Category: ආර්ථික විග්‍රහ

වාහන ආනයන දැන්ම කළ නොහැකි ඇයි? – ඉකොනොමැට්ටා

වාහන ආනයන දැන්ම කළ නොහැකි ඇයි?

පෙර ලිපියක සංඛ්‍යාලේඛණ සමඟ පෙන්වා දුන් පරිදි, 2023 වසර තුළ ශ්‍රී ලංකාව විසින් ඉපැයූ විදේශ විණිමය වලින් ඩොලර් මිලියන 1,559ක් වැය නොකර ඉතිරි කරගෙන තිබෙනවා. ඒ වගේම, වසර තුළ මහ බැංකුවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,245කින් ඉහළ ගොස් තිබෙනවා.ඒ අනුව, “බිංදුවටම හිඳී තිබුණු” නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.5 පමණ මට්ටමකට ඉහළ ගොස් ඇති අතර මේ (මාර්තු) මාසය අවසන් වන විට තව දුරටත් ඉහළ ගොස් තිබිය යුතුයි.

එහෙමනම් තව දුරටත් වාහන ආනයන වලට ඉඩ නොදී වලක්වා තිබෙන්නේ ඇයි? දැන් වාහන ආනයන වලට ඉඩ දෙන්න බැරිද?පළමුවෙන්ම, ඔය සංචිත “බිංදුවටම හිඳී තිබුණු” කතාව කියන්නේ චීන මුදල් හුවමාරු ණය ඉවත් කරලා. ඒ කොටස ඉවත් කළොත් දැනටත් සංචිත තිබෙන්නේ ඩොලර් බිලියන 3ක් පමණ ප්‍රමාණයක්. කොහොම වුනත්, තිබුණු හැටියට ඒ ප්‍රමාණය වුනත් නරක ප්‍රමාණයක් නෙමෙයිනේ. එහෙමනම් ප්‍රශ්නය කුමක්ද?ඇත්ත ප්‍රශ්නය ඔය සංචිත ප්‍රමාණයෙන් පේනවාට වඩා ටිකක් ගැඹුරුයි. කියවන්න...

ඩොලර් බිලියන එකහමාරක් ඉතිරි කරපු හැටි! – ඉකොනොමැට්ටා

ඩොලර් බිලියන එකහමාරක් ඉතිරි කරපු හැටි!

පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව විසින් ඩොලර් මිලියන 1,559ක ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා කර තිබෙනවා. එයින් සරලව අදහස් වන්නේ වසර තුළ ශ්‍රී ලංකාව විසින් වැය කළ විදේශ විණිමය ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 1,559ක් එම වසර තුළ උපයා ඇති බවයි.

මෙය 1977 වසරින් පසුව මෙවැන්නක් සිදු වන පළමු අවස්ථාව වන අතර 1956 වසරින් පසුව ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වන දෙවන වසරයි. අනෙක් සෑම වසරකදීම ශ්‍රී ලංකාව විසින් වසර තුළ ඉපැයූ විදේශ විණිමය ප්‍රමාණය ඉක්මවා වියදම් කර තිබෙනවා. ණය පැහැර හැරීමකින් කෙළවර වන තුරු ගොඩගසා ගත් ලංකාවේ දැවැන්ත විදේශ ණය කන්දරාව මෙහි ප්‍රතිඵලයයි. කියවන්න...

මහ බැංකුව පොලී අඩු කළේ ඇයි? – ඉකොනොමැට්ටා

මහ බැංකුව පොලී අඩු කළේ ඇයි?

දින දෙකකට පෙර (මාර්තු 26) මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික 0.5%කින් අඩු කළා. ඒ අනුව, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික 8.5%-9.5% දක්වා පහතවැටී තිබෙනවා. මහ බැංකුව පොලී අනුපාතික අඩු කළේ ඇයි? එහි බලපෑම් මොනවාද?

රටක මහ බැංකුවේ ප්‍රධාන වගකීම උද්ධමනය අඩු හා ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම. ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉලක්කය වන්නේ උද්ධමනය 4%-6% සීමාව තුළ පවත්වා ගැනීමයි. ඒ කියන්නේ සාමාන්‍ය අගයක් ලෙස 5% මට්ටමේ.උද්ධමනය 5% මට්ටමේ තබා ගැනීම සඳහා පොලී අනුපාතික දිගුකාලීනව 7%-8% වැනි මට්ටමක තබා ගැනීම ප්‍රමාණවත්. එවිට උද්ධමනයට වඩා 2%-3%කින් වැඩි පොලියක්, ඒ කියන්නේ 2%-3% පරාසයේ මූර්ත පොලී අනුපාතිකයක් පවත්වා ගැනෙනවා.මූර්ත පොලී අනුපාතික ගොඩක් වැඩිනම් එය ආර්ථික වර්ධනය කෙරෙහි සෘණාත්මක ලෙස බලපානවා. කියවන්න...

ඩොලරය බහින එක හොඳද? – ඉකොනොමැට්ටා

මේ වෙද්දී මහ බැංකුවේ නිල සංඛ්‍යාලේඛණ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 300 සීමාවෙන් පහළට ඇවිත් තිබෙනවා. අද (මාර්තු 20) ඩොලරයක ගැනුම් මිල රුපියල් 299.1361ක්. විකිණුම් මිල රුපියල් 308.7249ක්. මැදි මිල 303.9753ක්. දැනට පවතින ප්‍රවණතාවය අනුව ඉතා ඉක්මණින් ඩොලරයක මැදි මිල රුපියල් 300 සීමාවෙන් පහළට එන්න පුළුවන්.ලංකාවේ ගොඩක් අය ඩොලරයක මිල ආර්ථිකයේ තත්ත්වය පිළිබඳ ප්‍රධාන දර්ශකයක් ලෙස සලකනවා. ඩොලරයක මිල ඉහළ යද්දී එය ආර්ථිකයේ කඩා වැටීමක් විදිහටත්, මිල අඩු වෙද්දී එය ආර්ථිකය ස්ථායී වීමක් විදිහටත් දකිනවා. ලංකාවේ දේශපාලනයේ දිශානතිය කෙරෙහි විශාල බලපෑමක් කළ හැකි, ආනයන පරිභෝජනය මත ජීවිතයේ සන්තුෂ්ඨිය රඳවා ගත්, ලංකාවේ ඉහළ හා පහළ මධ්‍යම පන්තියේ ආර්ථික අභිලාෂ එක්ක මේ සිතීම සමපාත වෙනවා.මේ විදිහට ඩොලරයක මිල “කඩා වැටීම” ඇත්තටම හොඳද?ඉහත ප්‍රස්ථාරය දිහා බැලූ විට “කඩා වැටීම” කියන වචනය යොදා ගැනීමේ ලොකු වැරැද්දක් පේන්න නැහැ. මිල පහත යන්නේ ඉල්ලුම හා සැපයුම අනුවයි. මේ දවස් වල ලංකාවේ ඩොලර් ඉල්ලුමට සාපේක්ෂව සැපයුම සැලකිය යුතු තරම් වැඩියි.පෙර ලිපියකද විස්තර කළ පරිදි මීට හේතුව ණය නොගෙවීම නෙමෙයි. ණය ගෙවපු කාල වකවානු වල, හැම විටම මෙන්, ණය ගෙවුවේ අලුතෙන් තව ණය අරගෙනයි. ඒ නිසා, ණය නොගෙවනවා කියන එක ඒ තරම් බරක් තැබිය යුතු නැති තර්කයක්. සංඛ්‍යාලේඛණ වලින් පැහැදිලිව පෙනෙන පරිදි, මේ දවස් වල ලංකාව උපයන ඩොලර් ප්‍රමාණය වැය කරන ඩොලර් ප්‍රමාණයට වඩා වැඩියි.වාහන ආනයන වලට තවමත් ඉඩ දී නැති බව ඇත්ත. නමුත්, වඩා වැදගත් කරුණ මහ බැංකුව විසින් මුදල් සැපයුම පාලනය කිරීම හරහා ආනයන ඉල්ලුම සීමා කර තිබීමයි. වාහන හැර අනෙකුත් ආනයන ඉල්ලුම විශාල ලෙස ඉහළ ගොස් නැත්තේ ඒ නිසා. අපනයන ආදායම් හා ප්‍රධාන වශයෙන් සංචාරක කර්මාන්තයේ ආදායම් ඇතුළත් සේවා ආදායම් වලට ශ්‍රමික ප්‍රේෂණ එකතු වූ විට සෑම මාසයකදීම ආනයන වියදමට වඩා වැඩි විදේශ විණිමය ප්‍රමාණයක් රටට ලැබෙනවා.මේ වගේ වෙනසක් එක්ක විදේශ විණිමය වෙළඳපොළ තුලනය වෙද්දී ඩොලරයක මිල දවසෙන් දවස බහිනවා. එය නවතින්නේ ආනයන ඉල්ලුම ඩොලර් සැපයුමේ මට්ටමට ඉහළ ගිය විටයි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශද එක්ක මහ බැංකුව ඉන්නේ පාලිත පාවෙන විණිමය ප්‍රතිපත්තියක. ඒ අනුව, ස්ථායීකරණ වැඩ පිළිවෙළ තුළ කලින් නිශ්චය කර තිබෙන මට්ටමක් දක්වා මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්නවා. ඩොලරයක මිල මේ විදිහට කඩා වැටෙන්නේ එසේ කරද්දී. මහ බැංකුවේ මැදිහත් වීම් නොවන්නට මේ වෙද්දී ඩොලරයක මිල මීට වඩා ගොඩක් අඩුවෙලා.ඩොලරයක මිල අඩු වීමේ වාසි වගේම අවාසිත් තිබෙනවා. මෙයින් පාඩු ලබන ප්‍රධානම පාර්ශ්වය අපනයනකරුවෝ. ඩොලරයක මිල ඉහළ යද්දී තේ වගාකරුවන් වැනි අයගේ ආදායම් සැලකිය යුතු ලෙස වැඩි වුනා. මීට සාපේක්ෂව කර්මාන්තයේ ශ්‍රමිකයින්ගේ වැටුප්ද වැඩි වුනා. දැන් තේ ආදායම් ලෙස ලැබෙන මුදල අඩු වෙද්දී ශ්‍රමිකයින්ට ගෙවිය යුතු මිල අනුපාතිකව අඩු වෙන්නේ නැහැ.කොහොම වුනත්, මම හිතන විදිහට, ශ්‍රමික වැටුප් ඩොලරයක මිල ඉහළ ගිය තරමටම වැඩි වී නැති නිසා ඩොලරයක මිලේ යම් අඩුවීමක් දරා ගන්න බැරි වෙන්න හේතුවක් නැහැ. මේ සීමාව ගැන මට අදහසක් නැති වුනත්, ඩොලරයක මිල දිගටම පහළ වැටෙද්දී එය කර්මාන්තයට ප්‍රශ්නයක් වෙන බවනම් පැහැදිලියි. මෙය අනෙකුත් අපනයන කර්මාන්ත වලටත් අඩු වැඩි වශයෙන් අදාළයි.ඩොලරයක මිල පහත වැටෙද්දී විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල් වල අයට ලැබෙන රුපියල් ප්‍රමාණයද අඩු වෙනවා. එය ඔවුන්ට අවාසියක්. ලැබෙන මුදලෙන් තමන්ගේ වියදම තියාගෙන වැඩි කොටස කොහොමටත් ලංකාවට එවන අයට ඩොලරයක මිල කීය වුනත් එවන මුදල වැඩි කරන්න බැහැ.ලංකාවට ප්‍රේෂණ එවන ගොඩක් අය ඔය වගේ අය වුනත් හැමෝම ඔය කාණ්ඩයේ අය නෙමෙයි. කාලයක් තිස්සේ ඇමරිකාවේ පදිංචිව සිටින මම දන්නා ගොඩක් අය ලංකාවට මාස්පතා සල්ලි යවනවා. ඒ විදිහට සල්ලි යවන්නේ තමන්ගේ පවුලේ අයටම නෙමෙයි. උදාහරණයක් ලෙස ගොඩක් අය ලංකාවේ තෝරාගත් පාසැල් සිසුන්ට හා සරසවි සිසුන්ට උදවු කරනවා. එහිදී ඔවුන් කරන්නේ මාස්පතා නිශ්චිත රුපියල් ප්‍රමාණයක් යවන එක නිසා ඩොලරයක මිල අඩු වෙද්දී වැඩි ඩොලර් ප්‍රමාණයක් ලංකාවට යවන්න වෙනවා. මේ වගේ ප්‍රේෂණ හා අදාළව ඩොලරයක මිල අඩුවීම කෙටිකාලීනව ලංකාවට වාසිදායකයි.සංචාරක ලැබීම් සැලකුවොත් ගොඩක් වෙලාවට සංචාරකයින්ගෙන් අය කරන්නේ රුපියල් වලින්. ගාස්තු ඩොලර් වලින් කිවුවත් ඩොලර් වලට හරවන්නේ රුපියල් ගණන නිසා ඔවුන් ගෙවන්නේ ඩොලර් වලින්ද නැත්නම් රුපියල් වලින්ද කියන එක අදාළ නැහැ. ඒ නිසා, ඩොලරයක මිල අඩු වෙද්දී සංචාරක ලැබීම් ලෙස රටට එන විදේශ විණිමයද ඉහළ යනවා. අඩු වශයෙන් කෙටිකාලීනව.ඩොලරයක මිල අඩු වෙද්දී, අඩු වශයෙන් කෙටිකාලීනව, ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක ඉපැයීම් ඉහළ යන නිසා, අපනයන වල යම් අඩුවක් වුනත් එය පහසුවෙන්ම නිශේධනය වෙනවා. දිගුකාලීනව විය හැකි බලපෑම් වෙනම කතාවක්. නමුත්, ප්‍රශ්නය අනෙක් අතට ආනයන ඉල්ලුම වේගයෙන් ඉහළ යාමේ අවදානමයි.මහ බැංකුව විසින් ආනයන ඉල්ලුම වේගයෙන් ඉහළ යාමේ අවදානම පාලනය කර තිබෙන්නේ මුදල් සැපයුම පාලනය කිරීම හරහා. කොහොමටත් යෝජිත ස්ථායීකරණ වැඩ පිළිවෙළ තුළ මුදල් සැපයුම වැඩි කළ හැක්කේ යම් සීමාවන් තුළ පමණයි.ඩොලරයක මිල පහළ යද්දී ආනයන වඩා ආකර්ශනීය වීම ඉතාම පැහැදිලි කරුණක් වුනත් ඒ වෙනුවෙන් වැය කිරීම සඳහා ඩොලර් මිල දී ගන්න රුපියල් අවශ්‍ය වෙනවා. ඒ නිසා, රුපියල් සැපයුමේ ප්‍රසාරණය සීමා වෙද්දී ආනයනද පාලනය වෙනවා. කොහොම වුනත්, ඩොලරයක මිල “කඩා වැටීමේ” ප්‍රශ්න තියෙනවනේ. මහ බැංකුවට මැදිහත්වීම් වැඩි කරලා මේ කඩා වැටීම නවත්වන්න බැරිද?පුළුවන්. නමුත් එහෙම කරද්දී රටේ රුපියල් සැපයුම ඉහළ යනවා. මොකද ඩොලර් මිල දී ගන්න වෙන්නේ රුපියල් ගෙවලා. වෙනත් වචන වලින් කිවුවොත් යම් සීමාවකින් එහාට වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්නනම් සල්ලි අච්චු ගහන්න වෙනවා.සල්ලි අච්චු ගහන්නෙත් නැතුව වෙළදපොළෙන් ඩොලර් මිල දී ගන්න පුළුවන් ක්‍රමයක් නැද්ද?එහෙම ක්‍රමයකුත් තියෙනවා. මහ බැංකුව දැන් බොහෝ දුරට අනුගමනය කරන්නේ ඒ ක්‍රමය. ඩොලර් මිල දී ගනිද්දී එළියට යන රුපියල් ප්‍රමාණය මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් විකුණලා නැවත ආපසු ලබා ගන්න පුළුවන්. එවිට වෙළඳපොළේ රුපියල් ප්‍රමාණය වැඩි නොකර ඩොලර් ටිකත් එකතු කර ගන්න පුළුවන්.එහෙමනම් ඔය වැඩේ නොකරන්නේ ඇයි?මේ වෙද්දී රජය ප්‍රාථමික අයවැය හිඟය තුලනය කරගෙන තිබෙනවා. ඒ නිසා, රජයේ වියදමට අලුතෙන් ණය ගන්න අවශ්‍ය නැහැ. ඒ නිසාම, දැනට නිකුත් කර තිබෙන භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයම නැවත අලුත් කරනවා මිස වෙළඳපොළට වැඩි වැඩියෙන් භාණ්ඩාගාර බිල්පත් එකතු කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා, පොලී අනුපාතික ස්ථාවරව තිබෙනවා.එසේ වුවත්, දැනට නිකුත් කර තිබෙන රාජ්‍ය සුරැකුම්පත් වලින් විශාල කොටසක් තියෙන්නේ මහ බැංකුව සතුවයි. මහ බැංකුව ඒ රාජ්‍ය සුරැකුම්පත් එළියට දමද්දී වෙළඳපොළේ තිබෙන රාජ්‍ය සුරැකුම්පත් ප්‍රමාණය ඉහළ ගිහින් ඒවාට තිබෙන ඉල්ලුම අඩු වෙනවා. රජය අලුතෙන් සුරැකුම්පත් නිකුත් කරද්දී වෙන දෙයමයි. මෙහි ප්‍රතිඵලයක් විදිහට පොලී අනුපාතික ඉහළ යනවා. එය ආර්ථික වර්ධනයට බාධාවක්.බැංකු පද්ධතිය ඇතුළේ තිබෙන රුපියල් වැඩි වැඩියෙන් රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කරද්දී පෞද්ගලික අංශයට ණය සේ ලබා දිය හැකි ණය ප්‍රමාණය සීමා වෙනවා. ආර්ථික වර්ධනයට බාධා වෙන්නේ ඒ නිසා. පෞද්ගලික අංශයට දෙන ණය ඕනෑවට වඩා ඉහළ ගියොත් ආනයන ඉල්ලුම සීමාව පනින නිසා ඒකත් ප්‍රශ්නයක්. හැබැයි ආර්ථික වර්ධනය සඳහා මෙම ණය වල යම් වර්ධනයක් අවශ්‍යයි. මේ සියල්ල තුලනය කර ගන්න එක සීරුමාරුවට කළ යුතු සංකීර්ණ වැඩක්.ඉහත විස්තර කළ පරිදි, මහ බැංකුව උත්සාහ කරන්නේ විනිමය අනුපාතය හා පොලී අනුපාතික යන දෙකම එකවර පාලනය කරන්නයි. මූලධර්මයක් විදිහටම ඔය දෙකම එකවර පූර්ණ වශයෙන් පාලනය කරන්න බැහැ. විණිමය අනුපාතය අවශ්‍ය විදිහට පාලනය කරන්නම් පොලී අනුපාතික නිදහස් කරන්න වෙනවා. ඒ කියන්නේ ආර්ථික වර්ධනය අමතක කරන්න වෙනවා. පොලී අනුපාතික අවශ්‍ය විදිහට පාලනය කරන්නනම් විණිමය අනුපාතය සම්පූර්ණයෙන්ම නිදහස් කරන්න වෙනවා. මහ බැංකුව දැනට උත්සාහ කරන්නේ ඔය දෙකම යම් තරමකින් නිදහස් කර සහ යම් තරමකින් පාලනය කර උද්ධමන ඉලක්ක හා ආර්ථික වර්ධනය අතර තුලනයක් පවත්වා ගන්නයි.මැදිකාලීනව මහ බැංකුවට විදේශ සංචිත සැලකිය යුතු ලෙස වැඩි කරගන්න සිදු වෙනවා. ඒ වගේම, දැනට මහ බැංකුව සතු රාජ්‍ය සුරැකුම්පත් කන්දරාවෙන් නිදහස් වෙන්නත් වෙනවා. මේ දෙක එකවර කරද්දී විණිමය අනුපාතය ඉහළට තෙරපෙනවා වගේම පොලී අනුපාතිකත් ඉහළට තෙරපෙනවා. පළමුවැන්න ආර්ථික වර්ධනයට නරක නැතත් දෙවැන්න ආර්ථික වර්ධනයට හානිකරයි. ඒ නිසා, මහ බැංකුව රාජ්‍ය සුරැකුම්පත් එළියට දමමින් සිටින්නේ එයින් පොලී අනුපාතික මත වන පීඩනයද කළමනාකරණය කරමිනුයි. මේ වැඩේ කරන නිසා, මහ බැංකුවට මිල දී ගත හැකි විදේශ විණිමය ප්‍රමාණය සීමා වෙනවා. ඒ නිසා, ඩොලරය බහිනවා.#ඉකොනොමැට්ටා

ECONOMATTA.BLOGSPOT.COMඩොලරය බහින එක හොඳද?sri lanka economy

ඩොලර් බිලියනයේ තෑග්ග (දෙවන කොටස) – ඉකොනොමැට්ටා

ඩොලර් බිලියනයේ තෑග්ග (දෙවන කොටස)

නිවු යෝර්ක් ප්‍රාන්තයේ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට ඉදිරි වසරේදී ඇතුළු වන සිසුවෙකු විසින් එහි අධ්‍යාපනය ලබන වසර හතරක කාලය තුළ ගාස්තු ලෙස ඩොලර් 287,122ක මුදලක් ගෙවිය යුතුව තිබුණා. රූත් ගොටස්මන් විසින් එම වෛද්‍ය විද්‍යාලයට ඩොලර් බිලියනයක ධන පරිත්‍යාගයක් කිරීම නිසා ඉදිරි වසර තුළ හා ඉන් පසුව මෙම වෛද්‍ය පීඨයට ඇතුළු වන සිසුන් විසින් දැන් මෙම ගාස්තුවෙන් නිදහස් කෙරෙනවා.

අලුත් සිසුන්ට අමතරව දැනට මෙම වෛද්‍ය විද්‍යාලයෙහි ඉගෙන ගන්නා සිසුන්ද, ඉදිරි වාරයේ සිට පාඨමාලා ගාස්තු වලින් නිදහස් කෙරෙනවා. මේ බැව් දැන ගන්නා සිසුන් එයින් උද්දාමයට පත් වන ආකාරය අන්තර්ජාලයේ සංසරණය වන වීඩියෝවක දැක ගත හැකියි. මේ සිසුන් අතර විදේශික සිසුන් හා සංක්‍රමණික පවුල් වල සිසුන් ගණනාවක් සිටිනවා. ඔවුන් හරහා මේ පුවත දැන ගන්නා ඇමරිකාවෙන් පිටත සිටින ඔවුන්ගේ දෙමවුපියන් හා වෙනත් ඥාතීන්ද උද්දාමයට පත් වන ආකාරය මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා. කියවන්න...

ඩොලර් බිලියනයේ තෑග්ග (පළමු කොටස) – ඉකොනොමැට්ටා

ඩොලර් බිලියනයේ තෑග්ග (පළමු කොටස)

රූත් ගොටස්මන් විසින් නිවු යෝර්ක් ප්‍රාන්තයේ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට ලබා දුන් ඩොලර් බිලියනයක ආධාර මුදල ගැන ලංකාවේද යම් සාකච්ඡාවක් ඇති වී තිබුණු බව දැක්කා. මේ ආධාර මුදල නිසා මෙයින් ඉදිරියට එම වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වන සිසුසිසුවියන්ට පාඨමාලා ගාස්තු නොගෙවා නොමිලයේ අධ්‍යාපනය ලබා ගන්න අවස්ථාව ලැබෙනවා.

පාඨමාලා ගාස්තු නොගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීම ලංකාවේ පසුබිමේ සිට සිතන අයෙකුට විශේෂ දෙයක් නොවුනත්, ඇමරිකාව ඇතුළු තවත් රටවල් බොහොමයක එවැනි අවස්ථාවක් කියා කියන්නේ දුලබ අවස්ථාවක්. ඇමරිකාවේ වෛද්‍ය උපාධියක් කියා කියන්නේ දෙවන උපාධියක්. වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීම පිණිස තරඟ විභාගයට පෙනී සිටිය හැක්කේ වසර හතරක පළමු උපාධි පාඨමාලාවක් සාර්ථක ලෙස හැදෑරීමෙන් පසුව පමණයි. කියවන්න...

අපනයන කළ යුත්තේ ඇයි? – ඉකොනොමැට්ටා

අපනයන කළ යුත්තේ ඇයි?

 කිසියම් රටක නිපදවන භාණ්ඩ හා සේවාවන් වලින් කොටසක් අපනයනය කළ යුතු බව විවිධ ආර්ථික අදහස් පිළිගන්න හා විවිධ දේශපාලනික මත දරන අය පුළුල් ලෙස පිළිගන්නා කරුණක්. සංවෘත, ජාතික සමාජවාදී ආර්ථිකයක් වෙනුවෙන් හෝ ආරක්ෂණවාදය වෙනුවෙන් පෙනී සිටින අය පවා අපනයන ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම ගැන කතා කරනවා. එවැනි අය විරුද්ධ වෙන්නේ ආනයන වලටයි.

රටක් අපනයන කළ යුත්තේ ඇයි?දේශ සීමා බාධක ඉතා අඩු හෝ නැති, ජාත්‍යන්තරයට විවෘත, ලිබරල් ආර්ථික ක්‍රමයක් ගැන පෙනී සිටින අය අපනයන ප්‍රවර්ධනය වෙනුවෙන් පෙනී සිටින එක තේරුම් ගන්න අපහසු නැහැ. නමුත්, සංවෘත, ජාතික සමාජවාදී ආර්ථිකයක් වෙනුවෙන් පෙනී සිටින අයත් අපනයන ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම ගැන කතා කරන්නේ ඇයි? කියවන්න...

නිෂ්පාදන ආර්ථිකය – ඉකොනොමැට්ටා 

  ලංකාවේ ජාතික ගිණුම් ඇස්තමේන්තු හරියකට තියෙන්නේ 1958 පමණ සිටයි. පහත තියෙන්නේ 1958දී ලංකාවේ දදේනියට කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා අංශ වලින් ලැබුණු දායකත්වය. කෘෂිකර්මය – 48.4%කර්මාන්ත – 15.2%සේවා – 36.2% පේනවනේ තත්ත්වය. රටේ නිෂ්පාදිතයෙන් බාගයක් පමණ කෘෂිකර්මය. කර්මාන්ත අංශයේ දායකත්වය 15.2%ක් පමණයි. නමුත් සැලකිය යුතු සේවා ආර්ථිකයක් ඒ වෙද්දීත් රටේ තිබුණා.ඔහොම තිබුණු ලංකාවේ ආර්ථිකයේ ආකෘතිය ටිකෙන් ටික වෙනස් වෙලා 2018 වන විට පැවති තත්ත්වය තමයි පහත තියෙන්නේ. කෘෂිකර්මය – 7.6%කර්මාන්ත – 30.1%සේවා – 53.7% මේ සංසන්දනය සඳහා 2018 වර්ෂය තෝරා ගත්තේ මෙතෙක් ලංකාවේ ආර්ථිකය වඩාත්ම විශාල මට්ටමක තිබුණේ ඒ අවුරුද්දේ නිසා. ඉන් පසුව ආර්ථිකය හැකිළුණු නිසා දැන් රටේ ආර්ථිකය ඊට වඩා තරමක් පොඩියි. ඒ වගේම, 2018 ඉහත ප්‍රතිශත තුනේ එකතුව 100%ක් නොවන්නේ නිෂ්පාදන මත අය කළ ශුද්ධ බදු (බදු – සහනාධාර) වෙනම ගණනය කර තිබෙන නිසා. මුල් කාලයේදී ඇස්තමේන්තු හදද්දී එවැන්නක් සිදු වුනේ නැහැ.මෙහිදී අපි මුලින්ම අවධානය යොමු කරන්නේ ආර්ථිකයේ පංගුවක් ලෙස කෘෂිකාර්මික අංශය හැකිලීම දෙසයි. 1958දී 48.4%ක් වූ මෙම පංගුව 2018 වන විට 7.6% දක්වා කුඩා වෙනවා. මෙයින් අදහස් වන්නේ කුමක්ද? රටේ ආර්ථික ප්‍රතිපත්ති තුළ කෘෂිකාර්මික අංශයට කුඩම්මාගේ සැලකිලි ලැබිලද?  රටක ආර්ථිකය වර්ධනය වෙද්දී දදේනියේ කෘෂිකාර්මික පංගුව ටිකෙන් ටික අඩු වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ වගේම හොඳ තත්ත්වයක්. මතක තියා ගන්න මේ කතා කරන්නේ ආර්ථිකයේ කෘෂිකාර්මික පංගුව අඩු වීම ගැන මිසක් රටේ කෘෂිකාර්මික නිෂ්පාදිතය අඩු වීම ගැන නොවන බව. පැහැදිලි ලෙසම ඒ දෙක දෙකක්.කෘෂිකාර්මික පංගුව මේ විදිහට අඩු වී තිබෙන්නේ කෘෂිකාර්මික නිෂ්පාදිතය වර්ධනය වන අතරම, කර්මාන්ත හා සේවා අංශයේ නිෂ්පාදිත ඊට වඩා ගොඩක් වේගයෙන් වර්ධනය වී ඇති නිසා මිසක් කෘෂිකාර්මික නිෂ්පාදිතය අඩු වී ඇති නිසා නෙමෙයි.  රටක සමස්ත නිෂ්පාදිතයෙන් බාගයක්ම කෘෂිකර්මයනම් දළ ප්‍රකාශයක් ලෙස එයින් අදහස් වන්නේ රටේ සම්පත් වලින් බාගයක්ම යොදවා තියෙන්නේ කන බොන ටික හදාගන්න කියන එකයි. අනෙක් හැම අවශ්‍යතාවක් වෙනුවෙන්ම වෙන් වෙන්නේ ඉතිරි බාගය. ඒ කියන්නේ, රටේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය දිහා බැලුවොත් කන බොන එක ඇරෙන්න වෙන කරන දේවල් ඉතා සීමිතයි. 

රටක සමස්ත නිෂ්පාදිතයෙන් බාගයක්ම කෘෂිකර්මයනම් දළ ප්‍රකාශයක් ලෙස එයින් අදහස් වන්නේ රටේ සම්පත් වලින් බාගයක්ම යොදවා තියෙන්නේ කන බොන ටික හදාගන්න කියන එකයි. අනෙක් හැම අවශ්‍යතාවක් වෙනුවෙන්ම වෙන් වෙන්නේ ඉතිරි බාගය. ඒ කියන්නේ, රටේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය දිහා බැලුවොත් කන බොන එක ඇරෙන්න වෙන කරන දේවල් ඉතා සීමිතයි.

  මේ පංගුව 7.6% දක්වා අඩු වෙනවා කියන්නේ රටේ නිෂ්පාදිතයෙන් 92.4%ක්ම වෙනත් භාණ්ඩ හා සේවා කියන එක. ඒ කියන්නේ රටේ මිනිස්සු කන බොන එකට අමතරව තවත් ගොඩක් දේවල් කරනවා. එහෙම කරන්න පුළුවන් ආදායමක් ඔවුන්ට ලැබෙනවා. ඇමරිකාවේ දදේනිය ඇතුලෙ කෘෂිකාර්මික නිෂ්පාදිතයේ පංගුව 1.1%ක් පමණයි. එයින් අදහස් වන්නේ ඇමරිකාවේ කෘෂිකර්මය නොසලකා හැරලා කියන එක නෙමෙයි. ඇමරිකාවේ ලෝකයේ ලොකුම කෘෂිකාර්මික රටක්. නමුත්, කෘෂිකාර්මික නිෂ්පාදිතය වගේ 90 ගුණයක පමණ සමස්ත නිෂ්පාදිතයක් රට ඇතුළේ සිදු වෙනවා. ඒ හරහා රටේ මිනිස්සුන්ට ආදායම් ලැබෙනවා. ඒ නිසාම, සාමාන්‍ය ඇමරිකානුවෙකුගේ ආදායමෙන් කෑම බීම වෙනුවෙන් වෙන් කළ යුතු කොටස ගොඩක් කුඩා කොටසක්.  කියවන්න...

දෙවන පිරිපහදුව චීනයට! – #ඉකොනොමැට්ටා

අවසාන ප්‍රතිඵලය ලෙස රටේ නිෂ්පාදනය ඉහළ යාමක්
දෙවන පිරිපහදුව චීනයට!

  ශ්‍රී ලංකාවේ දෙවන තෙල් පිරිපහදුව ඉදි කර පවත්වාගෙන යාමේ අවස්ථාව ශ්‍රී ලංකා රජය විසින් චීන රාජ්‍ය සමාගමක් වන සිනොපෙක් සමාගම වෙත ලබා දී තිබෙනවා. ලෝකයේ ලොකුම තෙල් පිරිපහදුකරු වන සිනොපෙක් සමාගම සතුව ඇති තෙල් පිරිපහදු වල සමස්ත ධාරිතාව දිනකට බොරතෙල් බැරල් මිලියන 5.9 ඉක්මවනවා

. මෙම ව්‍යාපෘතිය සඳහා ඉල්ලුම් කර තිබුණු සමාගම් දෙක අතරින් අනෙකුත් සමාගම වූ වයිටාල් සමාගම තරඟයෙන් ඉවත් වීම නිසා ඉතිරි වී තිබෙන්නේ සිනොපෙක් සමාගම පමණයි. දැනට ශ්‍රී ලංකාව සතු එකම තෙල් පිරිපහදුවේ ධාරිතාව දිනකට බොරතෙල් බැරල් 50,000ක් වන අතර රටේ සමස්ත ඉන්ධන අවශ්‍යතාවය සැපිරීම සඳහා දිනකට බොරතෙල් බැරල් 110,000ක් පමණ පිරිපහදු කළ යුතු වෙනවා. කියවන්න...

සිල්ලර ඉන්ධන මිල සහ බොරතෙල් මිල ~ ඉකොනොමැට්ටා

sharethis sharing button

ඇමරිකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළ ගැන පෙර ලිපියක විස්තර කළා. එම ලිපියේ පෙන්වා දුන් පරිදි ඇමරිකාවේ ඉන්ධන මිල තැනින් තැනට විශාල ලෙස වෙනස් වෙනවා. එයට භූගෝලීය සාධක, එනම් ඉන්ධන නිෂ්පාදනය කරන ප්‍රදේශ වල සිට ඇති දුර වැනි කරුණු, මෙන්ම බදු වල වෙනස්කම් ප්‍රධාන වශයෙන්ම බලපානවා. කෙසේ වුවත්, කිසියම් නිශ්චිත ප්‍රදේශයක් සැලකුවහොත් සිල්ලර ඉන්ධන සැපයුම්කරුවන් අතර පවතින අධික තරඟය නිසා පාරිභෝගිකයින්ට අඩු මිලකට ඉන්ධන මිල දී ගැනීමේ අවස්ථාව හිමි වෙනවා. සිල්ලර ඉන්ධන සැපයුම්කරුවන්ට ලබා ගත හැක්කේ ඔවුන් විසින් ගන්නා අවදානමට සරිලන ඉතා සුළු ලාබයක් පමණයි.

සිල්ලර ඉන්ධන වෙළඳපොළේ තරඟකාරිත්වය නිසා අඩු වන්නේ ඉන්ධන වල තොග මිල හා සිල්ලර මිල අතර වෙනසයි. මෙම අදියරේදී අගය එකතු වීමක් සිදු වන්නේ එම කොටස තුළ පමණයි. ඉන්ධන වල තොග මිල තීරණය වන්නේ වෙනම වෙළඳපොළකයි. දැඩි තරඟකාරිත්වයක් නොතිබී, ඉන්ධන සිල්ලර වෙළඳාමේ ඒකාධිකාරයක් හෝ කතිපයාධිකරයක් පැවතුණේනම් ඉන්ධන සිල්ලරට විකුණන පිරවුම්හල් දාමයකට විශාල ලාබ ආන්තිකයක් තියාගෙන ඉන්ධන විකිණිය හැකිව තිබුණත් දැඩි තරඟය නිසා ඔවුන්ට එසේ කළ නොහැකියි. ඒ නිසා, ඉන්ධන වල සිල්ලර මිල තීරණය වන්නේ ඉන්ධන තොග මිල, ප්‍රවාහන ගාස්තු, ගබඩා කර තබා ගැනීමේ පිරිවැය, බදු වැනි කරුණු අනුවයි. කියවන්න...