මහ බැංකුව බැංකු පොලි අනුපාත තව දුරටත් පහත හෙළයි

adstudio.cloud

උද්ධමන පීඩා අඩුවෙන් පවතින වත්මන්  වාතාවරණයක් තුළ ‘කොවිඩ්-19’ වසංගතයෙන් ආර්ථිකයට එල්ල වන අහිතකර බලපෑම්වලට මුහුණ දීම සඳහා ආර්ථිකයට තවදුරටත් සහාය වීමේ අවශ්‍යතාව සලකා බලමින් බැංකු පොළී අනුපාත තවදුරටත් පහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 5.50ක් දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 6.50 දක්වාත් පදනම් අංක 50කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

මෙම තීරණයත් සමඟ මුදල් තත්ත්ව ලිහිල් කිරීම සඳහා ගන්නා ලද අනෙකුත් ක්‍රියාමාර්ගවලට අමතරව මේ වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ පොලී අනුපාත පදනම් අංක 150කින් අඩු කර ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේදී සිවුවතාවක් ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (6) රැස්වූ අතර එම විශේෂ රැස්වීමේදී වාර්තමාන මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සමාලෝචනය කිරීමෙන් අනතුරුව එම තීරණය ගෙන ඇත.

වසර තුළ මේ දක්වා කාලය තුළ මුදල් ප්‍රතිපත්තිය සහ මුදල් තත්ත්ව ලිහිල් කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගවලට අනුකූලව වෙළෙඳපොළ ණය පොලී අනුපාතික පහළ ගොස් නැති  බව මුදල් මණ්ඩලයේ නිරීක්ෂණයට ලක්වී ඇති බවත් බැංකු පොලී අනුපාත අඩු නොකිරීම සම්බන්ධයෙන් මහා බැංකුවේ මුදල් මණ්ඩලය කනස්සල්ලට පත්වන බවත් මහ බැංකු පෙන්වාදෙයි.

එම නිසා තවදුරටත් ප්‍රමාදයකින් තොරව ණය අනුපාතික අඩු කරන ලෙස මූල්‍ය ආයතනවලින් දැඩිව ඉල්ලා සිටින අතර එසේ නොවුණහොත් වෙළෙඳපොළ ණය පොලී අනුපාතික පහළ දැමීම සඳහා සුදුසු නියාමන ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුවනු ඇති බව ද මහ  බැංකුව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *