අගාධයෙන් ගොඩඑන්න උත්තරයක් – ආචාර්ය සරත් කටුකුරුන්ද

විදේශ විනිමය සංචිත හිඟය අද අපේ රට මුහුණ දී සිටින බරපතළ ආර්ථික ප්‍රශ්නයකි. ඒ ආර්ථික ප්‍රශ්නයෙන් දේශපාලන හා සමාජ ප්‍රශ්න ද මතු වෙයි. මේ ලිපිය ඒ පිළිබඳව සාකච්ඡා කෙරෙන්නකි. අප මේ සාකච්ඡාව කරන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශ ප්‍රධානි, ආචාර්ය සරත් කටුකුරුන්ද සමගය. විදේශ විනිමය සංචිත හිඟ වීමට හේතු සමග ඒවා යළි ඉහළ නංවාගත හැකි ක්‍රම ආචාර්ය කටුකුරුන්ද මෙසේ විස්තර කරයි.
රටක් සෙසු රටවල් සමග ආර්ථික ගනුදෙනු කරද්දී ඒ සඳහා නැති නම් ඒ ගෙවීම් සඳහා භාවිත කරන්නේ විදේශ විනිමය සංචිතය. 2020 අවසන් වෙද්දී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් මිලියන 5,664කි. එවකට තිබූ සමස්ත විදෙස් වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 8,521ක් පමණ විය. 2020 පැවැති ඒ සංචිත ප්‍රමාණවත් වූයේ මාස හයකුත් සති හතරකටය. අද වන විට පවතින සංචිත ප්‍රමාණය මාස තුනකටවත් ප්‍රමාණවත් නොවේ.