කොළඹ කොටස් වෙළෙඳ පොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,000 කඩඉම පසුකරයි

කොළඹ කොටස් ‌වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,000 සීමාව ඉක්මවා යාමට අද (01) දිනයේ දී සමත් විය. මේ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,163.13 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 165.53 ක හෙවත් 1.84% ක වැඩි වීමකි.

මීට පෙර අවස්ථා කිහිපයක දීම දෛනික ගනුදෙනු අතරවාරයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,000 සීමාව ඉක්මවා යනු දැකිය හැකි වුවද ඒ සෑම අවස්ථාවක දීම දිනයේ ගනුදෙනු අවසානයේ දී එයට ඒකක 9,000 සීමාවෙන් මෙපිට නැවතීමට සිදුවිය. ඊයේ (01) දිනයේ දී ඒකක 8,997.60 ක් ලෙසින් සියලු කොටස් මිල දර්ශකය සටහන් වීම එහි ආසන්නතම අවස්ථාවයි.

අද දිනයේ දී රු. බිලියන 14.56 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය. මෙහිදී වැඩිම දායකත්වය එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඒල්සී කොටස් ගනුදෙනු හරහා ලැබුණු අතර එය රු. බිලියන 4.7 කි. එසේම බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ රු. බිලියන 2.92 ක වටිනාකමකින් යුතු කොටස් අද දිනයේ දී හුවමාරු වී තිබුණි.

මීට අමතරව හේලීස් (රු. මිලියන 996.14), LOLC (රු. මිලියන 673.81) හා රෝයල් සෙරමික් (රු. මිලියන 670.38) සමාගම්වල කොටස් ගනුදෙනුවලින් දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් අද දිනයේ දී ලබා දී ඇත.

අද දෙරණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *