වර්ෂ 2021 දී මෙරටේ ආර්ථික ක්‍රියාකාරීත්වය ගැන සමාලෝචනය කිරීමේදී අංශ කීපයක් කෙරෙහි අවධානය යොමු විය යුතුය. සාර්ව ආර්ථික කළමනාකාරීත්වය හා සංවර්ධන අරමුණු කරා ළඟා වීම යන මූලික ප්‍රස්තුත දෙක මත අපට එම සාකච්ඡාව ඉදිරියට ගෙන යා හැකිය. සාර්ව ආර්ථික කළමනාකාරීත්වය පිළිබඳ අවධානය යොමු කිරීමේදී පැහැදිලිව දැකගත හැකි තත්ත්වය වූයේ පැවති මුදල් හිඟය හේතුවෙන් ආර්ථික කටයුතු නිසි පරිදි පවත්වාගෙන යෑම සඳහා මහ බැංකුවට මැදිහත්වීමට සිදු වූ බවය. ඒ මුදල් අච්චු ගැසීම හරහාය. එය එක්තරා දුරකට සිදු කළ හැකි වුවත් අඛණ්ඩව පවත්වාගෙන යා නොහැකිය. මන්ද එහි ඇති අහිතකර ප්‍රතිවිපාක මතු වෙන විට ඊට වඩා භයංකර තත්ත්වයක් උදා විය හැකි බැවිනි. එසේ නොකර පැවති ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගත හැකි තත්ත්වයක්ද නොවිණි. එම අර්බුදයට බලපෑ එක් සාධකයක් වූයේ කොවිඩ් ය.
එම වසංගතය පාලනය කිරීම වෙනුවෙන් ධනවත් රටවලට ඒවායෙහි දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10ක් දක්වා මුදල් වියදම් කිරීමට හැකි විය. දියුණු වෙමින් පවතින රටවලට ද දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දෙකත් තුනත් අතර මුදල් ප්‍රමාණයක් ඒ සඳහා යෙදවීමට පිළිවන් විය. අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ දත්තවලට අනුව ලංකාවට ඒ අරබයා වෙන් කිරීමට හැකි වී තිබෙන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.7 ක මුදල් ප්‍රමාණයකි. එයින් ගම්‍ය වන්නේ මේ සුවිශේෂ වසංගත තත්ත්වය වෙනුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් වියදම් කළ තරමට හෝ මුදල් වැය කිරීමට ලංකාව අසමත් වී ඇති බවය. කියවන්න...