ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පදනම් මහ බැංකු අධිපති හෙළිකරයි
කපාහැරීමක් ඉල්ලුවේ නැහැ

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී, සියලු ද්වි පාර්ශවික ණය හිමියන්ට සමානව සැලකීම, ණය කපා හැරීමක් ඉල්ලා නොසිටීම සහ ශ්‍රී ලංකාව ණය නොගෙවන බව ප්‍රකාශ කිරීමෙන් පසු ලැබුණු ණය ප්‍රතිව්‍යුහගත නොකිරීම තම ප්‍රධාන ප්‍රතිපත්ති තුන වූ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.
තමන් ඉල්ලා සිටියේ ණය ගෙවීමට වැඩි කාලයක් සහ පොලී සඳහා සහනයක් බව ද ඒ මහතා කියයි.
ද්වි පාර්ශවික ණය හිමියන්ගේ සහන මගින් ශ්‍රී ලංකාවේ ණය ගෙවීමට ඇති හැකියාවේ මට්ටමට ගෙවීම් පැවතිය යුතු ය යන්න ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසියක් බව ද ඒ මහතා කියයි.
පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවේ පසුගිය දා කරුණු දක්වමින් ඒ මහතා කීවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මාස හයක දී නිම කළ හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව යි. මෙම වසර අවසන් වන විට උද්ධමනය සියයට දහයට වඩා අඩු වන බවට ඒ මහතා විශ්වාසය පළ කළේය.
මෙරටින් ඩොලර් බිලියන හතළිහක් පමණ පිටතට ගෙන ගොස් ඇතැයි කියන සංඛ්‍යා ලේඛන තමන් නොපිළිගන්නා බව කී මහ බැංකු අධිපතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ එම සංඛ්‍යා අනුව ඉන්දියාවේ සහ චීනයේ තත්ත්වය වඩා බරපතළ බවක් පෙන්නුම් කරන බව යි.