දකුණු ආසියාවේ දිගම වාරි උමඟේ ඉදිකිරීම් ජනපති අතින් ඇරඹේ

උතුරු මැද පළාතේ මහ ඇළ ව්‍යාපෘතියේ ප්‍රථම අදියර වශයෙන් ආසියාවේ දිගම වාරි උමඟේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර, පලුගස්වැවදී ඊයේ (05) ආරම්භ කෙරිණි. මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ එහි සමරු ඵලකය ජනාධිපතිවරයා විසින් නිරාවරණය කරන ලද අවස්ථාව. ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් වන චමල් රාජපක්ෂ, එස්. එම්. චන්ද්‍රසේන, සිරිපාල ගම්ලත්, චන්න ජයසුමන මහත්වරුද මෙහි වෙති.

වැව් පන්දහසක් ප්‍රතිසංස්කරණය කිරීමේ ‘වාරි සෞභාග්‍යයා‘ වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ ප්‍රථම අදියර යටතේ, කිලෝ මීටර් 28කින් යුත් දකුණු ආසියාවේ දිගම ‘වාරි උමඟේ‘ ඉදිකිරීම් අනුරාධපුර, පලුගස්වැවදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින් ඊයේ (05) ආරම්භ කෙරිණි.

මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ 06 වැනි සහ අවසන් සැලැස්ම ලෙස උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙන අතර මොරගහකන්ද සහ කළුගඟ ජලාශවල සිට රජරටට ජලය ගෙන යෑම ව්‍යාපෘතියේ අරමුණයි.

එය පරිසර හිතකාමී සංවර්ධන වැඩසටහනක් ලෙස සැලසුම් කර ඇති අතර මොරගහකන්ද සහ කළු ගඟ ජලාශවල අතිරික්ත ජලය කිලෝමීටර් 65ක ඇළ මාර්ගයක් ඔස්සේ යකල්ල දක්වා ගෙන යනු ලැබේ.

ඇළ මාර්ගය සැකසීමේදී අභය භූමි 03ක් පසු කර යෑමට සිදු වේ. එහිදී පරිසරයට සහ වන සතුන්ට වන හානිය වළකනු පිණිස වාරි උමඟ ඉදි කෙරෙන අතර ඇලහැර කෝඳුරු වැවෙන් ආරම්භ වන උමඟ පලුගස්වැව මහමීගස්වැවෙන් අවසන් වෙයි.

වසර 06කින් නිම කිරීමට සැලසුම් කර තිබූ උතුරුමැද පළාත් මහ ඇළ ව්‍යාපෘතිය වසර 04කදී එනම් 2025 වන විට අවසන් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ. ශ්‍රී ලංකා රජයේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘතියේ උමං මාර්ගය සඳහා වැය කෙරෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 244කි. උතුරුමැද, උතුර සහ නැඟෙනහිර පළාත්වල ජනතාවගේ දරිද්‍රතාවට සහ වකුගඩු රෝගයට ජල ගැටලුව ප්‍රබල සාධකයක් වී තිබෙන අතර ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු උතුරුමැද පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක පවුල් 25,000කට ප්‍රතිලාභ සැලසේ. කුඩා වැව් 1,200කට ජලය සැපයීමෙන් හෙක්ටයාර 43,000ක් යල මහ දෙකන්නයේ අස්වැද්දීමට අපේක්ෂිතය.

සුබ මොහොතින් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සමරු ඵලකය නිරාවණය කර මංගල පස් පිඩැල්ල කැපීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

පෙර රජ දරුවන් මඟ ගනිමින් අහසින් වැටෙන සහ මුහුදුට ගලා යන ජල කඳ කෙත් බිම් අස්වැද්දීමට යොදා ගැනීම වත්මන් රජයේ අරමුණ බව වාරි මාර්ග ඇමැති චමල් රාජපක්ෂ මහතා උත්සව සභාව අමතමින් පැවසීය.

‘සෞභාග්‍යයේ දැක්ම‘ යථාර්ථයක් වෙමින් රජ රටට මෙතෙක් සිහිනයක් වී තිබූ පානීය හා වගා ජලය උතුරු මැද පළාත් මහ ඇළ ඔස්සේ ලැබීමෙන් ජන ජීවිතය පණ ගැන්වෙන බව මහවැලි කලාප ආශ්‍රිත ඇළ වේලි හා ජනාවාස, පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය ඇමැති සිරිපාල ගමලත් මහතා පැවසීය.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය, කැබිනට් ඇමැතිවරු, වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න මහතා, රාජ්‍ය ඇමැතිවරු, උතුරු හා උතුරුමැද පළාත් මහජන නියෝජිතයන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

නුවන් කොඩිකාර

දිනමිණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *