විදුලි බල පනත් සම්මතයෙන් හෙළි වූ ව්‍යාජ ජනමතය – ජයවීර සෙනෙවිරත්න

විදුලි බල මණ්ඩලය කොටස් අටකට කඩා එහි තිබු ඒකාධිකාරය අවසන් කරන්නට රජය ඉදිරිපත් කළ නව විදුලි බල පනත වැඩි කලබලයක් නැතව ම පාර්ලිමේන්තුවේ සම්මත වුයේ එයට සහ රජයට එරෙහිව තිබෙනවා කියා ඇතැම් පිරිස් කළ විරෝධය පිලිබඳ සියලු ප්‍රචාර පුස්සක් කරමිනි. රට ම අඳුරේ තබනවා කී වෘත්තීය සමිති නායකයින්ට අවසානයේ තම සාමාජිකයින් දෙතුන් සියයක් වත් සටනට කැඳවා ගත නොහැකි වීම කැපී පෙනෙන සිදුවීමකි. එයින් පෙනී ගියේ ජනතාව හෝ සේවකයින් හෝ මේ කයිවාරුකාරයින් සමග නැති බව යි. මොවුන්ගේ වොයිස් කට් දේශපාලනයෙන් මවා තිබු ඊනියා ජන මතය ද ජනමාධ්‍ය මගින් තහවුරු කළ මිත්‍යාවක් බව ද පැහැදිලි වී ය.
විදුලි බල පනත ගේන්න හැදුවොත් මුළු රට ම අඳුරේ තියන බව කියමින් සටන පටන් ගත් කයිවාරුකාර වෘත්තීය සමිති නායකයින් කීවේ විදුලි බල මණ්ඩලයේ සේවකයින් විසි තුන් දහස වැඩ කරන්නේ ඇමතිගේ අණට අනුව නොව තමන්ගේ අණට බව යි. ඒ අණ එදා පිළිගෙන විනය විරෝධී වැඩ කළ සේවකයින් 65 කගේ වැඩ තහනම් කළ විට විසිතුන් දහස පැමිණියේ නැත. කයිවාරුකාරයින් කළේ උසාවියට යෑම පමණකි.