගෙවීමෙන් පසුව ඔක්තෝබර් මස අවසානයේ විදේශ සංචිත පැවතියේ ඩොලර් බිලියන 5.9 ක මට්ටමේ ය. නොවැම්බර් අවසානය වන විට එය ඩොලර් බිලියන 4.9 දක්වා පහත වැටුණි. විශාල ප්‍රාග්ධන ගලා  ඒමක් සිදු නොවන්නේ නම් 2020 අවසානය වන විට එය ඩොලර් බිලියන හතරකට වඩා අඩු වනු ඇත.

විදේශ ණය

වර්ෂය අවසාන වන විට පවතින බරපතළ ප්‍රශ්නය වන්නේ අපට අපගේ විදේශ ණය ගෙවීමට හැකිවේද යන්න යි. ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය 2021 දී  ඩොලර් බිලියන හතරේ සිට 4.5 දක්වා වන බවත්, සහ 2021 – 2024 කාලයේ ඩොලර් බිලියන 23 ක් ගෙවීමට ඇති බවත් , ගණන් බලා තිබේ. ගෙවුම් ශේෂය දුර්වල වීමේ ප්‍රවනතාවය වර්ධනය වුවහොත් රටේ ණය ගෙවීමට ඇති හැකියාව තර්ජනයට ලක් වෙයි.

සාරාංශය

ආර්ථික කටයුතු, ජාත්‍යන්තර වෙළෙඳාම සහ සංචාර ගෝලීය වශයෙන් කඩාකප්පල් වීම ,දිවයිනේ අව කාර්ය සාධනයකින් යුතු ආර්ථිකය කෙරෙහි බරපතළ බලපෑමක් සිදු කරයි. කාර්මික අපනයන, සංචාරක ව්‍යාපාරය සහ සේවා බරපතළ ලෙස කඩා වැටීමෙන් ආර්ථිකය සංකෝචනය වනු ඇත. වසංගතයේ අඩු ම බලපෑමට ලක්ව ඇත්තේ කෘෂිකාර්මික අංශය වුව ද, එම අංශයේ නිෂ්පාදනය අඩු ය. මෙම වසර තුළ , බොහෝ දෙනාගේ රැකියා සහ ජීවනෝපාය අහිමි වී ඇති අතර , දුප්පත්කම සහ අසමානතාත්, සාගින්න සහ ආහාර අහේනියත් වැඩි වී තිබේ.

වෙළෙඳ හිගය අඩු වී ඇතත් ,සංචාරක ව්‍යාපාරයේ ආදායම් විශාල ලෙස පහත වැටීමත් , ප්‍රාග්ධනය ඉවතට ගලයාමත් නිසා , ගෙවුම් ශේෂයේ හිගය වර්ධනය වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස නොවැම්බර් අවසානය වන විට , විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.9  ක් වැනි අවදානම් මට්ටමකට පහත වැටී ඇත.

අවසන් වචනය   

පසු බැසීම් සහිත වසරක් ලෙස මෙම වසර හැඳින්වීම අඩු තක්සේරුවකි. එය ගෝලීය ව්‍යසනයක් සහ බලාපොරොත්තු රහිත මානව ඛේදවාචකයක් වූ වසරකි. ගෝලීය වශයෙන් මෙන් ම , දිවයිනේ ද, කොවිඩ් වසංගතය පාලනය කිරීම ලබන වසරේ ආර්ථික පුනර්ජීවනයක් සඳහා පුර්ව කොන්දෙසියකි.

( සන්ඩේ ටයිම්ස් පළවූ ලිපියක පරිවර්තනයකි )

පරිවර්තනය – සී ජේ අමරතුංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *