ඉදිරි මාස හයේ ආර්ථිකයේ තත්ත්වය අවදානම් , මුල්‍ය අරමුදලේ ආධාර ලබාගත යුතුයි – පාත්ෆියින්ඩර් පදනම

ඉදිරි මාස හයේ ශ්‍රී ලංකාවේ විදේශ සම්පත් අවදානම් සහගත තත්ත්වයට පිරිහී යා හැකි බව කියන පිළිගත් බුද්ධි මණ්ඩලයක් වන පාත්ෆයින්ඩර් පදනම රජය මේ අවස්ථාවේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආධාර වැඩ සටහනකට එලබීම වඩා සුදුසු බව ප්‍රකාශ කරයි.

පසුගිය දෙසැම්බර අවසානය වනවිට මෙරට වීදේශ සම්පත් පැවතියේ ඩොලර් බිලියන 5.7 ක මට්ටමේ ය. ඉන්දියාවෙන් ලබාගත් මිලියන 400 ක ණය මුදල පෙබරවාරියේ ගෙවීමට තිබිණි.

2021 පෙබරවාරි සහ ජුලි අතර ගෙවිය යුතු මුදල් වශයෙන් ඩොලර් බිලියනයක බැඳුම්කර , මිලියන 980 ක සංවර්ධන බැඳුම්කර සහ ඩොලර් මිලියන 482 ක පොලි ගෙවීම් ද වෙයි.

ඉන්දියාවෙන් සහ චීනයෙන් බලාපොරොත්තු වූ ණය ද ලැබී නැත. එම මුදල් ලැබීම විවිධ කොන්දේසි මත රඳා පවතියි.

මෙහි දී රජයට ඇති විකල්පයක් වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ආධාර වැඩ සටහනකට යාමයි.

හදිසි මුදල් ආධාර ලෙස මුල්‍ය අරමුදලෙන් ලබාගත හැකි මුදල ඩොලර් මිලියන 830 කි. මුල්‍ය අරමුදලේ වැඩ සටහනක් සමග ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 500 ක් සහ ලෝක බැංකුවෙන් මිලියන 300 ක් ලබා ගැනීමට මඟ පෑදෙයි.

එමෙන් ම ණය ශ්‍රේණියේ ඉහළට යාමටත් ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළට පිවිසීමටත් එය පහසුවක් වනු ඇත.

විදේශ ආයෝජන ලබාගැනීමට ද එය පහසුවකි.

රජය මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව පාත් ෆයින්ඩර් ආයතනය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *