සිල්ලර ඉන්ධන මිල සහ බොරතෙල් මිල ~ ඉකොනොමැට්ටා

ඇමරිකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළ ගැන පෙර ලිපියක විස්තර කළා. එම ලිපියේ පෙන්වා දුන් පරිදි ඇමරිකාවේ ඉන්ධන මිල තැනින් තැනට විශාල ලෙස වෙනස් වෙනවා. එයට භූගෝලීය සාධක, එනම් ඉන්ධන නිෂ්පාදනය කරන ප්‍රදේශ වල සිට ඇති දුර වැනි කරුණු, මෙන්ම බදු වල වෙනස්කම් ප්‍රධාන වශයෙන්ම බලපානවා. කෙසේ වුවත්, කිසියම් නිශ්චිත ප්‍රදේශයක් සැලකුවහොත් සිල්ලර ඉන්ධන සැපයුම්කරුවන් අතර පවතින අධික තරඟය නිසා පාරිභෝගිකයින්ට අඩු මිලකට ඉන්ධන මිල දී ගැනීමේ අවස්ථාව හිමි වෙනවා. සිල්ලර ඉන්ධන සැපයුම්කරුවන්ට ලබා ගත හැක්කේ ඔවුන් විසින් ගන්නා අවදානමට සරිලන ඉතා සුළු ලාබයක් පමණයි.
සිල්ලර ඉන්ධන වෙළඳපොළේ තරඟකාරිත්වය නිසා අඩු වන්නේ ඉන්ධන වල තොග මිල හා සිල්ලර මිල අතර වෙනසයි. මෙම අදියරේදී අගය එකතු වීමක් සිදු වන්නේ එම කොටස තුළ පමණයි. ඉන්ධන වල තොග මිල තීරණය වන්නේ වෙනම වෙළඳපොළකයි. දැඩි තරඟකාරිත්වයක් නොතිබී, ඉන්ධන සිල්ලර වෙළඳාමේ ඒකාධිකාරයක් හෝ කතිපයාධිකරයක් පැවතුණේනම් ඉන්ධන සිල්ලරට විකුණන පිරවුම්හල් දාමයකට විශාල ලාබ ආන්තිකයක් තියාගෙන ඉන්ධන විකිණිය හැකිව තිබුණත් දැඩි තරඟය නිසා ඔවුන්ට එසේ කළ නොහැකියි. ඒ නිසා, ඉන්ධන වල සිල්ලර මිල තීරණය වන්නේ ඉන්ධන තොග මිල, ප්‍රවාහන ගාස්තු, ගබඩා කර තබා ගැනීමේ පිරිවැය, බදු වැනි කරුණු අනුවයි.