දෙසැම්බරයේ උද්ධමනය 12.1 දක්වා ඉහළට – ශ්‍රී ලංකා මහ බැංකුව

කොළඹ පරිභෝගික මිල දර්ශකය අනුව දෙසැම්බර් මාසයේ උද්ධමනය සියයට 12.1 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

ඒ පිලිබඳ මහ බැංකු නිවේදනයේ මෙසේ සඳහන් ය.

2021 දෙසැම්බර් මස උද්ධමනය – කො.පා.මි.ද.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 9.9හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 12.1 දක්වා ඉහළ ගියේය. මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි. දර්ශකයෙහි වෙනස, 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 5.3හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 6.0 දක්වා ඉහළ ගියේය. ගැඹුරු විශ්ලේෂණයකින් අනතුරුව පෙනී යන්නේ වත්මන් උද්ධමනය සදහා ප්‍රධාන වශයෙන් සැපයුම් අංශයේ සාධක බලපා ඇති බවයි. මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ඉතා ඉක්මනින් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ප්‍රකාශයට පත් කරනු ඇත.

උද්ධමනය සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 17.5හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 22.1 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 6.4හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 7.5 දක්වා ඉහළ ගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *