“ආනයනය සීමා කිරීමට තීන්දුවක් ගෙන නෑ‘‘ – මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්

ආනයනයන් තවදුරටත් සීමා කිරීමට මෙතෙක් තීන්දුවක් ගෙන නැතැයි මුදල්, ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

දැනට පවතින තත්වය අනුව එවන් තීරණයක් ගැනීමට අවශ්‍ය නොවනු ඇතැයි ද කබ්රාල් මහතා සඳහන් කළේය.

මේ වන විටත් භාණ්ඩ ගණනාවක් ආනයනය කිරීම සීමා කර ඇති බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඒ තුළින් රුපියල ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාම රජයේ අරමුණ බව ද කීවේය.

තවදුරටත් ආනයන සීමා කිරීමෙන් එම කාර්යය පහසුවන බව මහබැංකුව යෝජනා කර තිබීම නිසා යම් ආන්දෝලනයක් මතුවුණත් එවන් තීරණයක් ගෙන නැතැයි අජිත් නිවාඩ් කබ්රාල් මහතා කීවේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ආනයන තවදුරටත් සීමා කළොත් ආර්ථිකයට පහසුවක් විය හැකි බව මහබැංකුවෙන් යෝජනා කළත් ඒ ගැන තීරණ ගනු ලබන්නේ ඒ වෙනුවට ගත හැකි විකල්ප තිබේද, තවත් දේ කළ හැකිද ආදිය සළකා බැලීමෙන් පසුව යැයි රාජ්‍ය ඇමතිවරයා කීය.

මේ අවස්ථාවේ සියලු දෙනා වගකීමකින් කටයුතු කළ යුතු බව කී කබ්රාල් මහතා අවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමේදී දැන්ම ඊ ළඟ අවුරුද්දටම අවශ්‍ය දේවල් ආනයනය නොකිරීම ආදී සීමා දමාගෙන කටයුතු කිරීම වැදගත් බව ද හෙතෙම පැවසීය.

එමෙන්ම අපනයනකරුවන් ලබාගන්නා මුදල් සීමිත කාලයක් තුළ රුපියල් බවට පරිවර්තනය කළ යුතු බව කී රාජ්‍ය අමාත්‍යවරයා එවිට රට තුළ ඩොලර් ප්‍රමාණය ඉහළ මට්ටමක පවත්වාගත හැකි බව ද කීවේය.

රුපියල සියයට 39කින් කඩා වැටී ඇතැයි කී කබ්රාල් මහතා දැන් කළ යුත්තේ එම තත්වය වෙනස් කිරීම බව ද පැවසීය.

කොවිඩ් වසංගත තත්වය හමුවේ එය අසීරු වුවත් රජයට එම අරමුණ ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

ඩයනා උදයංගනී

ලංකාදීප 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *