තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට 3 දා අත්සන් තබනවා – ජනාධිපති

අයි එම් එෆ් සමග විකල්ප යෝජනා කතා කරන්න සියලු පක්ෂවලට ආරාධනා කරනවා

තායිලන්තය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමට ලබන පෙබරවාරි මස 3 දා අත්සන් තබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

එහිදී ජනාධිපතිතුමා මෙසේ ද කී ය. ” තරගකාරී වෙළෙඳ පොළක් සමඟ අපනයන ඉහළ නංවාගෙන විදේශ විනිමය ඉහළ නංවා ගැනීමට කටයුතු කළ යුතුයි. පෙබරවාරි 03 වැනිදා අප තායිලන්තය සමඟ ගිවිසුම අත්සන් තබනවා. තායිලන්තය අපේ රට වගේම ථෙරවාදී බෞද්ධ රටක්. නමුත් ඔවුන් ගියේ එක මාර්ගයක. අප ගියේ තවත් මාර්ගයක. එහි වෙනස තමයි අද දක්නට ලැබෙන්නේ.”

අප ගනු ලබන පියවර සමඟ අනාගතයේ මේ රටේ ඇතිවන ආර්ථිකය කුමක්ද යන්න සිතා බැලිය යුතුයි. ඒ පිළිබඳව අප සාකච්ඡා කළ යුතුයි. දේශපාලන පක්ෂ ඒ සම්බන්ධව කතා කළ යුතුයි. මැතිවරණයකට යනවා නම් කොහොමද මේ රටේ ප්‍රශ්න විසඳන්නේ කියා ඔවුන් දැන ගත යුතුයි. හඳෙන් හාල් ගේනවා වැනි ක්‍රමයට එය කළ නොහැකියි. රජය ගෙන යන වැඩපිළිවෙළ සමඟ එකඟ ද, එය වෙනස් කරනවාද කියා සාකච්ඡා කළ යුතුයි.

අප දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට එළැඹ තිබෙනවා. ඒ ගිවිසුම රටවල් 15 – 20ක් සමඟ මෙන්ම තවත් රටවල් ගණනාවක් සමඟ අත්සන් කරන්න තිබෙනවා. අපට එතැනින් ඈත් වෙලා යන්න බැහැ. අප කොහොමද මේක පිළිගන්නේ. මේ පිළිබඳ අද අප සියලුදෙනා එක්ව සාකච්ඡා කළ යුතුයි. නමුත් එය සිදු වන්නේ නැහැ. තවමත් අපේ දේශපාලනය පපඩම් වගේ. තාච්චියට දානවා, පිපුණු විට අරගෙන කනවා. ඊළඟ දවසේ තව එකක් දානවා. පසුව අමතක වෙලා යනවා.

අප සමාජ මාධ්‍ය පිළිබඳ කෙටුම්පත ගෙන ආ අවස්ථාවේ ඇතැම් පාර්ශ්ව ඝෝෂා කළා. මේ රටේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නවත්වනවා කියා ඝෝෂා කළා. නමුත් එය සම්මත වුණා. දැන් ඒක අමතකයි. ඒ වගේම දැන් ත්‍රස්ත විරෝධී පනත ගෙන ඒමට සූදානම් වී සිටිනවා. එවිටත් මේ රටේ අයිතිවාසිකම් නැහැ. ඔක්කොම හිරේ දාන්න යනවා කියා ඝෝෂා කරයි. ඊට පස්සේ ඒකත් අමතකයි. ඒ වගේම ටීආර්සි පනත ගෙන එන විට නිදහස් අධ්‍යාපනය නැති කරනවා කියා ඝෝෂා කරයි. ඊට පස්සේ එයත් අමතක වෙනවා. මේක පපඩම වගේ උඩට ඇවිත් යට යනවා විතරයි. මේ දේශපාලනය මට අවසන් කරන්න බැහැ. නමුත් අපේ රට මේ තත්ත්වයට පත් වුණේ මේ නිසා බව අමතක නොකළ යුතුයි.

මේ තත්ත්වයෙන් ඈත් වී ඉදිරියට යෑමට අපට ශක්තියක් තිබිය යුතුයි. එය ඔබේ අනාගතය පමණක් නොවෙයි, ඔබේ දරුවන්ගේද අනාගතයයි. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමට එකඟද, නැද්ද, ඊට සංශෝධන අවශ්‍යද කියා අප සියලු දෙනා එක්වෙලා සාකච්ඡා කරමු කියා මා පාර්ලිමේන්තුවේ සිටින සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ආරාධනා කරනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් ප්‍රකාශ කළේ කොළඹ රේගු මූලස්ථානයේ දී ඊයේ (26) පෙරවරුවේ පැවති ජාත්‍යන්තර රේගු දින සැමරුම් උත්සවය අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *