බදු වැඩි කිරීමට තීරණය කළේ කැමැත්තෙන් නොවේ – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

අමාරු කාලේ අමාරු තීරණ ගන්න වෙනවා

අසීරු කාලයේ අසීරු තීන්දු ගැනීමට සිදු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. එම තීරණ ගන්නේ කැමැත්තෙන් නොවන බව ද ජනාධිපතිවරයා කී ය.

රට ඉතා අසීරු කාලයකට මුහුණ පා සිටින බව කී ජනාධිපතිවරයා වෙන කවුරුත් ඉදිරිපත් නොවූ අවස්ථාවක තමා ඒ අසීරු කටයුත්ත භාරගත් බව කීය.

අසීරු තත්ත්වය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන්න ආණ්ඩුව සූදානම් බවද ජනාධිපතිවරයා කීය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය  කඩා වැටීමට ප්‍රධාන වූ හේතු තුනක් පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම ප්‍රකාශයේ දී සඳහන් කළේය.

” 2019 නොවැම්බර් මාසයේදී මේ රටේ බදු විශාල ලෙස අඩු කළා. එවිට රජයේ ආදායම 8.5%කට අඩු වුණා. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම ගිවිසුම්වලින් ඈත් වෙලා ආධාර ලබා දීමට නොහැකි බව ප්‍රකාශ කළා.

අපිට රුපියල් බිලියන 600ක්, 700ක් විතර පමණ ඒ වසරේ අහිමි වුණා. ඒ එක්කම කොවිඩ් වසංගතයටත් අපිට මුහුණ දීමට සිදු වුණා. ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන හේතු වුණේ මෙම තත්ත්වයයි.

අපේ ප්‍රාථමික අය වැයේ අතිරික්තයත් ලබාගත යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට දැනුම් දුන්නා. ඔවුන්ගේ සහාය අවශ්‍ය නිසා අපිත් එයට එකඟ වුණා.යනුවෙන් ද ජනාධිපතිවරයා කීය.

සෘජු බදු අයකිරීම් සියයට 20කට වඩා ඉහළදැමිය යුතු බවට IMF සංවිධානය පෙන්වා දුන් බව ජනාධිපතිවරයා පවසයි.

ඒ අනුව 2026 වනවිට දළ දේශීය නිෂ්පාදනය සියයට 14.5 ත් සියයට 15 ත් අතර ආදායම ලබාගැනීමේ ඉලක්කය කරා යෑම සඳහා 100,000ට වැඩි ආදායමක් උපයන පුද්ගලයින් මත ආදායම් බදු අයකිරීමට තීරණය කළ බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

එම තීරණයෙන් ඉවත්වුවහොත් IMF ආධාර නොලැබීමේ අවදානමක් පවතින බවද ජනාධිපතිවරයා පවසයි.

IMF වෙතින් සහතිකයක් නොලැබුණහොත් ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර සංවිධානවලත් සහයෝගය ලබාදෙන රටවල්වලත් ආධාර නොලැබෙන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එසේ වුවහොත් නැවත පෝලිම් යුගයක් ඇතිවිය හැකිවිය හැකි බවද ජනපති පවසයි.

ඉදිරියේදී පවතින තත්ත්වයටත් වඩා අමාරු කාලයක් ඇතිවන බවද ජනපති පෙන්වාදෙයි.

ඒ අනුව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අකමැත්තෙන් වුවද සමහර තීරණ ගැනීමට සිදුවන බවය.

කෙසේ වුවද එම තීරණ පිළිබඳව විටින් විට යළි සලකා බැලීමක් සිදුකරන බවද ජනපති පවසයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සාර්ථක කිරීම සහ මහ කන්නය තුළින් වැඩි අස්වැන්නක් ලබාගෙන ඉන් ලැබෙන ආර්ථික වාසි ලබා ගැනීම සිය අරමුණ බවද ජනපතිවරයා සිය ප්‍රකාශයෙන් වැඩිදුරටත් පෙන්වා දුනි.

මෙම අමාරු තීරණ පිළිබඳව පසුබිම ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඒවා පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට ආණ්ඩුව සූදානම් බවද ජනපතිවරයා සිය ප්‍රකාශයේ අවසානයේ වැඩිදුරටත් පැවසීය.

මේ අතර ශ්‍රී ලංකාවේ උද්ධමනය මේ වනවිට සියයට 70ත් 75ත් අතර අගයකට ගොස් ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

පසුගිය වසර දෙක තුළදී බිලියන 2300ක් මුදල් මුද්‍රණය කිරීම මෙලෙස උද්ධමනය ඉහළ යාමට එයට මූලිකම හේතුව වී ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *