විදේශ ආයෝජකයන් ගෙන්වාගෙන රට සංවර්ධනය සැබෑ දේශ ප්‍රේමය යි – මංගල සමරවීර

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයට විදෙස් ආයෝජකයන් සම්බන්ධ කර ගැනීම හරහා ශ්‍රී ලංකා වරාය අධිකාරියට අලුත් යුගයක් මෙන්ම නව ජවයක් ලැබෙන බව හිටපු විදේශ හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
රටේ සංවර්ධනය සඳහා විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීම රට පාවාදීමක් නොවන බවත් එය සැබෑ දේශප්‍රේමය බවත් ඒ මහතා කියයි.
තම රජය රට සංවර්ධනයට පියවර ගන්න විට එයට එරෙහිව කියූ බොරුවලින් අද ආණ්ඩුව බට කමින් සිටින බව ද කී ය.
විදේශ ආයෝජන යනු රට සංවර්ධනය සඳහා දායක වන පිරිසක් බව පේනවා දුන් හිටපු ඇමැති මංගල සමරවීර මහතා වියට්නාමය වැනි සමාජවාදී රටවල් පවා මෙම සත්‍යය අවබෝධ කරගෙන විදෙස් ආයෝජකයන් සමඟ සම්බන්ධ වී ඇති බවද පැවසීය.
විදේශ යෝජනා තුලින් ටෙලිකොම් සංවර්ධනයෙන් ලබාගත් ප්‍රගතිය පෙන්වා දුන් ඒ මහතා ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලාභ ලැබුවේ විදෙස් ආයෝජකයන් හවුල් කරගත් කාලයේ බව ද පෙන්වා දුන්නේ ය .
2015 වසරේදී යහපාලන රජය විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහා තැබූ ආරම්භය ඉදිරියට පවත්වා ගැනීමට වත්මන් රජය තීරණය කිරීම සතුටට කාරණයක් බව කී ඒ මහතා, ඒ අනුව කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය විදෙස් ආයෝජකයන් සමඟ එක්ව දියුණු කිරීම සඳහා තමන් පූර්ණ සහයෝගය දක්වන බව කියා සිටියේය. ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (18) මාධ්‍ය වෙත කරන ලද අදහස් දැක්වීමක දී ය.