කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ඉහළම අගය අද (18) වාර්තා කළේය.
මේ වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු සිදු වූ 10 වැනි දිනය අද (18) වූ අතර, දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,922.66 ලෙස දැක්විණි.
මීට පෙර සියලු කොටස් මිල දර්ශකය ඉහළම අගයක් වාර්තා කරන ලද්දේ 2011 වසරේ පෙබරවාරි 11 වැනිදා ය. එදින, දිනට නියමිත ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,811.80ක් ලෙස සටහන්ව තිබිණි.
දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 188.09කින් ඉහළ ගිය අතර කොළඹ කොටස් හුවමාරුවේ වසර 35ක ඉතිහාසයේදී ඉහළම අගයක් වාර්තා කළ 8වැනි අවස්ථාව මෙය විය.
කොළඹ කොටස් වෙළෙඳපොළේ එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය ද අද (18) ඒකක 3,000 සීමාව ඉක්මවා ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේදී ඒකක 3,003.30ක් ලෙස දැක්විණි. එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය අද ඒකක 100.32කින් ඉහළ ගිය අතර එය 3.46%ක වර්ධනයකි.
දිනයේ අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 12 ඉක්මවූ අතර ගනුදෙනු පිරිවැටුම අඛණ්ඩව රුපියල් බිලියන 12.18ක් ලෙස වාර්තා වූ දෙවැනි දිනය ඊයේ විය.
මේ අතර අද දිනය තුළ කොටස් ගනුදෙනු 67,153 ක් වාර්තා වී තිබූ අතර එය ඉතිහාසයේ තනි දිනක් තුළ සිදු වූ වැඩිම ගනුදෙනු සංඛ්‍යාව ලෙස සටහන් විය.
(හර්ෂණ තුෂාර සිල්වා) කියවන්න...