ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් සියයට 70 ක් අවිධිමත් රැකියාවල ; ඔවුන්ගේ සේවා තත්ත්වය සුරක්ෂිතතාවය දුර්වලයි – ලෝක බැංකු අධ්‍යයනයකින් පෙන්වා දෙයි .

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් සියයට 70 ක් අවිධිමත් ක්ෂේත්‍රයේ රැකියාවල නිරතව සිටීම දිගට ම පවතින කැපී පෙනෙන ලක්ෂණයක් බවත් , එම අංශයේ සේවකයන්ගේ , රැකියා සුරක්ෂිත බව , සමාජ සුරක්ෂිත බව , රැකියාවල පවතින දුර්වල සේවා තත්ත්වය මෙන් ම අඩු වැටුප් ලැබීම ආදී ගැටළු රාශියක් පවතින බවත් ලෝක බැංකුව නිකුත් කළ අලුත් ම අධ්‍යයන වාර්තාවකින් පෙන්වා දෙයි. මෙය දිළිඳු  බව දිගට පැවතීමට හේතුවක් බව ද එම වාර්තාවේ සඳහන් වෙයි .

‘අවිධිමත් බව , රැකියා තත්ත්වය සහ ශ්‍රී ලංකාවේ සුබ සාධනය’  යන ශීර්ෂය යටතේ දෙසැම්බර් 02 දින දාතමින් මෙම වාර්තාව නිකුත් කොට ඇත.

දුර්වල රැකියා තත්ත්වයන් සහිතව අඩු ආදායම් ලබන අවිධිමත් ක්ෂේත්‍රයේ සේවකයා විධිමත් ක්ෂේත්‍රය හා සැසදීමේ දී ස්ථාවර බවින් අඩු බව  මෙන් ම  ඔවුන් මුහුණ දෙන දිළිඳු බව සහ අවදානම් පිලිබඳ පෙන්වා දීම මෙම අධ්‍යනයේ අරමුණ බව එහි හැඳින්වීමේ සඳහන් ය.

අධ්‍යයනය ශ්‍රී ලංකාවේ රැකියා අංශ තුනක් ලෙස හඳුනා ගනියි . පළමුවැන්න ඉහළ වැටුප්  , කෙටි සේවා  මුර ,වැඩි නිවාඩු සහ සමාජ ආරක්ෂණය හිමි විධිමත් රාජ්‍ය අංශය යි.

දෙවැන්න අතර මැදි තත්ත්වයක් ඇති විධිමත් පෞද්ගලික අංශය යි. එහි ද , තරමක් දිගු සේවා මුර , අඩු නිවාඩු ආදිය පැවතිය ද , වැටුප් සහ සමාජ සුරක්ෂිත බවින් අතර මැදි තත්ත්වයක්  පෙන්නුම් කරයි. සේවක අර්ථසාධක අරමුදල සහ භාරකාර අරමුදල වැනි සමාජ ආරක්ෂණ ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක ය.

තෙවැනි  ක්ෂේත්‍රය අඩු ආදායම් ලබන , රැකියා සුරක්ෂිත බව අඩු , දුර්වල සේවා කොන්දේශි යටතේ සේවය කරන අවිධිමත් ක්ෂේත්‍රය යි. ස්වයං රැකියාවල නියුතු විශාල පිරිසක් ද අයත්  වන්නේ මෙම ක්ෂේත්‍රයට යි. බරපතළ දුෂ්කරතාවලට මුහුණ දී සිටින මෙම ක්ෂේත්‍රයේ රටේ ශ්‍රම බලකායෙන් සියයට 70 ක් නියුතුව සිටීම බරපතළ ප්‍රශ්නයක් බව ලෝක බැංකු අධ්‍යයනය පෙන්වා දෙයි.

මෙයට එක හේතුවක් ලෙස අධ්‍යයනය පෙන්වා දෙන්නේ විධිමත් රැකියා සැපයීමේ දී සේව්‍යයන්ට දැරීමට සිදුවන අධික වියදම යි. එබැවින් , මෙය අවිධිමත් අංශය විධිමත් කිරීමේ ප්‍රශ්නයක් පමණක් නොව විධිමත් කිරීමේ වියදම් අඩු කොට ප්‍රතිලාභ වැඩිකිරීමේ ද ප්‍රශ්නයක් බව ලෝක බැංකු අධ්‍යනයෙන් පෙන්වා දෙයි.

Photo – LBO

Leave a Reply

Your email address will not be published. Required fields are marked *