කොරෝනාවෙන් වැටෙන ආර්ථිකය කෘෂිකර්මයෙන් ගොඩ ගන්න බෑ – මහාචාර්ය සිරිමල් අබේරත්න
කොවිඩ් 19 වසංගතය නිසා ඇතිවන ආර්ථික පසුබෑම තුළ දේශීය කෘෂිකර්මය නැංවීමට උනන්දුවක් ඇතිවීම හොද දෙයක් වුව ද කෘෂිකර්මය තුලින් ආර්ථිකය ගොඩ ගත නොහැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශාධිපති මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා ප්‍රකාශ කෙළේය.
අප රටේ දල දේශීය නිෂ්පාධිතයට කෘෂිකර්මයේ දායකත්වය සියයට අටක් පමණක් බවත් එයට තේ , පොල් ,රබර් ඇතුළු වාණිජ කෘෂිකර්මයද ඇතුලත් බවත් කී අබේරත්න මහතා අප කොතරම් උත්සහ කළ ද ,එම ප්‍රතිශතය විශාල ලෙස වැඩිකළ නොහැකි බව ද පැවසීය.
අප සියලු දෙනා සහ විශ්ව විද්‍යාල සිසුන් සියලු දෙනා කෘෂිකර්මයට යැවුවද එය වර්ධනය කළ හැකි සීමාවක් ඇති බව කී ඒ මහතා ඉදිරි කාලයේ දී අත්දැකීම් මගින් ම ඒ බව තේරුම් ගත හැකි වන බවද පැවසී ය.
අවපාත හා උත්පාත ඇතිවීම ධනවාදී සංවර්ධනයේ ලක්ෂණයක් බව කී අබේරත්න මහතා මෙම අවපාතයෙන් පසුව ද උත්පාත සමයක් ඇතිවන බවට විශ්වාසය පළ කළේ ය.
“කොරෝනා වසංගතයෙන් පසු ලෝකය” මැයින් කොළඹ විශ්ව විද්‍යාලයීය ශාස්ත්‍ර පීටය සංවිධානය කළ අන්තර්ජාල සමුළුවකට සහභාගී වෙමින් මහාචාර්ය අබේරත්න මහතා මෙම අදහස් පළ කළේ ය.