ජපන් ආධාර එපා කියූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘති වෙන අය සමග කරන්න කැබිනට් අනුමැතිය

වියදම් වැඩි බව කියමින් හදිසියේ නවතා දමන ලද, ජපානයේ සහන ණය යටතේ කරන්නට සැලසුම් කොට තිබු කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘති වෙනත් පාර්ශවයන් සමග ගිවිසුම් ගත වී ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ සැහැල්ලු දුම්රිය මාර්ග හතරක් ඉදි කිරීමට නියමිතව ඇත. කණු මතින් දුවන සැහැල්ලු දුම්රිය වන මෙම මාර්ග ඉදි කිරීමට යන්නේ රාගම සිට කොළඹ , මොරටුව සිට කැලණිය, කොට්ටාව සිට තලවතුගොඩ හරහා හුණුපිටිය සහ අතුරුගිරියේ සිට රාජගිරිය හරහා කොටුව වශයෙන් මාර්ග හතරක් ලෙස ය.
මෙයින් පළමු මාර්ගය අතුරුගිරිය සිට කොටුව දක්වා ඉදිකිරීම සඳහා ජපන් ආධාර ලබා ගැනීමට කටයුතු කොට තිබුණේ වසර දොළහක සහන කාලයකින් පසුව සියයට එකක පොලියක් සමග වසර හතළිහකින් ගෙවීමේ පදනම මත ය. එහි සැලසුම් සියල්ල නිම කොට ඉදිකිරීම් ඇරඹීමට සුදානමින් සිටිය දී ජනාධිපති ලේකම් වරයාගේ නියෝගයකින් නවතා දමන ලද්දේ වියදම් අධික බව කියමිනි.
එම දුම්රිය මාර්ග සියල්ල වෙනත් පාර්ශව සමග හවුල් ව්‍යාපාර ලෙස කරගෙන යාමට පෙරේදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමි වී තිබේ.