රනිල් අගමැති ලෙස මුල්ගල තැබූ දකුණු ආසියාවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව ජනපති අතින් ඊයේ විවෘත වෙයි

දකුණු ආසියාවේ විශාලතම ටයර් සහ රේඩියර් ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව වන ‘ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගම’ (Ferentino Tyre Corporation PVT Ltd) ජනාධිපතිගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හොරණදී ඊයේ (14) පස්වරුවේ විවෘත කෙරිණි.හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයට අයත් අක්කර 155ක භූමියක කර්මාන්ත පරිශ්‍රය ස්ථාපනය කර තිබෙන අතර මෙම කර්මාන්ත ශාලාවේ පළමු අදියර සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100 ක් ආයෝජනය කර තිබේ.

මෙම කර්මාන්තශාලාව සඳහා අනුමැතිය සහ ඉඩම් ලබාදීම 2016 දී සිදුකරන ලද්දේ පසුගිය රජය යටතේ ය. කර්මාන්තශාලාවට මුල්ගලතබන ලද්දේ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

එම අවස්ථාවේ දී මෙම ව්‍යවසායකයා සම්බන්ධයෙන් මෙන්ම ව්‍යාපෘතියට ඉඩම් ලබාදීම පිළිබඳව ද බරපතළ ලෙස ප්‍රශ්න  කෙරිණි. 99 අවුරුදු බදු පදනම යටතේ ලබාදුන් මෙම ඉඩමට බදු වශයෙන් නියම කොට තිබු මුදල රුපියල් මිලියන 170 කි . එම මුදල එකවර ගෙවා ආයෝජකයා ඉඩම වෙන්කර ගත්තද විවේචකයන් කීවේ එම මුදල ප්‍රමාණවත් නැති බව යි . එම චෝදනාවලට පිළිතුරු දීමට එවකට ඇමති රාජිත සේනාරත්න මහතා නිවේදනයක් ද නිකුත් කළේය.

ඊයේ ජනාධිපතිතුමා විසින් විවෘත කරන ලද්දේ එදා වැඩ ආරම්භ කරන විට  දැඩි විවේචනයට ලක් වූ එම කර්මාන්ත ශාලාවයි.

පැරණි විවේචන අමතක කොට සියලු ජනමාධ්‍ය මෙම ව්‍යාපෘතියේ වටිනාකම වර්නන කොට තිබිණි.

යුරෝපා තාක්ෂණය සහිත ලොව නවීනතම යන්ත්‍රෝපකරණ භාවිතයෙන් නිෂ්පාදන සිදු කරන අතර SUV රථ සඳහා විශේෂ කාණ්ඩයක්, මෝටර් රථ, යතුරු පැදි, ත්‍රී රෝද ඇත‍ෙළු ලෝක ‌ෙවළෙඳපොළට අවශ්‍ය ටයර් වර්ග රැසක් මෙහි නිපදවනු ලබන බව වාර්තාවල දැක්විණි.

මෙහි නිෂ්පාදනයෙන් 80%ක් අපනයනය කෙරෙන අතර ඉතිරි 20% දේශීය වෙළෙඳපොළට සැපයේ. සමාගමේ ප්‍රථම නිෂ්පාදන තොගය මේ මස අමෙරිකාවට අපනයනය කිරීමට නියමිත ය.

මෙරට අපනයන වෙළෙඳපොළ ප්‍රවර්ධනය, සෘජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය සහ දේශීය රබර් වගාකරුවන්ට ඉහළ මිලක් හිමිවීම කර්මාන්ත ශාලාවෙන් හිමිවන ප්‍රතිලාභ අතර වේ.

නිෂ්පාදන ක්ෂේත්‍රයේ පැවති සම්මත සීමාවන් අභිබවා යමින් තාක්ෂණික අංශවල තනතුරු සඳහා නිසි සුදුසුකම් සපිරි කාන්තාවන් බඳවා ගැනීමට ද ආයතන කළමනාකාරිත්වය පියවර ගෙන තිබෙන අතර කර්මාන්ත ශාලාව පරිසර හිතකාමී ලෙස ඉදිකිරීම ද මෙහි ඇති විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *