ඉන්දු ලංකා මගී ගමන් සඳහා අධිවේගී බෝට්ටු සේවය ඇරඹෙයි

මගීන් 50 ක් නාගපට්ටනම් සිට කන්කසන්තුරයට

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහනය වඩාත් පහසු සහ ලාභදායි බවට පත්කර ඉන්දු ලංකා අධිවේගී මගී ප්‍රවාහන සේවය සෙනසුරාදා ආරම්භ වී ය.

තමිල්නාඩුවේ නැගෙනහිර වෙරළේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ කන්කසන්තුරේ අතර ජාත්‍යන්තර, අධිවේගී මගී යාත්‍රා සේවාවක් පෙරේදා ( 2023 ඔක්තෝබර් 14 සෙනසුරාදා)  නැවත ආරම්භ කරන ලද්දේ දශක හතරකට ආසන්න කාලයකට පසුව ය.

ඉන්දීය මධ්‍යම රජයේ වරාය, නාවික සහ ජල මාර්ග පිළිබඳ  අමාත්‍ය සර්බානන්ද සොනොවාල් සහ තමිල්නාඩු රජයේ ප්‍රසිද්ධ වැඩ, මහාමාර්ග සහ කුඩා වරාය පිළිබඳ අමාත්‍ය ඊ.වී. වේලු විසින්  නාගපට්ටිනම් වරායේ සිට යාත්‍රා මංගල ගමන ආරම්භ කරන ලදී.

චෙරියපානි ලෙස හඳුන්වනු ලබන අධිවේගී යාත්‍රාව (HSC) , කපිතාන් බිජු ජෝර්ජ්ගේ ප්‍රධානත්වයෙන් මගීන් 50 ක් සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු සමඟ නාගපට්ටිනම් වරායෙන් පෙරවරු 8.15 ට පමණ ගමන් ආරම්භ කළේය.

වීඩියෝ පණිවුඩ නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නය අගය කළ අතර ජාතීන් දෙක අතර යාත්‍රා සේවාව දියත් කිරීමේ වැදගත්කම අවධාරණය කළහ.

මෙය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික සබඳතාවල නව පරිච්ඡේදයක් ලෙස හඳුන්වන මෝදි මහතා, දෙරට අතර සංස්කෘතික, වාණිජ සහ ශිෂ්ඨාචාරමය සබඳතා ශක්තිමත් කිරීමට මෙම යාත්‍රා සේවාව ඉවහල් වනු ඇතැයි පැවසීය. සම්බන්ධතාව යනු ඉන්දියා – ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්වයේ ඒකාබද්ධ දැක්මේ කේන්ද්‍රීය තේමාව වන බවත්, රාමේෂ්වරම් සහ තලෙයිමන්නාරම අතර ද යාත්‍රා සේවාව ද නැවත ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව පියවර ගන්නා බවත්, මෝදි මහතා වැසි දුරටත්  ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *