ශ්‍රී ලන්කන්, විදුලිය, ඛනිජ තෙල් පාඩුව කෝටි හාර ලක්ෂයට ළඟාවෙයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ලංකා ඛනිජ තෙල් සංස්ථාව හා විදුලිබල මණ්ඩලය මේ වසර අවසානය වනවිට රුපියල් කෝටිහාරලක්ෂයක පමණ (බිලියන 4000)  පාඩුවක් ලබනු ඇතැයි රජය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මේ වනවිට වැඩිම පාඩුවක් ලබා ඇත්තේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවයි. එම  සංස්ථාව ලබා ඇති පාඩුව රුපියල් කෝටි එක්ලක්ෂ පන් දහස් හත්සියයකි.

ඊට පසු ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් කෝටි හැත්තෑ නව දහස් නව සියයක්ද ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි විසි හය දහස්  එක සියයක්ද පාඩු ලබා ඇත.

මේ ආයතන ප්‍රතිව්‍යුහගත කර රටට බරක් නොවන තත්වයකට ගෙන ඒමට රජය කටයුතු කරන බවත් මේ සඳහා රැඩිකල් වෙනස්කම් ගණනාවක් කරන බවත්  එම වාර්තාවේ සඳහන් වේ.

මේ ආයතනවල පාඩුව වසර ගණනාවක් තිස්සේ සෘජු හා වක්‍ර ලෙස දැරුවේ මහජනතාව බව පෙන්වා දෙන වාර්තාව මෙම බදු බර ජනතාව මත පැටවීම මින් ඉදිරියට නොකිරීම  රජයේ  ප්‍රතිපත්තියවී ඇතැයිද   සඳහන් කළේය.

මේ අතර පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිව්‍යුහගත කිරීමට හෝ වසා දැමීමටද  සමාන කාර්යයක නිරත වන ආයතන ඒකාබද්ධ කිරීමටද  රජය තීරණය කර ඇත.

රජයේ පුනරාවර්තන වියදම් අඩු කිරීම හා අනවශ්‍ය වියදම් කපා ගැනීම සඳහා  වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ආර්ථික අර්බුදයට කඩිනම් විසඳුම් ලබාගත හැකි සෘජු හා කඩිනම් ප්‍රතිචාර ලැබෙන ආයෝජන ස්වරූපයේ ව්‍යාපෘති සදහා පමණක් වැඩි අවධානය යොමු කරන බවත්  රජය  පවසයි.

මේ අතර ලබන වසර සඳහා අවම වියදමකින් ආයතනයේ අරමුණු ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය වන මුදල් පමණක් ඉල්ලුම් කරන ලෙස මුදල් අමාත්‍යාංශය රාජ්‍ය ආයතනවලට  දැනටමත් දැනුම්දී ඇත.

(සුජිත් හේවාජුලිගේ සහ  නිමන්ති රණසිංහ )

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *