එක එක්කෙනා කියන කියන දේ කරන්න බලයක් අපට නෑ – ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

එක එක කණ්ඩායම් ඉල්ලා සිටින ආකාරයට හිතුමතේ තීරණ ගෙන ක්‍රියාත්මක වීමේ බලයක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට නැති බවත් , තමන් වැඩ කරන්නේ නීතියෙන් ලබා දී තිබෙන බල සීමාව තුල බවත් , ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිවේදනයක් නිකුත කරමින් කියයි.
එම නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.
ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වර්ග කිහිපයක් ඇතුලුව භාණ්ඩ 122ක් වැනි සුලු ප්‍රමාණයක් පමණක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හරහා පරික්ෂාවට ලක් කර පාරිභෝගිකයන් සදහා වෙළෙඳ පළට නිකුත් කරනු ලබයි. මෙම ක්‍රියාවලිය ආනයන භාණ්ඩ පරික්ෂා ක්‍රමය ලෙස හදුන්වන අතර එය සිදු කරනු ලබන්නේ ආනයන හා අපනයන පාලන පනත (Imports and exports control act) නො.1 (1969) යටතේ 2018-03-28 දිනැති නො. 2064/34 ගැසට් නිවේදනය අනුවය.
මෙහිදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන කාර්යභාරය වනුයේ, එම ආනයන භාණ්ඩ පරික්ෂා ක්‍රමය යටතට ගැනෙන භාණ්ඩ මෙරටට ගෙන්වූ පසු අදාල ප්‍රමිති පිරිවිතරයන්ට අනුව අදාල රසායනාගාර පරික්ෂාවන්ට ලක් කර ලැබෙන ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා රේගුව වෙත නිර්දේශ ලබා දීම යි.
මෙහිදී ඉහත භාණ්ඩ ආනයනය කළ විට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන නිලධාරීන් විසින් සුදුසු පරිදි සාම්පල ලබා ගෙන ඒවා ආයතනයේ රසායනාගාර මගින් පරික්ෂාවට ලක් කරයි.
මේ අතරතුරදී මෙම භාණ්ඩ රේගුවේ තබා ගැනීමේ අපහසුතා නිසා ගබඩා සදහා පමණක් (warehouse release only) නිකුත් කිරීමට අනුමැතිය දෙනු ලැබේ. ඉන්පසු ඒ පිළිබඳව තවදුරටත් කටයුතු කිරීමට බලතල ඇත්තේ ශ්‍රී ලංකා රේගුවට ය.
යම් හෙයකින් රසායනාගාර වාර්තා අදාළ ප්‍රමිති පිරිවිතරයන්ට අනුකූල නොවුනහොත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් එම භාණ්ඩ ප්‍රති අපනයනය කරන ලෙස ශ්‍රී ලංකා රේගුව වෙත නිර්දේශ කරනු ලබයි. අනුකූල වුවහොත් ඒ පිළිබඳවද නිසි ලෙස සංනිවේදනය කරනු ලබයි. ඉදිරි කටයුතු සියල්ල සදහා බලතල ඇත්තේත්, එම කටයුතු සිදුකරනුයේත් ශ්‍රී ලංකා රේගුව මගිනි.
ඒ හැර වෙනත් කිසිදු ආකාරයක බලතල 1984 නො. 6 දරන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන පනත තුලින් එම ආයතනයට ලබා දී නැත.