ප්‍රතිව්‍යුහගත නොකර ශ්‍රී ලංකාවේ ණය තිරසර කරන්න චීනය යෝජනා කරයි !

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශ්නයේ දී චීනයේ යෝජනාව වී ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් නොව තවත් ආධාර සපයමින් ණය තිරසාර බව ඇතිකිරීම බව චීනයේ ප්‍රකාශ නිරීක්ෂණය කරන විචාරකයෝ කියති.

චීනයේ මෑත කාලීන ප්‍රකාශ මගින් කියන්නේ ශ්‍රී ලංකාවේ දුෂ්කරතා සඳහා විසදුම් ලබාදීමට ජාත්‍යන්තර සංවිධාන එකට වැඩ කළ යුතු බව යි. ණය ප්‍රතිව්යුහගතකිරීම යන වචනය හෝ භාවිතා කිරීමෙන් චීනය වැළකී සිටින බව නිරීක්ෂණය කොට තිබේ.

ඉහළ පෙළේ චීන නිලධාරිනියක් පසුගිය දා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ණය බර ලිහිල් කිරීමට චීනය අනෙකුත් ණය හිමියන් සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුළු බහු පාර්ශවික ආයතන සමග කටයුතු කරන බව යි.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාෂිකා  මාඕ නින්ග්  දෙසැම්බර් 05 සඳුදා ප්‍රකාශ කළේ චීනය ශ්‍රී ලංකාවේ දුෂ්කරතා සහ අභියෝගවලට ඉහළ වැදගත්කමක් ලබා දෙන බවයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආධාර ලබාගැනීම සඳහා සාකච්ඡා කරන ශ්‍රී ලංකාව ඇතුළු රටවල් සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ  ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීමට මුල්‍ය අරමුදලේ කණ්ඩායමක් මේ සතියේ චීනයට පැමිණෙන බවට පළ වී ඇති මාධ්‍ය වාර්තා පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව පැවසුවාය.

“ශ්‍රී ලංකාවේ ණය ප්‍රශ්නය සම්බන්ධයෙන්, එම ගැටලුව නිසි ලෙස විසඳීම සඳහා ශ්‍රී ලංකාව සමඟ ක්‍රියා කිරීමේ දී , අපි එම  මූල්‍ය ආයතනවලට  සහාය දෙන බව අවධාරණය කිරීමට කැමැත්තෙමි,” යි නින්ග්පැ මහත්මිය පැවසීය.

“අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග එක්ව චීනය කරන කටයුතු මගින්  ශ්‍රී ලංකාවට වත්මන් දුෂ්කරතා මඟහරවා ගැනීමටත්, එහි ණය බර ලිහිල් කිරීමටත්, තිරසාර සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීමටත් අඛණ්ඩව සාධනීය කාර්යභාරයක් ඉටු කළ හැකි වනු  ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා,” ඇය වැඩිදුරටත් පැවසුවාය.

චීනයට  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ජාත්‍යන්තර ආර්ථික හා මූල්‍ය ආයතන සමඟ දිගුකාලීන හොඳ සහයෝගීතාවයක් ඇති බව ද ඇය ප්‍රකාශ කළාය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ඇය කිසිදු සඳහනක් කළේ නැත.

බොහෝ රටවලට ණය දී ඇති චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවට ඒ ඒ රටවල ණය තිරසාර බව ඇතිකිරීමේ සාමුහික වැඩ පිළිවෙලක් සඳහා ජාත්‍යන්තර ආයතන සමග සාකච්ඡා ආරම්භ කොට ඇති බව ද කියති.

ඒ පිලිබඳ සාකච්ඡාවක් සඳහා මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ප්‍රධානීන්ට මේ සතියේ බෙයිජිං නුවරට පැමිණෙන ලෙස චීන රජය ඇරයුම් කොට ඇති බව ද වාර් තා වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *