නව මුදල් ඇමති බැසිල්ගේ පළමු පනත කළු සල්ලිවලට සහන දෙන්න පාර්ලිමේන්තුවට

නව මුදල් ඇමතිවරයාගේ ප්‍රමුඛතා කාර්යයක් බවට පත්ව ඇතැයි, කියන, විදේශයන්හි සඟවා ඇති කළු සල්ලි ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා බදු සමාව ලබාදෙන පනත් කෙටුම්පත ඊයේ ( 20 දා ) පාර්ලිමේන්තුවේ සභාගත කොට ඇති බව වාර්තා වෙයි.
මෙම පනත මගින් ලබාදෙන සමාව මත ශ්‍රී ලාංකිකයින් සතු කළු සල්ලි විශාල ප්‍රමාණයක් මෙරටෙහි ආයෝජනය කරනු ඇතැයි නව මුදල් ඇමතිවරයා බලාපොරොත්තු වන බව කියති.
කුමන හෝ ආකාරයකට උපයාගෙන සඟවාගෙන සිටින මුදල් කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ආයෝජනය කිරීමට මෙම පනත මගින් අවස්ථාව සලසා දී ඇත. එලෙස ආයෝජනය කරන මුදල් සඳහා සියයට එකක නාමික බද්දක් පමණක් ගෙවීමට අවස්ථාව ලබා දෙනු ඇත.
ඊයේ සභාගත කළ මෙම පනතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති අතර එය ඉදිරි සති කිහිපය තුළ පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට නියමිත ය.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා කියන්නේ සිරගත කළ යුතු දුෂිතයන්ට සහ ඔවුන්ගේ මුදල්වලට මෙම නීතිය මගින් සම්පුර්ණ රැකවරණය සලසා ඇති බව යි.
මෙම පනතට එරෙහිව අධිකරණයට යන බව ද ඒ මහතා කියයි.
ආණ්ඩුව අලුත් අවුරුදු නිවාඩුවට පෙර දින කොළඹ වරාය නගර කොමිසන් සභා පනත් ගෙන ආ ආකාරයට ම, මෙම පනත ද ඉදිරිපත් කොට ඇත්තේ නිවාඩු දින ගණනාවක් ඉදිරියට ඇති මොහොතක් යොදාගෙන ය. අධිකරණය ඉදිරියට යාමට ඉඩ දී ඇති දින හතක කාලයෙන් දින ගණනාවක් මෙම නිවාඩු නිසා ජනතාවට අහිමි වෙයි.