රුපියලේ අගය අඩුවෙන්න හේතුවක් නැහැ ; එය වළක්වන්න අවශ්‍ය පියවර ගන්නවා – මහ බැංකුව නිවේදනය කරයි

පසුගිය දිනවල වෙළෙඳපොලේ දක්නට ලැබුණු රුපියලේ අගය අවප්‍රමාණය වීම පිළිගත නොහැකි බවත් , එය වැළැක්වීමට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවත් , ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
රුපියලේ අගය ඩොලරයකට රුපියල් 193 ක් දක්වා පහළ යාමක් පසුගියදා දක්නට ලැබිණි. මහ බැංකුව කියන්නේ එසේ රුපියලේ අගය පහත වැටීමට කිසිදු ආර්ථික හේතුවක් නැති බවයි.
විනිමය අනුපාතිකයේ උච්චාවචනය මෑත දී වැඩිවීම අනවශ්‍ය හා පිළිගත නොහැකි බවත් , දේශීය විදේශ විනිමය වෙළඳපොළෙහි මෙම උච්චාවචනය පාලනය කිරීමට වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කරන බවත්, මහ බැංකුව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීම අඛණ්ඩව පවත්වා ගැනීම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දී විනිමය අනුපාතිකය පසුගිය නොවැම්බර් මස පැවති ඩොලරයට සාපේක්ෂව රුපියල් 185 ට වඩා අඩු මට්ටමකට පැමිණෙනු ඇති බවටද ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.
දැනට දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.6 ක මට්ටම දක්වා ඉහළ නැංවීම සඳහා මහ බැංකුවේ දේශීය හා විදේශීය හවුල්කරුවන් සමග පවත්වන සාකච්ඡා ද සාර්ථකව අවසාන අදියරකට පැමිණෙමින් තිබේන බව ද මහ බැංකුව කියයි.
මෙම අපේක්ෂිත ලැබීම් සහ දේශීය නිෂ්පාදන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයත් , විදේශ විනිමය ලැබීම් ඉහළ යෑමට හේතු වන බව මහ බැංකුවේ ස්ථාවරය වී ඇත
මේ පිළිබඳව මහා බැංකුව නිකුත් කල නිවේදනය මෙසේ ය
රුපියල අනවශ්‍ය ලෙස අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා මහ බැංකුව පියවර ගනී
විනිමය අනුපාතිකයේ උච්චාවචනය මෑත දී වැඩිවීම අනවශ්‍ය හා පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහසයි. ඒ අනුව, වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කරන අතරම, මෙතැන් සිට ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළඳපොළෙහි මෙම උච්චාවචනය පාලනය කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගනු ඇත. මෙම ක්‍රියාමාර්ගත් අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීම අඛණ්ඩව පවත්වා ගැනීමත් හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දී විනිමය අනුපාතිකය 2020 නොවැම්බර් මස නිරීක්ෂණය කළ එ.ජ. ඩොලරයට රුපියල් 185ට වඩා අඩු මට්ටමකට අතිප්‍රමාණය වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.
නිල සංචිත ප්‍රමාණවත් මට්ටමක පවතින බව මහ බැංකුව නැවත අවධාරණය කරයි. දැනට දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 5.6ක් වේ. සංචිත මට්ටම ඉහළ නැංවීම සඳහා මහ බැංකුවේ දේශීය හා විදේශීය හවුල්කරුවන් සමඟ පවත්වන සාකච්ඡා ද සාර්ථකව අවසාන අදියරකට පැමිණෙමින් තිබේ. මෙම අපේක්ෂිත ලැබීම් සහ දේශීය නිෂ්පාදන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයන් විදේශ විනිමය ලැබීම් ඉහළ යෑමට හේතු වන අතර, එමගින් ඉදිරි කාලයේදී ද විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය පවත්වා ගැනීමට මෙන්ම, ශ්‍රී ලංකාවේ ණය වගකීම් නියමිත පරිදි පියවීම සඳහා ද උපකාරී වනු ඇත.